දෙලොවටම සුව දෙන
සතර සුව
ගම්පහ බෙම්මුල්ල විගොඩ
ශ්‍රී ධර්මරාජ විහාරාධිපති
ශාස්ත්‍රපති
කපුහේන්තුඩුවේ
ඤාණසීහ හිමි
අද මේ පින්වතුන්ට ධර්ම දේශනාවෙන් විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ, අප කවුරුත්
විඳින්නට කැමැති සැප ගැනයි. ලොව වාසය කරන සෑම ජීවියකුම දුක් විඳින්න කැමැති නැහැ.
හැකි තරම් සැප විඳින්න තමයි කැමති. මනසේ ඇතිවන පිනවන ස්වභාවයටයි සැප කියන්නේ. අපේ
බුදුරජාණන් වහන්සේ තරම් සැප ගැන මනාව කරුණු තෝරා දී ඇති වෙන කිසිම කෙනෙක් මේ ලෝකයේ
ඇත්තේ නැහැ.
අපගේ ශරීරයේ දොරටු කීපයක් තිබෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පහයි. පසිඳුරන්
කියාත් මේවාට කියනවා. බාහිර ලෝකයේ තිබෙන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම
වස්තූන් මුලින් සඳහන් කළ දොරටුවලින් අපේ ශරීරය තුළට ඇද ගන්නවා.
අපේ මනසට යම් කිසි සතුටක්, වින්දනයක් මේ කාම වස්තුවලින් ඇති කරනවා නම්, ඒවාට තමයි
සාමාන්‍ය සමාජයේ සැප කියන්නේ.
ලස්සන රූප බලනකොට සතුටක් ලැබෙනවා නේද, කනට මිහිරි ශබ්දයක් ඇසෙන විට කොපමණ සතුටක් ද
සිතට නැඟෙන්නේ. රසවත් ආහාර පාන ගන්නා විට කියන්නට බැරි තරම් පි‍්‍රයජනක තත්ත්වයක්
ඇති වෙනවා. අපි ගොඩක් ආශා කරන්නේ සුවඳට, හොඳ මල් සුවඳක්. විලවුන් සුවඳක් නහයට
දැනෙනකොට තව තවත් සුවඳ විඳින්නටයි අප උත්සාහ කරන්නේ. මුදු මොළොක් පුටුවල, ඇඳන්වල
වාඩි වෙන කොට කොච්චර සතුටක් ඇති වෙනවා ද? ස්පර්ශයෙන් දැනෙන ආස්වාදය වචනවලින් විස්තර
කරන්න බැරි බව ධර්මයේ සඳහන් වෙනවා.
මෙම පංචකාම සම්පත් නොඅඩුව අනුභව කරන්නට අපට හොඳ ආර්ථික ශක්තියක් තියෙන්න ඕන. ඒක
තමයි බුදුරජාණන් වහන්සේ අත්ථී සුඛය වශයෙන් දේශනා කර තිබෙන්නේ. මට ජීවත්වීමට ඇති
තරම් මිල මුදල් ගෙවල් දොරවල් ආදිය තිබෙනවා යැයි කිසිවකුට හැඟෙනවා නම් ඔහුට අත්ථි
සුඛය විඳින්නට පුළුවනි.
ඇතැම් මවුවරුන්, පියවරුන් වෙහෙස මහන්සි වී ඉඩකඩම්, ගේ දොර මිල මුදල් දරුවන්ට සොයා
දෙනවා. එවැනි දරුවන්ට එතරම් වෙහෙස මහන්සි නොවුණත් අත්ථී සුඛය විඳීමට වාසනාව ලැබී
තිබෙනවා.
එහෙත් බොහෝ දරුවන්ට අම්මාගෙන් තාත්තාගෙන් අඟලක්වත් නොලැබෙන්න පුළුවන්. මිල මුදලුත්
නොලැබෙන්න පුළුවන්. එවැනි අය වෙහෙස මහන්සි වී වැඩ කරන්න ඕනෑ. කම්මැළි නොමැතිව
කටයුතු කොට දහඩිය වගුරා යමක්කමක් උපයා ගන්න ඕනෑ.
අපට තිබෙනවා ශක්තීන් දෙකක්. ඒවා තමයි කායික, මානසික ශක්තිය, තමන්ගේ හැකියාවන් තෝරා
ගෙන වෙළෙඳ ව්‍යාපාර, ගොවිතැන් කටයුතු, වෙද හෙදකම්, ආදි විවිධ වෘත්තින් හි නියැළී
මිල මුදල්, ඉඩකඩම් ආදිය සොයා ගන්න ඕනෑ.
බුදුරජාණන් වහන්සේ තහනම් කළ මත්පැන්, අවි ආයුධ, වස විෂ, මස් මාංශ, සත්ත්ව ආදි
වෙළඳාම්වලින් වැළකිය යුතු යි. වංචනික ලෙස බඩු කිරීම, රෙදි මැනීම ආදියෙන් වැළකිය
යුතුයි.
දැහැමින් සොයා ගත් ධනය මට තිබෙනවා යැයි සෑහීමට පත්වීමෙන් ඉමහත් සුවයක් තමන්ට
විඳින්ට පුළුවනි.
දිළිඳුකම කාමභෝගී ගිහියාට මහත් දුකක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. අප
වෙහෙස මහන්සි වී යමක්කමක් උපයා සපයා ගන්නේ අපට අවශ්‍ය සැප සම්පත් ලබා ගන්නටයි. දැඩි
ලෝබකමින් කිසිවක් වියදම් නොකරන්නාට සැප ලැබෙන්නේ නැහැ.
අප ධනය සොයන්නේ “දෙන්නටයි– අනුභව කරන්නටයි” බව බුදුරදුන් දෙසා වදාළා. අදින්න
පුබ්බක, මච්ඡරිය කෝසිය, ඉල්ලිස වගේ දැඩි මසුරුකමින් සිටියොත් භෝග සුවය විඳින්නට
බැහැ. තම දරුවන්ට, මවුපියන්ට හැකියාවක් වෙතොත් ඥාතීන්ට උපකාර කළ යුතුයි.
එපමණක් නොවෙයි තමන්ගේ ආගම දහමේ දියුණුවට, දුගී මගී යාචකාදීන් සනසන්නට, රටේ දියුණුවට
යොදවන්නට ඕනෙ. එතකොටයි භෝග සුඛය ධර්මානුකූලව විඳීමට හැකි වන්නේ.
සුරාවට, සූදුවට, සල්ලාලකමට ඇබ්බැහි වුණොත් තම ධනය ඉක්මනින් විනාශ වී යනවා. මහ ධන
සිටුපුත් අසූ කෝටියක් ධනය අදැහැමි ක්‍රියාවලට යොදවා සිඟමනට පත්වුණා. සිඟාලෝවාද
සූත්‍රයේ දක්වා ඇති අයුරින් මිල මුදල් වැය කළ යුතුයි.
තමන් කාටවත් ණයක් නැතැයි කියලා කිසිවකුට අවංකව සතුටු වීමට හැකි නම්, එම සතුටට තමයි
අණන සුඛය කියන්නේ.
සමාජයේ සිටින බොහෝ දෙනකු තමන්ගේ අය අනුව වැය කිරීමට පුරුදු වී නැති නිසා
එකිනෙකාගෙන් ණයට මිල මුදල් ගන්නවා. තමන්ට කලට වෙලාවට ගෙවා ගන්න බැරි වුණාම මානසික
වශයෙන් පුදුම දුකක් විඳිනවා. විවිධ කරදරවලට පත්වන්නට සිදු වෙනවා. පොලිසි ගානේ,
රස්තියාදු වීමට සිදු වෙනවා. අනතුරුවලට පවා මුහුණ දෙන්න සිදු වෙනවා. එම නිසා ණය නොවී
ජීවත්වීමට හැකි තරම් වෑයම් කරන්න ඕන.
තමන්ට කිසියම් අවස්ථාවක, තමන්ගේ අතීතය මෙනෙහි කරන විට අසාධාරණ අයුක්ති සහගත ලෙස,
අධාර්මික ලෙස ජීවත්වීම සඳහා නරක ක්‍රියාවල යෙදුනේ නැතැයි සිතා සතුටු වීමට හැකියාවක්
වෙතොත් ඒ වින්දනයට තමයි අනවජ්ජ සුඛය කියන්නේ.
වාසනාවන්ත පින්වතුනි, මේ කියා දුන් සුව සතර ලෞකිකත්වයත් ලෝකෝත්තර සැපතටත් හේතු
වෙනවා. ලෞකික සැප තාවකාලිකයි. පංචකාම සම්පත් බොහෝම තාවකාලිකයි. ඒවා මොහොතකින් දුකට
පත්වෙනවා. ඒ ස්වභාවය තේරුම් ගෙන නිවැරැදි අන්දමින් සැප විඳින්නට උත්සාහවත් වන්න.
|