Print this Article


සීදුවේ සුමනවංශ නාහිමියෝ සසුන් දිවියේ 52 වැනි වසර සපුරති

සීදුවේ සුමනවංශ නාහිමියෝ සසුන් දිවියේ 52 වැනි වසර සපුරති

පණ්ඩිත සීදුවේ සුමනවංස නාහිමියෝ සඟරුවන සෝබාවත් කරන උතුම් යතිවරයෙකි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සීදුව නම් ග්‍රාමවරයෙහි උන්වහන්සේගේ උපත සිදුවිය. විශ්‍රාමලත් පොලිස් නිලධාරී කේ.එන්.ජේ. රොවෙල් හා එම්.එස්. පෙරේරා යන දම්පතීන් දෙපළ සුමනවංස නාහිමියන්ට මවුපියෝ වූහ. 1970 ඔක්තෝබර් 31 වැනි දින රද්දොළුව සුබෝධාරාම මහා විහාරය හා අභිනවාරාමය යන උභය විහාරාධිපතිව වැඩ විසූ රද්දොළුවේ අරියවංශ මහා ස්වාමීන් වහන්සේගේ සහ එම විහාරද්වයෙහි විහාරාධිපති අමරපුර මහා නිකායේ ශ්‍රී සුමංගල කාරක සභාවේ ප්‍රධාන කාරක සංඝ සභික සම්මාන අනුනායක අපවත් වී වදාළ රද්දොළුවේ අමරවංස නායක ස්වාමීන් වහන්සේගේ ද ශිෂ්‍යයකු ලෙසින් සුබෝධාරාම මහා විහාරයේ දී උතුම් පැවිදි ප්‍රවෘජ්ජා භූමියට පත් වූහ. 1978 ජූලි මස 25 දින අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරස්ථ උදකුක්ඛේප බද්ධ සීමාවේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් වුණි.

1987 වර්ෂයේ රද්දොළුව ප්‍රාථමික විද්‍යාලයට පත්වීම් ලැබූ උන්වහන්සේ පසුව 2003 වර්ෂයේ සිට රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් ද කටයුතු සිදුකරමින් ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ද විශාල සේවාවක් සිදුකර 2016 වසරේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ලැබූහ.

බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් සුමනවංස නාහිමිපාණන් වහන්සේගෙන් සිදුවන සේවාව අතිමහතත් ය. සීදුව - රද්දොළුව අභිනවාරාම ස්වකීය විහාරස්ථානයේ ශ්‍රී ධම්මානන්ද දහම් පාසල කේන්ද්‍ර කර ගනිමින් දහම් පාසල් සේවාව අරඹන උන්වහන්සේ 1985 සැප්තැම්බර් 25 වන දින රද්දොළුගම ජාතික නිවාස සංකීර්ණය ද කේන්ද්‍රකොට ගනිමින් ශ්‍රී සුමංගල නමින් තවත් දහම් පාසලක් ආරම්භ කරන්නට යෙදුණි. මෙම පාසල් දෙක පදනම් කොට ගෙන සීදුව, රද්දොළුව, රද්දොළුගම ගම්වාසීන්ට පමණක් නොව මුළු ප්‍රදේශයේ ම බෞද්ධ දූ දරුවන්ගේ ධර්ම ඥානය මෙන්ම සදාචාර සම්පන්න ගුණ නුවණින් පොහොසත් දරුකැළක් බිහිකරන්නට නායකත්වය දෙමින් සිදුකරන සේවාව අගය කළ යුතු ම ය. ඒ නිසාවෙන් ම 1990 වර්ෂයේ කටාන, මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරයට ද උන්වහන්සේ නිතරගයෙන් පත්කර ගන්නට යෙදුන අතර, අද දක්වාම පුරා වසර 32ක් මුළුල්ලේ එම සේවා ඉටුකිරීම සුවිශේෂී ලක්ෂණයකි.

උන්වහන්සේට තව තවත් ශාසනික හා ජාතික සේවා ඉටු කරන්නට ශක්තිය, වාසනාව දීර්ඝායු සම්පත්තිය ලැබේවායි පතමි.