Print this Article


අයිතිය ලබන්න යුතුකම් ඉටු කරන්න

අයිතිය ලබන්න යුතුකම් ඉටු කරන්න

සත්තභරියා සූත්‍රය සුජාතාව නම් කුල දුවක් අරබයා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළහ. මෙම සූත්‍රයට අනුව භාර්යාවන් සත් දෙනකු ගැන කියැවේ.

සුජාතාව නම් කුල දුවකගෙන් භාග්‍යවතුන් වහන්සේ විමසුවේ බිරින්දෑවරුන් සත් දෙනාගෙන් තමන් කුමන බිරිඳක් වන්නේ දැයි, කියා ය. එයට පිළිතුරු දෙන සුජාතාව පවසා සිටියේ තමන් දාසියකට සමාන ගතිගුණ ඇති බිරිඳක් වීමට කැමැති බවයි.

මෙම සූත්‍රයේ සඳහන් භාර්යාවන් සත් දෙනා වන්නේ, වධකසම භාර්යාව, චෞරී සම භාර්යාව, ආර්ය සම භාර්යාව, මාතෘ සම භාර්යාව, භගනී සම භාර්යාව, සඛී සම භාර්යාව හා දාසී සම භාර්යාව ය.

මෙහි පළමු භාර්යාවට සැමියාට හිතවත් නොවූ නපුරු ගති ස්වභාවයක් ඇත. ඇය අන්‍ය පුරුෂයින්ට ඇලුම් කරන්නී ය. සැමියාට වධ කිරීමට වෙර දරන ඇය වධකසම භාර්යාව ලෙස හඳුන්වා ඇත.

දෙවැනි භාර්යාව සැමියා විසින් වෙහෙස මහන්සියෙන් උපයා සපයා ගන්නා ලද වස්තුවෙන් කොටසක් සඟවා ගන්නා වූ “චෞරී සම” භාර්යාවයි.

‘ආර්ය සම භාර්යාවගේ ලක්ෂණයක් වන්නේ අලස ගතියත්, නිවසේ වැඩ කිරීමට අකැමැති බවත්, බොහෝ කොට අනුභව කිරීමට ගිජු බවත් ය. නපුරු කටුක වචන කියන ඇය සැමියා යටත් කර ගෙන නිවසේ පාලනය සියතට ගැනීමට උත්සාහ දරන ස්වභාවයක් ඇත.

මෙහි සඳහන් ඉතිරි භාර්යාවන් හතර දෙනාගේ ගති පැවතුම්වල දෝසයක් දැකිය නොහැක. ‘මාතෘ සම’ භාර්යාව සැමියාට හිතවත්, අනුකම්පා ඇත්තියකි. ඇය දරුවන් රක්නා මවක් මෙන් සිය සැමියා රැකීමට වෙර වීර්ය ගන්නී ය. හිමියා උපයන සපයන සියල්ල අරපරෙස්සම් කරන්නා වූ ඇය ගුණ යහපත් බිරිඳකි.

“භගනී සම” භාර්යාව නැඟණියක් සේ සැමියාට ගරු කරන අතර, ඇය ලජ්ජාශීලිව, කීකරුව සැමියා සමඟ ඉවසීමෙන් කටයුතු කරන්නී ය.

ඊළඟ භාර්යාව වන්නේ සඛී සම භාර්යාවයි. ඇය බොහෝ කලකින් නොදුටු යහළුවකු දැක සතුටු වන්නා වූ යෙහෙළියක මෙන් සැමියා දැක සතුටු වේ. කුලවත් වූ, සිල්වත් වූ ඇය පතිව්‍රතාව ගරු කරන ගුණ යහපත් බිරිඳකි.

ඉහත සඳහන් කළ බිරින්දෑවරු සියලු දෙනාට ම වඩා ගුණ යහපත් භාර්යාවක් ලෙස මෙහි කියැවෙන “දාසී සම” භාර්යාව සඳහන් කළ හැක. මෙහි සඳහන් සුජාතාව ද බුදුරජාණන් වහන්සේට පවසා සිටියේ අද පටන් තමන් සැමියාට “දාසී සම” බිරියක් කොට වාසය කරන බවයි. දාසී සම භාර්යාවගේ ලක්ෂණයක් වන්නේ සැමියාගේ තර්ජන ගර්ජනවලට නොකිපෙන ගතියයි. සැමියාගේ වරද ඉවසමින් කීකරුව, සුහදව, ගුණ යහපත්ව, ඉවසීමෙන් යුතුව කටයුතු කරන්නීය.

එදා භාරත සමාජය තුළ ද ඉහත ලක්ෂණවලින් යුතු බිරින්දෑවරුන් ජීවත් වී තිබේ. අද අප සමාජය තුළ ද එවැනි ලක්ෂණවලින් යුතු බිරින්දෑවරු සිටිති. එහෙත් ගුණගරුක දාසී සම භාර්යාවන් ඉතා විරල ය.

පවුල් ඒකකය යහපත් වුවහොත් මුළු සමාජය පමණක් නොව මුළු රටම යහපත් වේ. මේ ප්‍රශ්නයට බිරිඳ පමණක් නොව සැමියා ද වගකිව යුතු ය. පවුල් ඒකකය පිරිහීමට බඳුන් වන අයහපත් ගුණ ධර්ම හඳුනාගෙන, ඒවා මඟහැර, යහපත් ගුණ ධර්ම ස්ථාපිත කරගෙන, එලොව මෙලොව ජය ගන්නා හැටි බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවලින් පෙන්වා දී ඇත.

විශේෂයෙන් පවුල් ඒකකය තුළ බිරිඳකට හිමි වන්ගේ අතිවිශේෂ තැනකි. විශාල බරක්, විශාල දුකක් දරා ගනිමින් ජීවන ගමනක යෙදී සිටින ඇය එදා භාරත සමාජය තුළ අදෘෂ්‍යමාන පිණ්ඩකයක් ලෙස හුවා දැක්වීමට බමුණු සමාජය වෙරවීරිය ගත්තේ ය.

බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් සමඟ බමුණු මතය දෙදරා ගියේ ය. කාන්තාවට සමාජ තලයේ නිසි තැන ලැබුණි. යහපත් බිරිඳක් වීමට අවශ්‍ය හේතූන් මොනවාද යන්න උන්වහන්සේ විවිධ සූත්‍ර දේශනා මඟින් පැහැදිලි කළහ. සියලු වැරැදිවලින් මිදුණ පිරිසුදු භාර්යාවන් විශ්වය තුළ සොයා ගැනීමට අපහසු වුවත් ඔවුන් ද සිටිය හැක.

බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ කාලයේ සිටි ‘නකුල පිතා නකුල මාතා, විශාඛා මහෝපාසිකාව, බන්දුල මල්ලිකා, කෝසල මල්ලිකා, බහුපුත්තික මාතාව ආදී චරිත ගැන අපි අසා ඇත්තෙමු. ඔවුහු බොහෝ විට සම ශීල, සම ශ්‍රද්ධා, සම ත්‍යාග, සම ප්‍රඥා ඇත්තෝ වූහ.

ගුණ දහම් වඩන, ප්‍රතිපත්ති ගරුක බිරින්දෑවරු සැමියකුට ලැබෙන්නේ ද පෙර කළ පුණ්‍ය ශක්තීන්ට අනුව බව ධර්මයේ සඳහන් වේ. එනිසා එම කුසල සම්පත්තීන් ඇති කර ගැනීමට දාන, ශීල, භාවනාමය පුණ්‍ය කටයුතුවල නිරතවීම අත්‍යවශ්‍ය වේ.

මෙම සූත්‍රයේ එන ගාථා දෙකකින් විස්තර වන්නේ දුසිල්වත්, නපුරු, සැමියාට ආදරයක් නැති බින්දෑවරු කය බිඳී මරණයෙන් පසු (කායස්ස භෙදා නිරයං වජන්තීති) දුගතියක උපදින බවයි. සිල්වත්, ගුණගරුක බිරින්දෑවරුන් කය බිඳි මරණයෙන් පසු (කායස්ස භෙදා සුගතිං වජන්තීති) සුගතියක උප්පත්තිය ලබන බවයි.

විශාඛා මහෝපාසිකාවට බුදුරජාණන් වහන්සේ මෙලොව ජය ගන්නා ස්ත්‍රිය ගැනත්, පරලොව ජය ගන්නා ස්ත්‍රිය ගැනත් ඒ සඳහා කළ යුතු ප්‍රතිපදාව ගැනත් දේශනා කළහ. ඔබ අප කෙරෙහි වූ මහා කරුණාවෙන් වදාළ මෙම දහම අගයමින් අප තුළින්ම දහම දැකීමට වෙර වීරිය ගැනීම අනිවාර්යයෙන් ම කළ යුත්තකි.

ඒ අනුව මෙලොව ජය ගන්නා ස්ත්‍රිය විසින් කළ යුතු ප්‍රතිපදාව විශාඛාවට බුදුරජාණන් වහන්සේ වදාළ සේක. බිරිඳ විසින් මනාකොට කළ යුතු දෙය කිරීමටත්, පිරිවර ජනයාට සුදුසු පරිදි සංග්‍රහ කිරීමටත්, සැමියා සතුටු වන පරිදි හැසිරීමටත්, සැමියා සපයන ධන සම්පත් ආරක්ෂා කිරීමටත් උනන්දු විය යුතු ය. එවැනි බිරින්දෑවරුන්ට මෙලොව දිවි පෙවත ඉතා සතුටින් සාමයෙන් ගත කළ හැකි බව පෙන්වා දී ඇත.

පරලොව ජය ගන්නා ස්ත්‍රිය විසින් පිළිපැදිය යුතු කරුණු හතරක් ගැන ද කියැවේ.

ශ්‍රද්ධාවෙන් යුක්ත වීම, ශීලයෙන් යුක්ත වීම, ත්‍යාග ස්වභාවයෙන් යුක්ත වීම හා නුවණින් යුක්ත වීම යන කරුණු හතරයි. මෙලෙස දෙලොව ම ජය ගැනීමට හේතු වන කරුණු අටකින් සන්නද්ධ වූ කාන්තාව මෙලොව සතුටින් වාසය කොට මරණින් මතු සුගතිගාමී වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ “සිඟාල” ගෘහපති පුත්‍රයාහට දේශනා කළ සූත්‍රයේ ද භාර්යාවගේ යුතුකම් පහක් ගැන සඳහන් කර ඇත. කලට වේලාවට අහර පිළියෙළ කර දී නිවසේ කටයුතු අවසන් කිරීමටත්, සැමියාගේ නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කිරීමත්, සිය සැමියා හැර අන් පුරුෂයින් නොපැතීමත්, හිමියා සපයන ධනය ආරක්ෂා කිරීමත් බිරිඳගේ යුතුකමක් බව අවධාරණය කර ඇත.

බිරිඳගෙන් ඉටුවිය යුතු යුතුකම් වගේම සැමියාගෙන් ද බිරිඳට ඉටුවිය යුතු යුතුකම් පහක් සූත්‍රයේ සඳහන් කර ඇත. බිරිඳ සතුටු වන ලෙසට පි‍්‍රය වචනයෙන් කතා කිරීම, බිරිඳට අවමන් නොකිරීම, බිරිඳ හැර අන් ස්ත්‍රීන් සේවනය නොකිරීම, නිවසේ අධිපති බව පැවැරීම, වස්ත්‍රාභරණ ආදිය සැපයීම ඒ සැමියාගේ යුතුකම් ය.

අද බොහෝ පවුල් සංස්ථා දෙදරා යාමට බලපෑ ප්‍රධාන හේතුව තම තමන්ගේ යුතුකම් පැහැර හැරීමයි. යුතුකම් ඉටු නොකර අයිතීන් දිනා ගැනීමට බොහෝ දොන පෙළඹී සිටිති. ඒ නිසයි මේ අර්බුධය හටගෙන තිබෙන්නේ.

“සුනාත ධාරේථ චරාථ ධම්මෙ”

යන බුදු වදනට අනුව බණ (යහපත් දේ) ඇසීම, අසාගත් දෙය ධාරණය කර ගැනීම, ධාරණය කර ගත් දෙය තමාගේ ජීවිතයට පුරුදු කිරීම තුළින් මේ අවුල ලිහා ගත හැක. අද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් රැගෙන එන රාග, ද්වේශ . මෝහ යන ක්ලේශ ධර්මයන් වඩන තොරතුරු ග්‍රහණය කිරීම නිසා බොහෝ දෙනාගේ ආධ්‍යාත්මික පැත්ත පිරිහී ඇත. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් තම තමන් ඉතා දක්ෂ ලෙස වෙර වීරිය ගෙන ප්‍රඥාව අවධි කළ යුතු ය.