Print this Article


පහන් සිතක කවි

සංස්කරණය - දීපා පෙරේරා

බුදුගුණ සිහිවුණා ...

එහෙ මෙහෙ අත දුවන මගෙ සිත කඩිමුඩියේ
සංවර කර ගන්න බැරි වුණි එක සරියේ
සුවඳ දුමින් මත් වුණි සිත හිටි හැටියේ
කුªමට ද අල්ලගත්තේ ඇය දිවි සැරියේ

නිනව්වක් නොමැත මා හට කළ යුත්තක්
ඇසිල්ලක් පවා නෙත සිත පිනවිල්ලක්
නිමාවක් වෙතොත් දිවියට සැනසිල්ලක්
බවුන් වඩන්නට වෙහෙසෙමි වතාවතක්

බෝපත් සිසිල හමනාවිට උඩමලුවේ
චන්දන සුවඳ දැනුණා මට සඳඑළියේ
පුන් සඳ නැඟෙනවිට ඉහළින් රන්මැලියේ
බුදුගුණ සිහිවුණා නිතැතින් හද ගැඹරේ


කුසලට පමා වී

පෙරුමන් පුරා අංගීරස සමිඳු එදා
සසරින් මිදෙන මාවත හෙළි කළා සදා
නිවනට බාධ වන මරු සේනාව සිඳා
ලෝ සත්ත්වයාහට නිර්මල දහම පුදා

තණ්හා මාන ආශා ගොඩ ගසා මෙදා
හැසිරෙති දනන් මරු සේනා සමඟ සදා
අන් අය පෙළන්නට සිතිවිලි නිතර යොදා
සැනසුම ලැබේවි ද සිටි විට මෙලෙස සදා

අස්ථිර ලෝකයේ ස්ථිර දේ සොයනු එපා
කාමය හමුවෙ සාමය පරදන්න එපා
පාපය සමඟ කිසිවිට සාදය ද එපා
කුසලට පමා වී නිරයට යන්න එපා


දමනය කළ සේක

දස බල මාර සෙන් දමනය කළ වරුණේ
චණ්ඩබල ඇතුන් පය පාමුල වැටුණේ
කුරිරු ගොර සපුන් තිසරණයෙන් රැකුණේ
මිසදිටු බමුණු මත බුදු බලයෙනි නැසුණේ

සතුරුකම්වලට සීමා නොමැති කල
වියරුව ගියත් දෙව්දත් පසු නොබැසි දල
කරුණා දයා දෑසින් නෙත් එකලු කළ
විශ්වය පුරා පැතිරුණි බුදු හිමිගෙ බල

නලාගිරි ඇතුට රා කළ පොවා සොළොස්
එව්වේ හිමි පෙරට දෙපලුව කරලනු වස්
අදහාගත නොහී එදෙසට යොමුවූ දැස්
ගල් ගැසුනේ ලු දැක සමිඳුට ලැබුණු යසස්

දන් දී කල්ප කාලාන්තර රුහිරු මසැස්
පෙරුමන් පිරුව බෝසත්හට නොමැත රහස්
සසරින් සත මුදා ගැනුමට වින්ද වෙහෙස්
හිතනට වත් නොහැක අපහට නොමැත දිවැස්


අම්මා

අරුණ නැඟෙනට පළමු අවදිව
දෑස් නිදිමත ගතිය දුරලා
කුසේ ගිනි අපෙ නිවාලන්නට
අහර පිසලා දුන්නු අම්මා.......

වරෙක අප කුස පුරවමින්
පැන් පොදින් කුසගිනි නිවා ඔබෙ
ලෙඩ දුකේ දී අපේ හැම දින
අපට වැඩියෙන් හැඬුවෙ ඔබ ම යි.......

මා හැඬු විට හිනැහුණා නම්..
මා උපන් දින නේද අම්මේ....?
හැම බවේ මගෙ අම්ම වෙන්නට
පතන් නැහැ මම ඔබට අම්මේ...

ඒත්.....මතුදා බුදුන් දැක ඔබ
නිවන් දකිනට පතමි අම්මේ......


නිවන් දකින්නට

නංගියි මල්ලියි සමඟින් දුව පැන
සෙල්ලම් කරමින් සතුටු වුණේ
පන්සල් ගෙනිහින් සමිඳුට දන්දී
අම්මේ කුමටද පැවිදි කළේ

පියකරු ඇඟලුම් නැත මට අඳිනට
සෙල්ලම් කරනට වරම් නැතේ
කුසගිනි ඇවිලී කඳුළු ගලා එයි
අම්මගෙ උණුසුම අහිමි වුණේ

ළමා ළපැටියන් – විනෝද වන හැටි
බලා කඳුළු කැට නෙතින් වැටේ
ලෝ දම් දැනගෙන නිවන් දකින්නට
අම්මේ කවද ද හැකි වන්නේ


නැවතුමක්

නිමක් නොපෙනෙන නැවතුමක් නැති
සසර ගමනේ ඇවිද යන අප
නිමක් දකිනට නැවතුමක් වෙත
ගමන් මඟ සකසමු ද නිතියෙන

යමක් දැනගෙන නැවතුමක් දුටු
ඇත්තො අතරට එක්වෙමු ද අප
දම් අමා මඟ සිත කයට ගෙන
හසුරවන්නට කරමු දිවි කැප


දම් සිසිල

කල්ප ගණන් සංසාරේ සැරිසරමින්
මිනිසත් බව ලදිමි පෙර කළ පින් බලයෙන්
ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැත බවින්
නීති ගරුක වී සැමට ම ඉන්න හොඳින්

පි‍්‍රය මුදු වචන මුවගින් නිති ගිලිහේවා
කිසිවිට කිසි තැනෙක බොරුවක් නොකියේවා
අන්සතු දෙයක් සොර සිතකින් නොගනීවා
පර පණ නසනු වෙනුවට ජීවය දේවා

උපතින් දායාද වුණේ නිරවුල් මනසක්
මතින් එපා කර ගන්නට එහි වෙනසක්
ලජ්ජා බිය ඇතිව කම් සැප සොයනු මිසක්
පස් පව් නොකර ඉන්නට කරගනිමු පසක්

ගේ දොර යාන වාහන මිල මුදල් නොවේ
උගත් කමට නිති බුහුමන් ලැබෙයි ලොවේ
ධර්මය විනය රකිමින් මේ බව කතරේ
බුදු දම අනුව හැසිරෙමු මනුසත් ලෝකේ