Print this Article


පහන් සිතක කවි

දළදාහිමි නමාමි

අසූ හාර දහසක් වන දහම් කඳ
දෙසු මහිමිගේ ඒ සදහම් පහස ලද
විසූ සුවඳ ගැල්වූ කරඬුවක මැද
නැසූ සසර හිමි දළදා වඳිමි අද

අතපත් නෙලුම පුදදෙමි සමිඳුන් නමට
සිත අන් අතක නොනැමේ ඇතිවේ සතුට
නැත අන් සරණ ඔබ සරණ ම මිස දුකට
සතපා සිරස වඳිනෙමු දළදා හිමිට


වප් පුන් පෝ දිනෙක

සම්බුදු සමිඳු ගෞතම අපෙ තිලොවග මුනිඳු
දෙව්රජු මවුට දෙසු දම් තව්තිස් පුරසුරිඳු
නිමකර යළිදු සංකස්සය පුර පසිඳු
වැඩිය පොහෝ දිනයි දිදුලන වප් පුර තරිඳු

මෙත් බෝසතුන් මතු බුදු වන ලොව්තුරා
පන්සියයක් සිය සගයින් පිරිවරා
සිත් සතොසින් පැවිදිව කහ සිවුරු දරා
වප් පුර පොහෝ දිනකයි බැඳුනේ සසුන කරා


සෝතාපන්න සිත

බුදුගුණ බුදුගුණ මට සිහිවේවා
අවසන අවසන නිවන ම වේවා
භවයෙන් භවයට යන්න නොවේ වා
මේ බුදු සසුනෙම නිවන් දකීවා

දහම් දහම් ගුණ නිති සිහිවේවා
දහමට දහමට සිත යොමුවේවා
මිථ්‍යා දෘෂ්ඨිය ඉන් දුරුවේවා
සැනසුම සැනසුම මට ළංවේවා

සඟගුණ සඟගුණ නිති සිහිකරමි
සසුනට සසුනට මගෙ වත පුදමි
දන් පිළිගන්වා පින් රැස්කරමි
මහ සඟ ගුණයට මගෙ හිස නමමි

සසරෙන් සසරට ආ දිවි ගමනේ
ඈතින් ඈතට මේ භව ගමනේ
තව දුර යන්නට නෑ හිත බැඳුණේ
අටවැනි භවයක් ගැන නෑ සිතුණේ


සදහම් සුවය

සුදොවුන් රජු පුත්
මායා මව් පුත්
මරු පරදා ලත්
බුදු බව ලැබ ගත්

යශෝධරාවත්
රාහුල පොඩි පුත්
හැරලා ගිහි ගෙන්
හිමි බුදුවූ වෙත්

හිමි පිරිනිවනට වැඩියත්
ධර්මය බබළත්
ඒ කෙසේද යත්
ධර්මය අකාලිකවෙත්