Print this Article


කුරුන්දි ජාතික උරුමයට ඇයි මේ බාධා

කුරුන්දි ජාතික උරුමයට ඇයි මේ බාධා

කුරුන්දි විහාරය එහෙමත් නැත්නම් කුරුඳුමලේ ගැන අපි මීට පෙරත් කතා කළා. අවාසනාවට අදත් මේ ඓතිහාසික සිද්ධස්ථානය ගැන අපට කතා කරන්නට සිදුව ඇත්තේ ඊට එරෙහිව පිරිසක් කටයුතු කරන නිසයි.

මුලතිව් කෝකිලායි මාර්ගයේ නාගචෝලේ වන රක්ෂිතයේ පිහිටා ඇති කුරුන්දි විහාරය මෙරට එකම කබොක් ස්තූපය බවට සැලකෙනවා. ඒ බව පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් ද තහවුරු කර තියෙනවා. 1933 වසරේ දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නාගචෝලේ රක්ෂිතයක් ලෙස ගැසට් කරන ලද්දේ එහි ඇති ඓතිහාසිකත්වය නිසයි.

සේරුවාවිල විහාරස්ථානය අපට දායාද කළ දඹගස්ආරේ මේධංකර හිමියන් විසින් කුරුන්දි විහාරය ගැන පැහැදිලිව කරුණු දක්වා තිබෙනවා. කුරුන්දි විහාරය අයත් භූමි භාගය 80 දශකයේ දී නියමිත පරිදි හඳුනා ගැනීමෙන් පසු එය සංරක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කටයුතු කළා. එහෙත් පසුව ඇති වූ ත්‍රස්තවාදී යුද ගැටුම් නිසා ඒ සියල්ල පසුවට නතර කර දමන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදු වුණා.

යුද්ධයෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුන්දි විහාරයීය පුනරුත්ථාපන කටයුතු ආරම්භ කළත් ප්‍රතිපාදන නොමැති වීම නිසා ගැටලුවකට මැදි වන්නට ඔවුන්ට සිදුවුණා. එහෙත් බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් ලබා දුන් මුදල් ප්‍රතිපාදන නිසා එහි සංරක්ෂණ කටයුතු සිදු කරන්නට හැකි වීම භාග්‍යයක් බව පෙන්වා දිය යුතුයි.

එහෙත් ජාතිවාදය මුල් කර ගත් දේශපාලකයන් කිහිප දෙනකු විසින් මේ කටයුතු අඩපණ කරන්නට කටයුතු කළේ බෞද්ධ සිද්ධස්ථානයක් විසින් දෙමළ ජනතාවගේ භූමියක් අයිතිකර ගෙන ඇති බවට ව්‍යාජ කරුණක් මතු කරමින්. ඔවුන් ඒ සම්බන්ධයෙන් නඩුවක් ද ගොනු කළා. එම කරුණ නිසා මතුවූ නීතිමය ගැටලු නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වැඩ කටයුතු තාවකාලිකව නවතා දමන්නට සිදුවුණා.

නඩුවේ තීන්දුව ලැබු‍ණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කුරින්දි සංරක්ෂණ කටයුතු නිසි පරිදි සිදු කරගෙන යාමට හැකි වන පරිද්දෙන්.

එයින් පසුව කුරින්දි විහාරයේ සංරක්ෂණ කටයුතු කර ගෙන යන්නට හැකි වුණා. කබොක් ස්තූපය සංරක්ෂණයට අවශ්‍ය කටයුතු සිදු කෙරුණා. අමාරුවෙන් වුණත් කබොක් ගල් සොයාගෙන මේ සංරක්ෂණ කටයුතු සිදු කෙරුණේ බෞද්ධාලෝක පදනම විසින් ලබා දුන් ප්‍රතිපාදන නිසයි. කුරුන්දි සර්ව ආගමික සංකල්පයක් ලෙසින් ඉදි කෙරුණා යැයි කිවහොත් එය නිවැරැදි වන්නේ එහි ඉදිකිරීම් සඳහා දෙමළ ජනතාවත් සහාය ලබා දුන් නිසයි.

කොළඹ පැවති විරෝධය

ඒ අනුව ගොඩනැඟුණු කුරුන්දි විහාරයේ ධාතු නිදාමෝත්සවය පසුගිය පොසොන් පුන් පොහෝ දිනට යොදාගෙන තිබුණා. එහෙත් එම පුණ්‍ය උත්සවයට බාධා කරන්නට දෙමළ ජාතික සන්ධානයේ දේශපාලකයන් කිහිප දෙනකු විසින් කටයුතු කළා. ඒ කුරුන්දි චෛත්‍යය අසලට ම ගොස් එහි කටයුතුවලට බාධා පමුණුවමින්.

එහි පැවැත්වීමට නියමිත වූ ධාතු නිධානෝත්සවය නවතා දමන්නට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයාට සිදුවුණා. එය ඇත්තෙන් ම රාජ්‍ය ආයතන ප්‍රධානියකුගේ රාජකාරියට බාධා කිරීමක්. රාජ්‍ය ආයතන ප්‍රධානියකුගේ රාජකාරියටත් වඩා රාජ්‍ය කටයුත්තකට බාධා කිරීමක් බව පෙන්වා දිය යුතුයි.


බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල

පසුව අන්තවාදී පිරිස් මුලතිව් අධිකරණයේ තිබූ නඩුව යළි කරළියට ගෙනාවේ කුරුන්දි විහාරයට තවත් බාධා කරමින්. එම නඩුවට කරුණු ගෙන හැර දක්වන ලද්දේ ව්‍යාජ තොරතුරු මුල් කර ගනිමින් වූ අතර පුරාවිද්‍යා රක්ෂිතයක් යන්න මෙහිදී වසන් කර තිබුණා. එමෙන්ම නාගචෝලේ වන රක්ෂිතයක් දෙමළ හෝ සිංහල හෝ ජනතාවකට අයත් වන්නේ කෙසේද යන්න පවා එහිදී වසන් කර තිබුණා.

මුලතිව් මහේස්ත්‍රාත්වරයාට වාර්ථා කළ මේ කරුණුවල ප්‍රතිඵලය වූයේ කුරුන්දි විහාරය කඩා ඉවත් කර දමන ලෙසට අධිකරණ නියෝගයක් පැනවීමයි. ඒ පසුගිය ජූලි මාසයේ 14 වෙනිදායි .

එහෙත් පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ඊට එරෙහිව මුලතිව් අධිකරණයට කරුණු වාර්තා කෙළේ ජූලි 21 වැනි දා. මහේස්ත්‍රාත්වරයා එම කරුණු පරීක්ෂා කර බලා අවසානයේ කුරින්දි විහාර භූමියට ගොස් ස්ථානීය පරීක්ෂාවක් කළා. පසුව අධිකරණයට ගිය මහේස්ත්‍රාත්වරයා තීන්දුව ලබා දුන්නේ තමන් විසින් මීට පෙර ලබා දුන් නියෝගය බල රහිත කරනු ලබන බවත්, කුරුන්දි විහාරයේ සංරක්ෂණ කටයුතු කර ගෙන යාමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුමැතිය හිමිවන බවත් ය.

ඒ අනුව සියලු ජාතීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන කුරුන්දි විහාරයේ සංරක්ෂණ වැඩ කටයුතු යළිත් ඇරැඹුණා. එහෙත් පසුගියදා එහි ගිය ජාතිවාදී පිරිස් විසින් එහි සේවයේ යෙදී සිටි පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන පවා එල්ල කර තිබුණා. මේ නිසා කුරුන්දි විහාරයේ කටයුතු කළ පුරාවිද්‍යා නිලධාරීන් පොලිසියේ පැමිණිල්ලක් දමා එම භූමියෙන් ඉවත්ව තිබෙනවා.

එයින් කුරුන්දි විහාරයීය වැඩ කටයුතු මුළුමනින් ම අඩපණ වෙලා.

ජනප්‍රවාදවලට අනුව බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය වූ නාගදීපයට වැඩම කළ අවස්ථාවේ දී කුරුඳුමලේ විහාරය පිහිටි කඳු සහිත භූමියට වැඩම කොට තිබෙනවා. ඛල්ලාටනාග රජු විසින් ක්‍රි.ව. 100 -103 අතර කාලයේ දී කුරුන්දාවශෝක විහාරය තනා ඇති බවට පුරාවිද්‍යා සාක්ෂ්‍ය තිබෙනවා. යළි කබොක් ගල්වලින් මේ ස්තූපය තනා සමස්ත ජාතීන්ට ම මේ ඓතිහාසික සිද්ධස්ථානය රැක දීමට කටයුතු කළ යුතු වනවා.