Print this Article


උතුරා යන තරම් පින් කරන්න පුංචි ඔබටත් පුළුවන්

උතුරා යන තරම් පින් කරන්න පුංචි ඔබටත් පුළුවන්

පින්වත් දුවේ, පුතේ, අපගේ ශාස්තෘන් වහන්සේ පින කියන වචනයට බොහෝ ප්‍රශංසා කර තිබෙනවා. එකම පින නැවත නැවත කරන්න කියලයි උන්වහන්සේ අපට දේශනා කොට වදාළේ. දරුවන් දන්නවා ද? පින තමයි අපට හැම සැපයක් ම, හැම සතුටක් ම ලබා දෙන්නේ. ඉතින් අපේ ජීවිතවලට පින නැතිනම්? එහෙම නම් අපට උරුම වන්නේ දුක විතරයි නේද?

පුංචි දරුවො දැකලා තියෙනවා නේද අපි අතරේ ම ඉන්න දුක් විඳින මිනිස්සු. ඒ අයට හරියට කුසපිරෙන්න කෑමක් නැහැ. ලස්සනට අඳින්න ඇඳුම් නෑ. තමන් කැමැති දේ ගන්න සල්ලිත් නැහැ. එහෙම වෙන්නේ ඇයි කියල ද ඔයාලා හිතන්නේ?

පින්වත් දුවේ, පුතේ අපට එහෙම වෙන්නේ අපි පෙර ජීවිතවල දන් දීලා නැති නිසයි. තමන්ට තිබෙන දෙයින් ටිකක් හරි තව නැති කෙනකුට දන් දෙන්න පුරුදු වීම පුංචි ඔබට සතුටින් ඉන්න එක හේතුවක් වෙනවා.

දුවේ පුතේ, මේ ජීවිතයේ අපට ලැබිලා තිබෙන්නේ පෙර ජීවිතවල දුන්න විදිහටයි. ටිකක් දුන්නොත් ලැබෙන්නේ ටිකයි. ගානට දන් දුන්නොත් අපට ලැබෙන්නේ ගානට. උතුරා යන්න තරම් දන් දුන් කෙනාට උතුරා යන්න ලැබෙනවා. දුන්නේ නැති කෙනාට ලැබෙන්නේ නැහැ. මේක තමයි අපි දුප්පත් පොහොසත් කියලා කියන්නේ.

දුවල පුතාල දන්නවනේ දැන් මේ කාලේ ඔයාගේ අම්මල හුඟක් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඔයාලට කන්න බොන්න අඳින්න දෙන්නේ ලොකු කැපකිරීමක් කරලා. ඒනිසා අපි කෑමබීම, පොත්පත් නාස්ති කරන්න හොඳ නැහැ. අරපිරිමැස්මෙන් පරිහරණය කරන්න පුරුදු වුණොත් ඒක ඔයාලගේ අම්මා, තාත්තාට ලොකු සැනසීමක් වෙනවා.

දුවලා, පුතාල ළඟ දෙයක් වැඩියෙන් තියෙනවා නම් ඒ දේ නැති තවත් යාළුවකුට දෙන්න. කෑමක්, පොතක්, පැන්සලක් ඒ යාලුවට අගෞරවයක් වෙන්නේ නැති විදිහට දෙන්න. දීලා බලන්න ඒ යාලුවා කොතරම් සතුටු වෙනවා ද? කියලා. ඒ සතුටම තමයි පුතේ පින කියලා කියන්නේ.

ඒ වගේ ම අපි මවුපියන් ගැනත් හොඳින් හිතන්න ඕනෑ.පුංචි ඔබ අවශ්‍ය දෙයයි, එපා දෙයයි හැමදේම ඉල්ලා ඇඬුවොත් අම්මා, තාත්තා මොන තරම් අපහසුතාවට පත් වෙනවා ද?

පුංචි කාලේ ඉඳලා අපි අම්මා තාත්තා ගැන හිතන්න පුරුදු වෙන්න ඕනෑ. නැතිනම් පුංචි දරුවන් වියළි දර කෝටු වගේ වෙනවා. තෙතමනයක් නැති දරුවෙක් වෙනවා. මවුපියන් ගැන හිතේ තෙතමනයක්, ආදරයක්, සංවේදී බවක් තිබෙන දරුවන් තමයි ලෝකය දිනන්නේ.

දන්දීමේ විපාක කොතරම් ද කියලයි අද ඔයාලට කියලා දෙන්නේ.

මේ සිදුවීම සිදුවුණේ බොහෝ කාලයකට පෙරයි. ඒ ඉන්දියාවේ දී යි. ඉන්දියාවේ ගමක දුප්පත් පවුලක සහෝදරයන් තුන්දෙනෙක් ජීවත් වුණා. අයියලා දෙන්නා කැලේ ගිහිං මීවද කඩාගෙන එනවා. මල්ලී ඒ මී පැණි කඩේ තබා ගෙන විකුණනවා.

දවසක් පසේබුදුරජාණන් වහන්සේ නමකට බෙහෙතකට මී පැණි ටිකක් ඕනෑ වුණා. උන්වහන්සේ ගමේ මී පැණි කඩේ ළඟට පිණ්ඩපාතයේ වැඩියා. උන්වහන්සේ දුටු මල්ලීට ලොකු සතුටක් ඇති වුණා. හිත පැහැදුණා. පසේබුදුරජාණන් වහන්සේගේ අතේ තිබුණ පාත්‍රයට පිරෙන්න මී පැණි පූජා කළා. පාත්‍රය පිරුණත් මී පැණි පිදුවා. ඇති කියලා ඔහුට හිතුණේ නැහැ. පාත්‍රය පිරිලා ඉතිරිලා මී පැණි බිමට විසිරෙන තුරුම පූජා කළා. දැන් මල්ලීට හරි සතුටුයි.

ඊට පස්සේ ඒ මල්ලී පසේබුදුරජාණන් වහන්සේ ළඟ දණ ගසා වන්දනා කරමින්

“ස්වාමීනී මේ මී පැණි පාත්‍රයේ උඩට ම පුරවා, උතුරා බිමට වැටෙන තුරුම පූජා කළ පින් බලයෙන් මම අනාගතයේ මුළු දඹදිවටම අග රජු වේවා, මගේ අණසක යොදුනක් අහසටත්, යොදුනක් පොළොවටත් පැතිරේවා. කියලා ප්‍රාර්ථනා කළා. ඉතින් පසේබුදුරජාණන් වහන්සේ මල්ලීට සෙත් පතා නැවත වැඩියා.

සවස අයියලා දෙන්නා ආවා. මල්ලී මේ විස්තරේ කියලා

“අයියේ මම කළ පින ඔය දෙන්නත් අනුමෝදන් වෙන්න” කිව්වා. ඒත් සහෝදරයන් දෙදෙනාට තරහා ගියා.

“මල්ලී රවටලා මී පැණි ගත්තේ ශ්‍රමණයෙක් වෙන්න බැහැ. ඒ සැඬොලෙක් වෙන්න ඇති.” කියලා ලොකු අයියා කිව්වා.

දෙවැනි අයියා කීවේ “මල්ලී රවටා මී පැණි ගත් ඒ ශ්‍රමණයන් මුහුදෙන් එහාට වීසි කරන්නයි වටින්නේ” කියලයි.

අයියලාගේ කතා අහලා මල්ලීට ගොඩාක් දුක හිතුණා. පසේබුදුරජාණන් වහන්සේගේ සංවරයත්, සීලයත්, ගුණයත් මල්ලී සහෝදරයන් දෙදෙනාට පැහැදිලි කළා. ඊට පස්සේ අයියලා දෙන්න ඒ පින සතුටින් අනුමෝදන් වුණා.

ඉතින් දුවේ පුතේ, කාලයකට පස්සේ ඒ සියලු දෙනා මියපරලොව ගියා. මී පැණි පිදූ ඒ මල්ලී ඉන්දියාවේ උපන්නා. ඒ තමා අපි කවුරුත් අහල තියෙන ධර්මාශෝක අධිරාජයා. ඔහු පෙර ආත්මයක පසේ බුදුරදුන් ඉදිරියේ ප්‍රාර්ථනා කළ ආකාරයට ම යොදුනක් අහසේ සිටින කුරුල්ලාගේ සිට යොදුනක් මුහුද යට ඉන්න දිව්‍ය නාගයෝ දක්වා සියලු සත්වයෝ රජුට යටත් වූවා. ඔහුට සේවය කළා.

වැඩිමල් අයියා ඒ පින පසුව අනුමෝදන් වුණානේ. ඒ පිනෙන් රාජ බිසවගේ කුසේ පිළිසිඳ ගත්තා. එහෙත් වචනය වරද්දවා ගත් නිසා උපන්නේ සැඬොල් ගෙදරක. පින බලවත් නිසා අවුරුදු 7 දී පැවිදි වී රහත් වුණා. ඒ තමා ධර්මාශෝක අධිරාජයාට ධර්මය කියා දුන් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ.

මද්දුම අයියත් පින අනුමෝදන් වුණා. එහෙත් ඔහු කිව්වානේ “මුහුදෙන් එතෙරට වීසි කරන්න ඕන” කියලා. ඒ වචනයට ඔහු මුහුදෙන් එතෙර තිබෙන ලංකාවේ උපන්නා. කවුද දන්නවා ද? ඒ අපගේ සම්බුද්ධ ශාසනයට විශාල මෙහෙවරක් කළ දෙවනපෑතිස් රජුයි.

බලන්න දුවේ පුතේ, පින විපාක දෙන විදිහ. වචනයක් වැරදුනත් එයත් විපාක දෙනවා. පිනක් කළත්, තව කෙනකු කළ පිනක් අනුමෝදන් වුණත් ඒ පිනෙන් ලැබෙන්නේ මහා පිනක්.

ඒ නිසා ඔයාලගේ අම්ම, තාත්තා, වැඩිහිටියන් කරන පින් දැකල සාධු, සාධු කියලා සතුටින් අනුමෝදන් වෙන්න පුළුවන් විදිහට ඔබත් දන් දෙන්න. උතුරා යන්න දෙන්න පුළුවන් නම් ඕනෑම දෙයක් ඒ ලෙසම දන් දෙන්න. එතකොට කවදා හරි දවසක උතුරා යන සැප සම්පත්, සතුට වගේම උතුරා යන ගුණ දහම් ගංගාවක් පුංචි ඔයාලගේ ජීවිතවලටත් ගලා ඒවී.


මහා සංඝරත්නය මෙසේ වන්දනා කරමු

සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං

සිල්වත් වූ ගුණවත් වූ
අනුත්තර පින් කෙතක්
වූ මේ සංඝයා වහන්සේ
ප්‍රසාදයෙන් යුතුව
වැඳීමට ලැබීම මා
ලැබූ දුර්ලභ භාග්‍යයකි

සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං

සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන්
පැවත එන
ශ්‍රද්ධාවෙන්, සීලයෙන් හා කරුණාවෙන්
යුතුව වාසය කරන
මේ බුද්ධ පුත්‍රයින් වහන්සේ නමදිමි