Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 88 කොටස: අඹතොට කඳවුර ජය ගැනීමට විහාර මහා දේවියගේ උපායක්

දුටුගැමුණු මහ රජතුමා - 88 කොටස:

අඹතොට කඳවුර ජය ගැනීමට විහාර මහා දේවියගේ උපායක්

“බෝධිනාග භයෙන් පසුවෙනවා අපේ රහස් ලබා ගන්නා ඔත්තුකරුවකු පිළිබඳව. එය ගැන අපට මහත් කරදරයක්. මේ ගැන සොයා බලන්න සිරිනාගට පුළුවන් නේද?”

“මහ රජතුමනි, මේ ඔත්තුකරු බලන්නේ මා ගැනම නිසා මට එය කළ නොහැකියි. මට දින කිහිපයකට කලින් ලැබුණු තල්පතකින් ඒ බව ඔප්පු කළ හැකියි. මා අග නගරයෙන් ටික දිනකට බැහැරව ඉන්නට අදහස් කළෙත් ඒ නිසයි.”

තොප කියන්නේ අපේ තවත් රහස් දුටුගැමුණු රජුට දැන ගන්නට ලැබී ඇති බවද?” රජතුමා පුදුමයෙන් ඇසීය.

දීඝජන්තු විපිළිසරව සිරිනාග දෙස බලා සිටියේ ය. දීඝාභය ද විමතියට පත්ව සිටින බව මුහුණෙන් පිළිබිඹු විය. රාජ සභාවේ සියලු දෙනාම මීළඟට සිදුවන්නේ කුමක්දැයි පුදුමයෙන් බලා සිටියහ. සිරිනාග තමාගේ කඤ්චුකය තුළ තිබූ තල්පත ගෙන දීඝජන්තු අත තැබීය.

“කියවන්න හැමෝටම ඇසෙන්න කියවන්න” රජතුමා කීවේ කෝපයෙනි.

“දුටුගැමුණු යුද බිමෙන් සහ මාගමින් රහස් ඔත්තු ලබා ගන්නා සිරිනාග නම් සිංහල සෙනෙවියෙක් මෙහි සිටිනවා. ගැතිකම් කරමින් සූක්ෂ්ම ලෙස එළාර රජුගේ විශ්වාසය දිනාගෙන සිටින ඔහු ඔත්තු ලබාගන්නේ ගුත්තාහල කඳවුරෙන්” යනුවෙන් සඳහන් තල්පතක් දාඨාසේන සෙනෙවිතුමාට ලැබිලා. මහසෙනෙවිවරුන් අපි ගැන සොයනවා. ඒ නිසා අපි ටික කලකට නිශ්ශබ්දව සිටීමට තීරණය කළා.”

තල්පත කියවීමෙන් පසු රාජ සභාව තුළ පැවතියේ දැඩි නිහඬ බවකි.

“සිරිනාග තොපේ පණිවුඩ ගෙන එන පරෙවියා අතුරුදහන් වී ඇති බව තොප පැවසුවේ මේ රාජ සභාවේදීම යි. දැන් තොප කියන්නේ කුමක්ද?”

“ඌ ටික දවසක් අතුරුදහන්ව සිටියා. ආයෙත් ආවා. ඌ දක්ෂ රහස් පරීක්ෂකයෙක්

දීඝාභය කෝපයෙන් ඉවත බලා ගත්තේ ය. යළිත් සිරිනාග දෙස බලා කතා කළේ ය.

“තොපට අනෙක් තල්පත ලැබුණේ කෙසේද?”

“වෙනත් පරෙවියකුගෙන්, ඌත් දක්ෂ දූතයෙක්.” සිරිනාග පැවසුවේ බොරුවක් බව දීඝාභයට වැටහිණි.

දැනටමත් මගේ පරෙයි කූඩුවේ පරෙයියන් තිදෙනෙක් සිටිනවා. සිරිනාග විසින් දීඝාභයටත්, උපතිස්සටත් එල්ල කළේ සියුම් උපහාසයක් බව සභාවට වැටහිණි. රජතුමාගේ මුවගට ද සිනාවක් නැඟිණි.

“වාද විවාද කරගන්නට අවශ්‍ය නැහැ. තුණ්ඩිලගේ පරීක්ෂණ වාර්තාව පැමිණි පසු තීරණයක් ගනිමු. මේ ගැන තවදුරටත් දීර්ඝව විමසා බලා සුදුසු තීරණයක් ගැනීමේ වගකීම දීඝජන්තු සෙනෙවිතුමාට පවරනවා.”

මහියංගණ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමවා චෛත්‍ය විශාල කොට බඳවා විහාරමහා දේවිය මහා සංඝරත්නයට පූජා කළා ය. අනතුරුව දුටුගැමුණු රජතුමා, මව් බිසොවුන් සමඟ කඳවුරු බැඳ සිටින බල සේනාවල සුවදුක් විමසන අටියෙන් ගමන් ඇරඹූහ. මුලින්ම ගියේ නන්දිමිත්‍ර සේනාධිපතිගේ කඳවුර වෙත ය. නන්දිමිත්‍ර කඳවුරේ නැත. සෙනෙවිවරු, උපසෙනෙවිවරු යුද්ධ සෙබළුන් ව්‍යායාමයන්හි යෙදීමට පිටත්ව ගොස් සිටියහ.

“නන්දිමිත්‍ර සෙන්පති කඳවුරේ නැද්ද?”

විහාරමහා දේවි මව් බිසොවුන් වහන්සේ ඇසූහ.

“දේවීන් වහන්ස, නන්දිමිත්‍ර සෙනෙවිතුමා දාව ආචාර්යතුමාත් සමඟ අඹතොට බලකොටු සටන් බිමට ගියා. අපේ සෙබළුන් බොහෝ පිරිසකට විස හී සැර වැදී ඇති බව ආරංචි වූ නිසා.”

“මෑණියනි, මට මෙහි සෙනෙවියකු සමඟ අඹතොට කඳවුරට යාමට අවසර දෙන්න.”

“හොඳයි අපේ අස්රිය ගෙන්වා ගෙන දැන්මම යමු.”

අම්බතිත්ථයට පැමිණි දුටුගැමුණු රජතුමා මුලින්ම කළේ සෙබළුන්ගේ සුවදුක් විමසීම ය. ඔවුනට කෙරෙන ප්‍රතිකාර ගැන කඳවුර භාර වෛද්‍යවරයාගෙන් විමසුවේ ය. අනතුරුව කඳවුරු භාර දාඨාසේන මහ සෙනෙවි හමු විය. නන්දිමිත්‍ර මහ සෙනෙවි ද එහි සිටියේ ය.

“මහ රජතුමනි, අම්බතිත්ථ බලකොටුව මහා ජල දුර්ගයක්. මහවැලි ගඟින් හා එයින් හැර වූ ඇළකින් වට වූ එයට ඇතුළු වන්නට යදොරින් හැර වෙනත් තැනක් නැහැ. එතැනට යාමට උත්සාහ කළත්, අපේ සෙබළුන්ට අට්ටාලවලත්, කඳවුරු මුදුනේත් සිටින දුනුවායන් විස හී සැර විදිනවා. පවුරට ඇතුළු වන්නට කිසිදු ලෙසකින්වත් බැහැ.”

නන්දිමිත්‍ර මහ සෙනෙවි කීවේ ය.

“කඩොලැතා සමඟ ඇත්සේනාවේ ඇතුන් කිහිප දෙනකු යොදවා බලකොටුවේ දොර බිඳින්න බැරිද?”

“පුළුවන්, නමුත් විස හී සැර වැදී අපේ ඇතුන් ඔත්පල වුණහොත් එය අපේ ඉදිරි සැලසුම්වලට බාධාවක්.”

“ඔවුන්ගේ රහස් දොරටු ඇති, අපේ දුර්ගම සංග්‍රාමිකයන්ට සොයාගත හැකි එබඳු දොරටුවක් ගැන විමසිලිමත් වෙන්න.” දාව ආචාර්යතුමා කීවේ ය.

“දකුණු පැත්තේ උණ පඳුරක් තිබෙනවා. එතැන ආරක්ෂක ඔරුවක් තියෙනවා. තිත්ථම්බය කඳවරේ සෙනෙවියා පිටතට යන්නේ එතැනින්,” එය ඛඤ්චදේවගේ සොයා ගැනීමක් විය.

“තිත්ථම්භය සෙනෙවියා ගැහැණු සොඬෙක්, ඔහුගෙන් සිංහල , දෙමළ යෞවනියන් සිය ගණනක් විනාශ වෙලා. ඔහුගෙන් තනතුරු, මිල මුදල් ලබා ගැනීමට නම් සෙබළුන් ඔහුට තම ඉලක්ක පාදා දිය යුතුයි.” මහනෙල පැවසීය.

“එහෙනම් අපට බැරිද රිදී උණ්ඩයක් පාවිච්චි කරන්න” දාව ආචාර්යතුමාගේ ප්‍රකාශනයෙන් කවුරුත් පුදුමයට පත් වූහ.

“බිළී බෑමක්. ඇමට යොදා ගන්නේ කුමක්ද?”

“දාව ආචාර්යතුමාගේ උපාය වරදින්නේ නැහැ. අපි උත්සාහ කර බලමු.” විහාරමහා දේවිය කීවා ය.

“අඹතොට කඳවුර භාර මහ සෙනෙවි දාඨාසේන මාස හතරක් උත්සාහ කළත් බලකොටුව බිඳ ගන්නට බැරිවීම ගැන දුක් වෙනවා.

“දාඨාසේනට බැරිද තරුණියක් ලෙස වෙස් වළාගන්නට?”

“අවශ්‍ය අඳුම් පැළඳුම් තියෙනවා නම් පුළුවන්.” දේවීන් වහන්ස,”

“හොඳයි, හෙට දවස යුද කටයුතුවලින් ඈත්ව විවේක ගන්න. ඊළඟ දවස බලකොටුව බිඳීමට සූදානම් වෙන්න. හෙට උදෙන් ම මාත් සමන්තීත් මෙහි පැමිණ දවසම ගත කරනවා.”

ඉතිරි කොටස ඉල් අමාවක පෝදා (23) අන්තර්ජාල කලාපයේ පළවේ