Print this Article


ප්‍රබෝධවත් ජීවිතයකට යහපත් දැකීම

ප්‍රබෝධවත් ජීවිතයකට යහපත් දැකීම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මජ්ක්‍ධිම නිකායේ මහා වේදල්ල සූත්‍රයට අනුව ප්‍රඥාව ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වයි. එනම් චින්තාමය ප්‍රඥා, සුතමය ප්‍රඥා හා භාවනාමය ප්‍රඥා යනුවෙනි.

අන්‍යයන්ගෙන් කිසිවක් නොඉගෙන තමාගේ චින්තනය අවධි කර ගැනීම හේතුවෙන් මිනිසා උරුම කර ගන්නා ප්‍රඥාව චින්තාමය ප්‍රඥා ලෙස “පරතො අසුත්වා පටිලභති අයං වුච්චති චින්තාමය පඤ්ඤා” යන බුද්ධ වචනයෙන් පැහැදිලි කෙරෙයිි.

එමෙන් ම අන්‍යයන්ගෙන් බොහෝ දේ ඇසීම හේතුවෙන් ලබා ගන්නා ප්‍රඥාව සුතමය ප්‍රඥාව ලෙස “පරතො සුත්වා පටිලභති අයං වුච්චති සුතමය පඤ්ඤා” යන බුදු වදනින් පෙනෙයි. අවසාන වශයෙන් දැක්වූ භාවනාමය ප්‍රඥාව අර්ථ දැක්වෙන්නේ “සබ්බාරි සමාපන්නතස්ස පඤ්ඤා භාවනාමය පඤ්ඤා” යනුවෙන් සියල්ල තුළින් මිදී ලබන ප්‍රඥාව ලෙස ය.

බෞද්ධයකු මෙම ප්‍රඥා තුන ළඟා කර ගැනීම සඳහා සමීප විය යුත්තේ බුදු හිමියන් වදාළ විශිෂ්ට දහම් මග වෙතට ය. බොහෝ දෙනා බුදු දහමෙහි ගැඹුරු ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා මේ දහමෙහි දාර්ශනිකත්වය පිළිබඳ නිසි අවබෝධයක් නොලබයි.

විශේෂයෙන් බුදුරදුන් ප්‍රථම ධර්ම දේශනාව ලෙස ඉදිරිපත් කළ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහි එන ප්‍රධාන කරුණු පිළිබඳ අවධානය යොමු කරන්නකුට බුදුරදුන් ලොවට ඉදිරිපත් කළ ප්‍රඥාගෝචර දර්ශනය වැටහෙනු ඇත. මෙහිදී මාතෘකාව වශයෙන් ලබා ගෙන ඇත්තේ දම්සක් පැවතුම් සූත්‍රය ආරම්භයේ ම එන වැදගත් පාඨයකි.

“ද්වේ මේ භික්ඛවෙ අන්තා

පබ්බජිතෙන න සෙවිතබ්බා”

මහණෙනි නිවන් ලබනු කැමැති පැවිද්දා විසින් අන්ත දෙකක් නොසෙවිය යුතු ය.

කාමසුඛල්ලිකානු යොගො හීනො ධම්මො පොතුජ්ජනාකො අනරියො අනත්ථ සංහිතො

හීන වූ, ග්‍රාම්‍ය වූ, පහත් මිනිසුන් විසින් භාවිත කරන්නා වූ, අනාර්ය වූ, අනර්ථ වූ කාමසුඛල්ලිකානු යෝගය ඉන් එකකි.”

කාමසුඛල්ලිකානු යෝගය යනු පස්කම් සුවයෙහි අන්තයට ගමන් කිරීමයි. මිනිස් ජීවිතයක් ලැබීමේ පරමාර්ථය ලෙස පස්කම් සැප අනුභවය බොහෝ දෙනකු විසින් කරන කල්පනාවකි.

මනුෂ්‍යයාට පසිඳුරන් ලැබී ඇත්තේ ඒවා හැකි තරම් තෘප්තිමත් කරලීම සඳහා නොවෙයි. ඉඳුරන්ගෙන් ලබා ගන්නා අරමුණු යහපත් බවට පත් කර ගැනීම ප්‍රඥාවන්තයාගේ ලක්ෂණය වන්නේ ය. එහෙත් මන්ද බුද්ධික හා උමතු වූ මිනිසුන් පංචකාම සම්පත් විෂයයෙහි ඇලී ගැලී වෙළී එයින් ම විනාශය උරුම කර ගන්නා අයුරු පෙනේ.

පුරුෂයාගේ සිත ඇලෙන්නා වූ රූපයත්, ශබ්දයත්, ගන්ධයත්, රසයත්, ස්පර්ශයත් වේ නම් ඒ කාන්තාවගේ රූපය, ශබ්දය, ගන්ධය, රසය හා ස්පර්ශය බව බුදු හිමියෝ පෙන්වා දුන්හ. එසේම කාන්තාවගේ සිත බැඳ ගන්නා වූ යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් වේ නම් ඒ පිරිමියාගේ ම බව බුදු හිමියෝ වදාළහ. සර්වඥතාඤාණයෙන් මේ බව මනාව බුදුහිමියෝ අවබෝධ කළහ. බුදුවීමට පෙර රම්‍ය, සුරම්‍ය, සුභ මාලිගාවන්හි සියලු පස්කම් සැප මධ්‍යයේ විසූ බෝසතාණන් වහන්සේ එහි ඇලී ගැලී සිටින තාක් කල් මුලාවකට හසුව ඇති අයුරු අවබෝධ කර ගන්නේ සතර පෙර නිමිති දැකීමෙනි.

මිනිසුන්ගේ ලෝකය රජ මැදුරේ ලෝකයට වඩා වෙනස් වන අයුරු අවබෝධ කර ගත් හෙයින් ඒ කාමභෝගී දිවියෙන් මිදෙන්නට අභිනිෂ්ක්‍රමණය කළහ.

කෝලිත උපතිස්ස දෙදෙනාගේ කතාව ද කාමභෝගී දිවිපෙවෙතේ ඇති නිස්සාරත්වය තහවුරු කරලයි. විනෝදකාමී ලෙස නෘත්‍ය හල්වල ම කල් ගෙවූ ඔවුන් දෙදෙනා අවසානයේ ඒ කිසිවකින් සාර වූ තෘප්තියක් නොලැබූ හෙයින් සාරය සොයා බුදුහිමියන් වෙතට පැමිණියහ. බුදු සසුනේ අගසව්වන් ලෙස පමණක් නොව සැරියුත් හිමියෝ මහා ප්‍රඥාවන්ත භික්ෂූන් අතරෙහි අගතැන්පත් වන්නට ද කාමභෝගි දිවියෙන් බැහැර වීම හේතු විය.

පස්කම් සැපතෙහි ඇලී ගැලී එයම ලැබීමේ එකම පරමාර්ථය ලෙස සලකා කම් සැපතෙහි වහලුන් බවට පත්ව සිටින මිනිසුනට කෝලිත උපතිස්ස දෙදෙනාගේ කතා පුවත ප්‍රබල ආදර්ශයක් සම්පාදනය නොකරන්නේ ද?

නිමා නැති කම් සැපත අඳබාල පෘථග්ජන මිනිසුනට ඉතා පහත් අනර්ථයක් ගෙන දෙන්නක් බව නොවැටහේ. එහෙත් කෝලිත උපතිස්ස දෙදෙනා සදාකාලික සැනසුම වෙතට යොමු කළේ බුද්ධි ගෝචර ජීවිතයයි. එබැවින් බුද්ධියෙන් විමසා බැලීම වැදගත් වෙයි.

දම්සක් පැවතුම් සූත්‍රයෙන් උද්ධෘත මාතෘකාවේ දෙවැනි කොටසින් ඒ බුද්ධි ගෝචර ජීවිතය ගොඩනඟා ගන්නා ආකාරය පෙන්වා දෙයි.

එනම් බුද්ධිමතා විසින් තෝරාගත යුතු වන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. ඒ බව “කතමාව භික්ඛවෙ මජ්ක්‍ධිමා පටිපදා කථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී, ඤණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය, සංවත්තන්ති” යන්නෙන් දේශනාවෙහි දැක්වෙයි. එහි අදහස වන්නේ “මහණෙනි, තථාගතයන් විසින් අවබෝධ කරගත් ප්‍රඥාචක්ෂුස ඇති කරන මාර්ගය ඥානය ඇති කරන ක්ලේෂයන් දුරු කරවන විශිෂ්ට ඥානය පිණිස පවතී.

චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පවතින, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවතින ධර්මය මධ්‍යම ප්‍රතිපදාවයි. ඒ අනුව තථාගතයන් විසින් අවබෝධ කර වදාළ මෙම මධ්‍යම ප්‍රතිපදා ධර්මය ප්‍රඥා ඇස ලබා දෙන්නක් බව, මාර්ග ඥානය ඇති කරවන්නක් බව පැහැදිලි ය. එසේම මිනිසාගේ කෙලෙස් සංසිඳුවන්නක් බව ද විශිෂ්ට ඥානය ඇති කරලීම පිණිස පවතින්නක් බව ද පැහැදිලි ය.

මේ මධ්‍යම ප්‍රතිපදාව වන්නේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධියයි.

පුද්ගල මනසක් රාගාදි කෙලෙසුන්ගෙන් බැහැර කොට පාපයෙන් මුදවාලන හෙයින් ද, රහත් බව නැමැති ආර්ය භාවයට මඟ පෙන්වන බැවින් ද මෙම ධර්මතා අට ආර්ය මාර්ගය ලෙස පිළිගැනේ.

මෙම ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨිය සැකෙවින් විමසා බැලීම මෙහිදී වැදගත් වනු ඇත. බුද්ධිමතකු අකුසල හා අකුසල් මූලයන් කුසල සහ කුසල මූලයන් තත්වාකාරයෙන් දකියි ද, දනී ද, ඔහු නිවැරැදි දෘෂ්ටියෙක පිහිටන්නෙකි. එවිට අචල ශ්‍රද්ධාවක ඔහු පිහිටයි. දුක හඳුනන ඔහු දුකෙහි හේතුවත් එය නැති කරන මාර්ගය දකී. ඒ අනුව සම්‍යක් දෘෂ්ටිය යනු නිවැරැදි, යහපත් නුවණක් ගොඩනඟා ගැනීමයි. එමෙන් ම මෙම නිවැරැදි දෘෂ්ටිය ප්‍රධාන කොටස් තුනකට ද බෙදේ. එනම්,

1. කම්මස්සකතා සම්මා දිට්ඨිය

2. විපස්සනා සම්මා දිට්ඨිය

3. මග්ග සම්මා දිට්ඨිය යනුවෙනි.

ඒ අනුව කර්ම ඵල විශ්වාස කිරීමේ නුවණ ගොඩනඟා ගැනීම කම්මස්සකතා සම්මා දිට්ඨියයි. විපස්සනා සම්මා දිට්ඨිය යනු පංචස්කන්ධය පිළිබඳ තතු නිවැරැදිව අවබෝධ කර ගැනීමේ නුවණයි. චතුරාර්ය සත්‍යය දැකීමේ නුවණ මග්ග සම්මා දිට්ඨියයි.

මේ අනුව ඕනෑම දෙයක යථා ස්වරූපය නිවැරැදිව හඳුනා ගැනීමේ නුවණ සම්මා දිට්ඨිය බව පෙනේ. මෙම සම්මා දිට්ඨිය ගොඩනඟා ගන්නා පුද්ගලයා ප්‍රඥාවන්තයකු බව පිළිගැනේ. ලොව බොහෝ දෙනා දෘෂ්ටි ජාලයෙන් වෙළී පවතී. එබැවින් නිවැරැදි දෘෂ්ටියක පිහිටා ගත නොහැකිව බොහෝ මිථ්‍යාවන් පසුපස ගමන් කරන අයුරක් ලොව පුරා අද අපට පෙනෙයි.

අමූලිකා ශ්‍රද්ධා යනුවෙන් ඉගැන්වෙන යමක යථා ස්වරූපය නොදැන ඒ පසු පස ගොස් මුලාවට පත්වෙයි. එහෙත් ආකාරවතී වශයෙන් ශ්‍රද්ධාව ගොඩනඟා ගන්නා සම්මා දිට්ඨිය ඇති පුද්ගලයා ය. ඔහු නිවැරැදි දේ නිවැරැදිව දකී. ජීවිතය කිසිදා මුලාවක් බවට පත්කර නොගනී. ඒ අනුව සම්මා දිට්ඨියෙන් ඇති කර ගන්නා වූ බුද්ධිය, මුලාවකින් තොර ප්‍රබෝධවත් ජීවිතයකට මඟ පෙන්වන බව පැහැදිලි ය.

තෙරුවන් සරණයි