Print this Article


සසුනඹරට පෑයූ සුපුන් සඳ තල්අරඹේ සිරි සුදස්සි රූමස්සල නාහිමි

සසුනඹරට පෑයූ සුපුන් සඳ තල්අරඹේ සිරි සුදස්සි රූමස්සල නාහිමි

උපතින් අසූතුන් වැනි විය සහ උපසම්පදාවෙන් 62 වසර සපුරන රූමස්සල නාහිමි වෙනුවෙන් පසුගිය 29 දින ගාල්ල රූමස්සල පිරිවෙනේ දී සමරු පින්කම් රැසක් පැවැත්විණි. මේ ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.

දකුණුලක මාතර දිස්ත්‍රික්කයේ තල්අරඹ නම් ග්‍රාමවරයේ දී 1940 වර්ෂයේ දී උපත ලද දයාසේන නම් පින්වත් කුමරු වර්ෂ 1955 මැයි මස 09 වැනි දින කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනයේ දී සසුන්ගතව 1960 ඔක්තෝබර් 29 වැනි දින කොග්ගල තලාතුඩුව ආරණ්‍ය සේනාසනයේ දී සසුන්ගතව, 1960 ඔක්තෝබර් 29 දින ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ නිර්මාතෘවර රාජකීය පණ්ඩිත කඩවැද්දුව ජිනවංස මාහිමි, මාතර ඥානාරාම මාහිමි යන උතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා දොරපේ ඉන්දෝභාස නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මහෝපාධ්‍යාය ධුතංගධාරි මඩවල ධම්මතිලක මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් කොග්ගල නදී උදකුක්ඛේප සීමාමාලකයේ දී උතුම් වූ උපසම්පත්ති ප්‍රතිලාභයට පත්වූහ.

මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය, ගංගොඩවිල විද්‍යෝදය විශ්ව විද්‍යාලය (හින්දි භාෂා උපාධිය) හෝමාගම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් (ශාස්ත්‍රපති) ආදි විද්‍යස්ථානවලින් උසස් අධ්‍යාපනය ලැබුහ. භාරත දේශයේ ප්‍රධාන සංඝනායක හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමියන් යටතේ සාංචියේ දී ධර්මදූත පුහුණුව ද ලබා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය භදන්ත ආනන්ද කෞශල්‍ය මාහිමි යටතේ හින්දි භාෂා පුහුණුවක් ලබා ගත්හ.

අම්පාර දිගාමඩුල්ල ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති ධූරය දරමින් හෑගොඩ ඉන්දසර නාහිමියන් සමඟ අධ්‍යාපනික, ශාසනික හා ජාතික මහඟු මෙහෙවරක් ද පා ගමනින් සිදුකොට නැඟෙනහිර පළාතේ පිරිවෙන් අංශයෙන් උපහාර පවා ලබා ගනිමින් දැනට විශ්‍රාමික සුවයෙන් වැඩ වෙසෙති.

අති දුෂ්කර උපද්‍රව හා අභියෝග ඉදිරියේ නොසැලී ගාල්ල රූමස්සල කන්දේ වර්ෂ 1974 දී පොල් අතුවලින් ආවරණය කළ කුටියකින් ආරම්භ කළ ආවාසය අද ශිෂ්‍ය හිමිවරු විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන විද්‍යස්ථානයකි. මහ පිරිවෙනකි. තවද කතරගම පෙරගිරිගම බෞද්ධ ආශ්‍රමය නමින් විහාරස්ථානයක් ද මෑත භාගයෙහි ආරම්භ කොට සසුනට දායාද කර ඇත.

බෞද්ධාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති. ප්‍රවීණාචාර්ය, විනයාචාර්ය සහ කම්මට්ඨානාචාර්ය (භාවනා පුහුණු) වැනි උපාධි සහ පාඨමාලා ගණනාවක් සමත් වී ඇත.

තවද 2018 වසරේදී ස්ව නිකාය වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටක වාගීශ්වර නාපාන පේමසිරි අභිධාන මහා නායක වරප්‍රමුඛ පාලක මහා සංඝ සභාව වෙතින් “ශ්‍රීවනරතන නාමයෙන් ද පිදුම් ලැබීය. සරල අල්පේච්ඡ ජීවිතය අගය කරමින් දැනට පනස් නමකට ආසන්න පැවිදි ශිෂ්‍ය සමුදායක් සසුනට ඇතුළත්කොට ලක් සම්බුදු සසුනට මහඟු මෙහෙයක් සිදුකරති.

ස්ව නිකායේ පමණක් නොව තෛ‍්‍රනිකායික භික්ෂු සංගයා අතරෙහි ද සම්භාවනාවට පාත්‍ර වූ මෙතුමන් වහන්සේට තෛ‍්‍රනිකායික එක්සත් භික්ෂු බල මණ්ඩලය මඟින් අධිකරණ සංඝනායක පදවිය ද පිරිනමා ඇත. අසූතුන්වැනි වියට පා තබන අප රූමස්සල නාහිමිපාණන් වහන්සේට ලෝ සසුන් වැඩ වඩන්නට තවත් දිගාසිරි සම්පත් තෙරුවන් බෙලෙන් ලැබේවා’යි පතමු. ශාස්ත්‍රපති