Print this Article


ධර්මධර විනයධර ගම්මුල්ලේ සුමංගල නාහිමි

ධර්මධර විනයධර ගම්මුල්ලේ සුමංගල නාහිමි

වර්ෂ 1952 මාර්තු මස නව වැනිදින මාතලේ දිස්ත්‍රික්කයේ අස්ගිරිය පල්ලේසියපත්තුව ගම්මුල්ල ග්‍රාමයේ දී ජන්ම ලාභය ලබා වර්ෂ 1963 ඔක්තෝබර් 23 වෙනි දින ඓතිහාසික ගල් මඩුව රාජමහා විහාරාධිපති සුපේෂල ශික්ෂාකාමි ධර්මධර විනයධර ගම්මුල්ලේ සුමනසාර ලොකු හාමුදුරුවන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ගම්මුල්ලේ සුමංගල නමින් අති උතුම් ප්‍රවජ්ජාභූමියට ඇතුළත් විය.

ශාසන වත්පිළිවෙත් හා බණදහම් පිළිබඳ මූලික දැනුම සිය ආචාර්ය ගුරුදේව උත්තමයාණන් වහන්සේගෙන් ඉගෙනගෙන, මාදන්වල ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙනට ඇතුළත්ව පරිවෙණාධිපති උඩහේවාහැට වලපන දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මාදන්වල සුමනසාර නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන බහුශ්‍රැත ධර්මධර විනයධර ධර්මාචාර්ය වහන්සේලාගෙන් සිය ධර්ම ශාස්ත්‍රය ප්‍රගුණ කරගත් සුමංගල නාහිමියෝ 1973 ජුනි අට වැනි දින මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ගොඩමුන්නේ ශ්‍රී නාගසේන ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා පූජ්‍ය යටවර ශ්‍රී සංඝරක්ඛිත යටවර පියරතන යන නාහිමිවරුන්ගේ කර්මාචාර්යත්වයෙන් අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික මංගල උපෝෂථාගාරයේ දී අධි සීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි විනය කර්මයට ඇතුළත් වූහ.

වර්ෂ 1991 දී ඓතිහාසික ගල්මඩුව රාජමහා විහාරාධිපති පදවියටත්, වර්ෂ 2002 දී වට්ටාරාම අරහත්ත මලියදේව ඓතිහාසික රාජමහා විහාරාධිපති පදවියටත් වර්ෂ 2002 දී තලාව රාජමහා විහාරාධිපති පදවියටත්, ගම්මුල්ලේ සුමංගල නාහිමි පත්වූහ.

සුමංගල නාහිමි සිය ශාසනික ජීවිතයේ අඩසියවසරකටත් වඩා ශාසනික හා ආගමික චිරස්ථිතිය වෙනුවෙන් කැපවීම අගයමින් ඉටුකරන ලද ශාසනික සේවය ඉතා ශ්‍රේෂ්ඨ ය.

ගම්මුල්ලේ සුමංගල නාහිමිට සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් තව තවත් ශාසනික සේවාවන් ඉටු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍යය සම්පත් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු.