Print this Article


හදිසි තීරණ අපරීක්ෂාකාරී බව විනාශයේ ඇරඹුමයි

හදිසි තීරණ අපරීක්ෂාකාරී බව විනාශයේ ඇරඹුමයි

උම්මන්තකයකුට නිවැරැදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නැත. සිතුවේ යමක් ද එයම කරයි. එලෙසම කියයි. එනිසා අපි නොකළ යුතු දේ නොකර සිටීමටත්, කළ යුතු යමක් ඇත්නම් එය කිරීමටත් වග බලා ගත යුතු ය. එවිට සිදු වන්නේ යහපතක් ම ය.

‘පඤ්ඤා නරානං රථනං’ මේ ලෝකයේ මිනිසුන්ට ඇති උතුම්ම රත්නය ඥානය යි. මේ ඥානයෙන් ප්‍රයෝජන ගැනීම තම තමන්ගේ වගකීම ය. මවුපියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, වැඩිහිටියන්ගෙන් ලැබෙන ගුරුහරුකම්, අවවාද, අනුශාසනා නිසා මේ ඥානය වඩා වර්ධනය කර ගත හැක.

සියුම් “නිර්වාණය” පවා අවබෝධ වන්නේ දියුණු කර ගත් “මනුෂ්‍ය ඥානයට යි” සෑම මනුෂ්‍යයකුට ම හොඳ නොහොඳ තේරුම් ගැනීමට පුළුවන් හැකියාවක්, ඥානයක් තිබිය යුතු ය. නොඑසේ නම් ඔහු නිතර ම අමාරුවේ වැටේ. මෙබඳු අය මන්ද බුද්ධික උම්මත්තකයින් බඳු ය.

උම්මත්තකයකුට නිවැරැදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නැත. සිතුවේ යමක් ද එයම කරයි. එලෙසම කියයි. එනිසා අපි නොකළ යුතු දේ නොකර සිටීමටත්, කළ යුතු යමක් ඇත්නම් එය කිරීමටත් වග බලා ගත යුතු ය. එවිට සිදු වන්නේ යහපතක් ම ය.

ඉක්මන, හදිසිය, කලබලය, අපරීක්ෂාකාරීත්වය, විනාශයට එක්තරා හේතුවකි. සමහරු තම දරුවන් සමඟින් රිය අනතුරුවලට භාජනය වන්නේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසයි. තවත් සමහරු තැන නොතැන නොබලා කරන ජංගම දුරකථන සංවාද අනතුරු කැඳවන්නක්. සමහරු මහමඟ මන්තීරු මාරුවීම්වල දී දෙපස නොබලා ගමන් කිරීම නිසා වන විනාශ බොහෝ ය. නුහුරු ගැඹුරු ජලාශවල නෑම, විදුලි උපකරණ භාවිතය වැනි අවස්ථාවල දී සිදුවන බොහෝ අනතුරුවලට මූලික හේතුව අපරික්ෂාකාරීත්වය යි. එබැවින් හැම කටයුත්තක දී ම අපරීක්ෂාකාරී බවෙන් මිදී පරීක්ෂාකාරීව කටයුතු කිරීමට මහන්සි ගත යුතු ය.

අපරික්ෂාකාරී පුද්ගලයන් හැම විටම පසුතැවිල්ලෙනුත්, සුපරික්ෂාකාරී පුද්ගලයන් හැම විටම සතුටිනුත් ජීවත් වෙයි. ජනවහරේ මෙවැනි කියමනක් ඇත.

අප යන එන විට, නිදන විට, කන බොන විට, අඳින පළඳින විට, කියන මේ සෑම අවස්ථාවක ම කල්පනාකාරීව ම කටයුතු කර ගත යුතු ය. නැතිනම් සුළු ප්‍රමාද දෝෂයකින් පවා ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදු වේ. දහමෙහි සතියෙහි පිහිටා කටයුතු කර ගත යුතු යැයි උගන්වා ඇත්තේ මෙබඳු විපත්වලින් අත මිදීමටත්, නිවනටත් හේතුවන නිසයි.

අපරික්ෂාකාරිත්වයත්, සැකයත් නිසා කාන්තාවක් මුහුණ පෑ දුක්මුසු සිදුවීමක් ගැන කියැවෙන කතාවක් ජනවහරේ ඇත.

පෙර එක්තරා බමුණු ගමක “දේව ශර්ම” නම් වූ දුප්පත් බමුණෙක් හිටියා. මොහුගේ භාර්යාව පුතකු වැදුවා. එදාම මුගටි පැටියකු වදා මුගටිදෙන මැරුණා. බැමිණිය අසරණ වූ මෙම මුගටි පැටියා අහක නොදමා තමන්ගේ ම තනකිරි දී පෝෂණය කළා. බැමිණිය මෙසේ කළත් කවදා හෝ තම දරුවාට මුගටියාගෙන් විපතක් සිදුවෙයි යන සැකයෙන් ම හිටියා. එක දවසක් ඇය දරුවා යහනෙහි නිදි කරවා කළය රැගෙන තම ස්වාමියාට කතා කොට ස්වාමීනි, මම වතුර ගෙනෙන්නට යනවා. එබැවින් දරුවා බලා ගන්නට යැයි කියා ගියා.

බැමිණිය ගිය පසු ධනවත් සත්පුරුෂයෙක් ‘දුප්පතුන්ට ධනය දෙයි’ යන ආරංචිය ලැබී දරුවා ළඟ මුගටියා තබා භාර්යාව පැමිණීමට කලින් ඉක්මනින් එමි’යි සිතා බමුණා බැහැරට ගියා. මේ අතරතුර ගෙට සර්පයෙක් පැමිණියා. ඒ නාගයෙක්. උපතින් ම නාගයා මුගටියා සමඟ විරුද්ධ යි. මුගටියා නාගයා දැක වහා මරා දැම්මා. බැමිණිය වතුර කළය රැගෙන එන විට මුගටියා නයා මැරීමේ සතුට බැමිණියට කීමට මෙන් ඉදිරියට ආවා. ලේ තැවරුන මුහුණෙන් ඉදිරියට ගිය මුගටියාට සිදු වූයේ අකරතැබ්බයක්. නිතරම මුගටියා ගැන සැකෙන් හිටිය කාන්තාව ලේ තැවැරුණ මුගටියා දුටු සැණින් තම දරුවා මුගටියා විසින් කා දමා ඇතැයි සිතා අතෙහි තිබූ වතුර කළයෙන් ම ගසා මුගටියා මරා දැම්මා. මරා ගෙට ගිය ඇය දරුවා සිටින තැනට ගොස් බලන විට දරුවා හොඳින් සිටින බවත්, නාගයා මැරී ඇති බවත් දැක්කා. සිදු වූ කාරණය පසුව තේරුම් ගත් බැමිණිය තමන් පරීක්ෂා නොකොට කළ ක්‍රියාව ගැන පසුතැවීමටත්, බලවත් ශෝකයටත් පත් වුණා.

මේ කාරණය ද සිතෙහි තබා බුදුරජාණන් වහන්සේ කළ යුතු, නොකළ යුතු කරුණු වශයෙන් පෙන්වා වදාළේ කුමක්දැයි සිතා බලමු.

දවසක් දා ආනන්ද හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ එකත් පසෙක සිටියා. ආනන්ද හාමුදුරුවන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

ආනන්ද, මම කයින් කෙරෙන දුෂ්චරිත, වචනයෙන් කෙරෙන දුෂ්චරිත, සිතින් කෙරෙන දුෂ්චරිත නොකළ යුතු යැයි කියමි.

එවිට ආනන්ද හිමි ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, යම් සේ කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත මනෝ දුෂ් චරිතයන් නොකට යුතු බව දේශනා කළා.

ස්වාමීණි ඒ නොකටයුතු දුෂ්චරිත කරන්නාට ලැබෙන විපාක තිබේද? එසේ නම් එය දැන ගැනීමට කැමැත්තෙමියි විමසී ය. එවිට බුදුරජාණන් වහන්සේ දුෂ්චරිත කරන පුද්ගලයාට ලැබෙන විපාක වශයෙන් පහත සඳහන් කරුණු පෙන්වා වදාළහ.

* තමන්ට තෙමේ ම දොස් කියයි.

* නුවණැත්තෝ ඔහුට නින්දා කරති.

* නරක රාවයක් පැන නඟී.

* සිහි නැතිව සිට කලුරිය කරයි.

* මරණින් මතු දුගතියක උපදී යනුවෙනි.

ඉන්පසු බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමි අමතා ආනන්ද ය, කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත කළ යුතු යැයි මම කියමි’යි කීහ. එවිට ආනන්ද හිමි, භාග්‍යවතුන් වහන්ස, ඒ සුචරිතයන් කරන අයට ලැබෙන විපාක ඇත්නම් එය ද දැන ගැනීමට කැමැත්තෙමි’යි කී සේක. එවිට බුදුරජාණන් වහනසේ ආනන්දය සුචරිතයන් කරන පුද්ගලයාට පහත සඳහන් විපාක ලැබෙන බව කියා දුන්හ. එනම්,

* තමන්ට තෙමේ ම දොස් නොකියයි.

* නුවණැත්තෝ ප්‍රශංසා කරති.

* හොඳ කීර්තියක් පතළ වෙයි.

* සිහි නුවණින් යෙදී කලුරිය කරයි.

* මරණින් මතු දිව්‍ය ලෝකයේ උපදියි යනුවෙනි.

එනිසා පින්වතුනි, අප ද දෛනිකව කරනු ලබන කටයුතුවල දී කළ යුතු, නොකළ යුතු දේ තෝරා බේරා ගෙන කල්පනාකාරීවත්, සුපරික්ෂාකාරීවත් කටයුතු කිරීමට උත්සාහ දරමු. එවිට පසුතැවිලි නොවී සතුටින් ජීවත් වීමට අවස්ථාව ලැබෙනු ඇති.