Print this Article


අතීත හෙළයේ සංස්කෘතික අභිමානය ලෝකයාට කියා දුන් මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසින් 1940 සිට 1956 තෙක් සේවය කළ මේ මහා පුරාවිද්‍යාඥයා 1957 සිට 1965 තෙක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ප්‍රථම පුරාවිද්‍යා මහාචාර්යවරයා වූයේ එකල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ආරාධනය පරිදි ය.

අපේ ඕනෑම ගමක, ගෙයක, පන්සලක හෝ සභාවක “පුරාවිද්‍යාව“ යන වචනයත් සමඟ පරණවිතාන මහතාගේ නමත් නිතැතින්ම සිහියට නැගෙනු ඇත. මීට වඩා අමරණීය අනුස්මරණ ස්මාරකයක් විද්‍යාඥයෙකුට හෝ ලේඛකයෙකුට අවශ්‍ය නොවේ. ලංකාවේ පැරණි සමාජයේ හැම අංශයක් පිළිබඳවම පරණවිතාන මහතා කර ඇති පර්යේෂණ හා වැඩකටයුතු නැවත විමසා බලා අද පවතින විද්‍යාත්මක සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ඒවා තවත් ඉදිරියට ගෙන යෑම හා නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් යොදා ගැනීම අද අපට පැවරී ඇති වගකීමයි”.

මහාචාර්ය සේනක බණ්ඩාරනායක අප ඇඳුරිදු ප්‍රකාශ කළ ඒ කරුණු මෙකල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වගකිවයුතු සැමගේම කාර්යභාරය කෙසේ සකස්විය යුතු ද යන කරුණ ද අවධාරණය කර තිබීම ඉතා වැදගත් වන්නේය.

අනුරාධපුරයේ පිහිටි අභයගිරි හා ජේතවන යන දාගැබ් දෙකේ නාමයන් සිංහල රජ කාලයේ නොව මෑත භාගයේදි හඳුනා ගෙන තිබුණේ ඒ නාමයන් මාරු කර ගෙනය. එය නිවැරැදි කළේ ශිලාලේඛන සාක්ෂි සහිතව එකල පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ය. අනුරාධපුරයේ එතෙක් දෙමළ මහා සෑය නමින් භාවිත වූ එම දාගැබ සිංහලයේ මහා විරුවෙකු වු දුටුගැමුණූු රජ අභාවයෙන් පසු එම දේහය ආදාහනය කළ ස්ථානයේ ඉදි කරවූ දාගැබ දෙමළ මහා සෑය නොව දකුණු දාගැබ බව ද ශිලාලේඛන සාක්ෂි සහිතව එහි පුරාවිද්‍යා කැණීම් ද සිදුකර පැහැදිලි කළේ ආචාර්ය සෙනරත් පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස්වරයා ය.

හෙළයේ මහගත්කරුවෙකු වූ මුණිදාස කුමාරතුංග පඬිවරයා, ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා පුරාවිද්‍යා කොමසාරිස් තනතුරට පත්වීමෙන් පසුව ලියූ වදනක් මෙසේය.

ඇතැමෙක් තනතුරු නිසා බැබලෙති. එහෙත් පරණවිතාන මහතා පිළිබඳ එය නොයෙදේ. පරණවිතාණයන් නිසා තනතුරු බැබලේ. (මුණිදාස කුමාරතුංග සකසූ සුබස දෙවන වෙළුම 8 කලබ (1940 -9 -9)

සැබැවින්ම ආචාර්ය සෙනරත් පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස්වරයා තනතුර බැබලවීය.

ගමක පන්සලක පමණක් නොව විද්වත් සභාවක වුවද, පරණවිතාන නාමය ගැමි ජනතාව අතර පවා ප්‍රචලිත වී තිබුණු බව ඉතා ප්‍රකට කරුණකි.

අපේ රටේ ගැමියන් අතර පවා අකුරු පැහැදිලි නැති අකුරු ඒ නිසා කියැවීමට නොහැකි ලියුමක් හො ලියැවිල්ලක් දුටුවිට “මේක කියවන්න නං ඉතිං සෙනරත් පරණවිතාන මහත්තයට වත් බැරිවෙයි, යන ඒ කතාබහ අපේ පුරාණ ගැමි සමාජයෙන් ඇසෙනු ඇත.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ විශිෂ්ටතම ග්‍රන්ථය බොහෝ විද්වතුන් සඳහන් කරන පරිදි සීගිරි කුරුටු ගී ඉධ්ට්ධ්අධ් ට්අඒජ්ජ්ධ්ඊධ් (සීගිරි ග්‍රැෆිටි) ග්‍රන්ථයයි. එය වෙළුම් දෙකකින් යුක්ත ග්‍රන්ථයකි.

සීගිරිය එතුමා පි‍්‍රය කළ ඉතාමත් ඇලුම් කළ පුරාවිද්‍යා බිමකි. ඒ නිසාම එතුමා අභාවයට පත්වීමෙන් පසු එම දේහය ආදාහනයෙන් ලබාගත් භෂ්මාවශේෂ නිදන්කර පරණවිතාන පඬිවරයාගේ ප්‍රතිමාවක් සීගිරි පර්වතය දෙස බලා සිටින අන්දමින් නිර්මාණය කර ඇත. මහාචාර්ය සෙනරත් පඬිවරයා නොසිටින්නට අදටත් ඒ සීගිරි කැටපත් පවුරේ එකල සීගිරි නැරඹීමට පැමිණි ජනතාව ලියූ සීගිරි ගී සීගිරි කැටපත් පවුරටම සීමාවී මැකී යනවාට කිසිම සැකයක් නැත.

මේ මහා පඬිවරයාණට ජාතිය ණය ගැතිය. එතුමා පිළිබඳ අපේ පාසල්වල දූදරුවන්ට පහදාදීම මේ යුගයේ අප හැමගේ ම යුතුකම වන්නේ ය.