Print this Article


සාරධර්ම ගැන සීරුවෙන් නොසිටියොත් අනාගත පැවැත්ම අසීරු වේවි

සාරධර්ම ගැන සීරුවෙන් නොසිටියොත් අනාගත පැවැත්ම අසීරු වේවි

විවෘත සංවාදයකට යොමු විය යුතු තරමට මුළු මහත් සමාජය ම මානව චර්යා ධර්මවලින් පරිහානියට පත්වෙමින් ඇත. මෙබඳු දුසිල් තත්ත්වයකට සමාජය ඇදීයාම අප කාගේත් ශෝකයට හේතුවන අතර, යළිත් සමාජය සුගතිගාමී කිරීම සඳහා තවදුරටත් පමා නොවී සමාජ ශුධාරකයන් කටයුතු කිරීම යුගයේ ප්‍රබල අවශ්‍යතාවක් වී තිබේ.

‘මුදල’ මුල් කරගත් විවෘත ආර්ථික රටාව මිනිසා මානව ගුණ ධර්මවලින් ඈත් කිරීමට ප්‍රබල හේතුවක් වී තිබේ. මිනිසකු ලෙස උපදින අප මිය යා යුත්තේ තිරිසනකු ලෙස නොව යහපත් සුධර්මවාදී මිනිසකු ලෙස ය. මිනිසා මිනිසත් බවෙහි රඳවා තබන්නට මානව සමාජයේ පෙර ගමන් කරුවන් වූ සඟ, වෙද, ගුරු යන තෙවැදෑරුම් පරපුර පෙරදා පුරෝගාමී විය.

මේ ත්‍රිවිධ භූමිකා තුළින් අදත් ඒ ගුණ සමුදායයන් සහ කැපකිරීම් සමාජය තුළට වහනය වන්නේ ද යනු සීරුවෙන් සලකා බැලිය යුතුව තිබේ.

පෙරදා සංඝරත්නය විසින් මානව සමාජය ධර්මානුගත කිරීමට කැපවන ලදී. උපෝසථ ශීලයෙන් හා සම්බුදු දහමින් පරිණතව, ධර්මානුගත පොත් එනම් බුත්සරණ, සසදාවත, කව්සිළුමිණ, උමංදාව, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, ථූපවංශය, පූජාවලිය, ගුත්තිලය, දහම්සොඬකව වැනි සම්බුදු දහමින් පෝෂණය කරන ලද පොත් රචනා කොට සමාජගත කරන ලද අතර, මෙම ග්‍රන්ථ අධ්‍යාපනයට යොදා ගනිමින් අධ්‍යාපනය හරහා ජනතාව ධර්මානුගත කරන ලදී. ඒ මඟින් මානව සමාජය ධර්මානුගත විය.

අද එවැනි තත්ත්වයක් දකින්නට නැත. අධ්‍යාපනය තුළ පැවති සදහම් පොත් අධ්‍යාපනයෙන් බැහැර කරනු ලැබ කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන්නේ යැයි, සැලකෙන පොතපත අධ්‍යාපනයට ආදේශ කර ඇත.

මේ නිසා සාරධර්ම, ගුණධර්ම මානව ධර්ම සමාජයෙන් ගිලිහී ගොස් විභාග හා රැකී රක්ෂා ඉලක්ක කර ගත් අධ්‍යාපනයකට මුළුමහත් සමාජය නැඹුරු වී ඇත. මේ නිසා විලිබිය නැති, අසංවර වූ සදාචාරයෙන් ගිලිහී ගිය හිස් මිනිසුන් නිර්මාණය වන්නට විය.

හැම බෞද්ධ ගමක ම පන්සලක්, විහාරස්ථානයක් ඉදි වී සංඝරත්නය ද වැඩ වෙසෙති. රජය මඟින් මාසයේ ප්‍රධාන පෝය දා රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ඇත. එහෙත් මේ නිවාඩුව සැලකිල්ලට ගෙන විහාරයකට, පන්සලකට ගොස් දහම් ගතවීමට උනන්දු වන්නේ බෞද්ධයන්ගෙන් කීයෙන් කී දෙනා ද? පෝය දිනය නිවාඩු කිරීමෙන් බෞද්ධ ජනතාවට දහම් ගතවීමට රජය අනුබල දී ඇත. නමුත් පෝය දිනයේත් මුදල මුල්කොට කටයුතු කිරීමට ජනතාව ඇබ්බැහි වී ඇත.

මේ සමාජ පරිහානිය නිවැරැදි කිරීමට ප්‍රබල සමාජ සංවිධාන බිහි වී නැත. හැම බෞද්ධ පාසලක ම පාහේ විවිධ විෂයයන් ඉගැන්වීමට සංඝරත්නය ගුරුවරුන් ලෙස පත්කර ඇත. මෙසේ පත්කර සිටින සංඝරත්නයට අනෙක් විෂයයන් හැරදමා ආගම දහම ඉගැන්වීම අනිවාර්ය කෙරෙන්නේ නම් දරුවන් තුළ ධර්මානුගත හැඩගැස්මක් ඇති කිරීමට එය හේතුවිය හැකි ය.

සමාජය යහමඟ ගැන්වීම සඳහා කැපවන අනෙක් පුරෝගාමී කණ්ඩායම වන්නේ ගුරු පරපුරයි. අද මේ රටේ ලක්ෂයකට වැඩි ගුරු සංඛ්‍යාවක් පාසල් සේවයේ යෙදී සිටින නමුත් සංවරශීලී, සදාචාරාත්මක, විනයගරුක මිනිසුන් සමාජයට එකතු වන්නේ ඉතා අඩුවෙනි.

උසස් අධ්‍යාපන ආයතන ලෙස සැලකෙන විශ්ව විද්‍යාලවලට ඇතුළු වී සිටින තරුණ පරපුරේ හැසිරීම අසංවර වන අවස්ථා කොතෙකුත් දකින්නට ලැබේ.

විශ්ව විද්‍යාල තුළ මෙසේ අසංවර ලෙස, අවිනයෙන් හැසිරෙන අය සමාජගත වී ගුරු තනතුරු හා රජයේ කළමනාකරණ තනතුරු ගත්විට ඔවුන්ගෙන් බොහෝ විට සමාජයට ගලා යන්නේ ගුණ දහමින් පෝෂිත ජීවන රටාවක් නොවේ. රොබෝවරුන් වැනි මිනිසුන් සමාජයට එකතු වීමට මේ අයගේ පුරෝගාමීත්වය බලපානු ලැබේ.

දරුවන්ගේ ගුරුවරුන් ලෙස ක්‍රියා කරන අය, දරුවන්ට යහ දිවි පෙවෙතක් හිමිකර දීමට කැපවී කටයුතු කරන්නේ නම්, සමාජය යහමඟ ගැන්වීමට එය ප්‍රබල හේතුවක් විය හැකි ය.

සමාජය හදන උතුම් ගුරු වෘත්තිය අද මුදලට අලෙවි වී තිබේ. මුදල් පසුපස හඹායන ඇතැම් ගුරුවරු උපකාරක පන්තිවලට ඇබ්බැහි වී උතුම් ගුරු වෘත්තිය බාල්දු කර දමා ඇත. අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් සේ රට පුරා විකිණෙන්නට පටන් ගෙන ඇත. බොහෝ පාසල්වල අ.පො.ස. උසස් පෙළ කරන පන්තිවල පාසල් කාලය තුළත් ඉගෙන ගන්නා දරුවන් නැත. ඔවුන් බොහෝ විට උපකාරක පන්තිවල ය. පෙරදා පාසල් දිනවලින් 80%ක් වත් පාසලට පැමිණ නැති ළමුන්ට විභාගවලට පෙනී සිටීමට අවසර නැත. පාසල්වල උසස් පෙළ ඉගෙන ගන්නා ළමුන් අති බහුතරය පාසල් කාලය තුළත් උපකාරක පන්තිවල ය. මුදල් පසුපස හඹා යන අධ්‍යාපන රටාවක් සමාජය තුළ පැළපදියන් වීම ගුණ ධර්ම නොදන්නා තරුණ සමාජයක් බිහිවීමට හේතු වී තිබේ.

තුන්වෙනුව වෙදවරු මානව සමාජයේ පෙරගමන්කරුවෝ ය. ඔවුහු සමාජයේ නිරෝගී බව සහ පැවැත්ම සඳහා ඇපකැපවී පෙර දා කටයුතු කළහ. රෑපානක වුවත් ගම ගෙදරක ලෙඩක් දුකක් ඇති වුවහොත් බෙහෙත් සැරයටිය ද, ලන්තෑරුම ද අතැතිව ලෙඩා සොයා ගොස් ඔහුට ප්‍රතිකාර කර සුවපත් කිරීම පෙරදා විසූ උතුම් වෙදවරුන්ගේ සිරිතකි. ඔවුහු සල්ලි මිල මුදල් කිසිවක් නොගෙන ගරු බුහුමනට අතට ලැබෙන බුලත් කොළය ගෙන වෙදකම් කොට ජනතාව සුවපත් කළහ. මෙම ගෞරවණීය වෙද රටාව අද වනවිට මුළුමනින් ම සේදී ගොස් ඇත.

මුළු මහත් රටම විදේශීය වෙදකම පැතිරී ගොස් විදේශීය බෙහෙත් කඩ හැම නගරයක ම දකින්නට ලැබෙන අතර, දොස්තර කඩ ද හැම නගරයක ම පැතිරී ඇත. රෝගියකුට රුපියල් තුන් හාරදාහක් වැය නොකොට දොස්තර කඩේකින් එළියට බැහීමට නුපුළුවන. බොහෝවිට ඔවුන් රෝග විනිශ්චය කරන්නේ ලේ, මුත්‍රා තවත් බොහෝ දේ යන්ත්‍රානුසාරයෙන් පරීක්ෂා කිරීමෙනි. මෙම පරීක්ෂණ සඳහා විශාල වියදමක් දරන්නට රෝගියාට සිදුවේ.

රජයේ පාසල් අභිබවා ගොස් උපකාරක පන්ති ඉදිරියට පැමිණ ඇතිවාක් මෙන් රජයේ රෝහල් අභිබවා ගොස් දොස්තර කඩ සේවය ඉදිරියට පැමිණ මුදල මුල් කරගත් සමාජ රටාවක් බිහි වී ඇත.

වැටත් නියරත් ගොයම ගිල ගන්නාක් මෙන් සමාජ සංරක්ෂණයට පුරෝගාමීන් වී සිටින සඟ, ගුරු, වෙද පරපුරේ බොහෝ අය සිය භූමිකාව නොසලකා කටයුතු කිරීමේ හේතුවෙන් මුදල මුල් කරගත් සමාජ රටාවක් බිහි වී නො මිනිසුන් බෝවන්නට පටන්ගෙන තිබේ. එය වහා වෙනස් කළ යුතු තම තමන් විසින්ම ය.

සම්බුදු දහමට එකඟව ජීවන පැවැත්ම සකසා ගන්නා පුද්ගලයාට එය අසීරු නැත. තමන් බෞද්ධ යැයි ලෝකයට පෙන්වන්නට විවිධ ආගමික උත්සවවල දී කැපී පෙනුණාට වැඩක් නැත. ධර්මය ජීවිතයට ද ප්‍රායෝගික විය යුතු ම ය. එවිට ය තමන්ට ද හිත, අනුන්ට ද හිත පුද්ගලයෙක් නිර්මාණය වනුයේ. එවැන්නෝ රටට, ලෝකයට ම වාසනාවකි.