Print this Article


සංසාරේ දුක් ගිනි නිවුමට

සංසාරේ දුක් ගිනි නිවුමට

බාල බොළඳ මගෙ පුංචි නැඟණියේ
ඇහැළ මලේ කහ පැහැය උරාගත්
සිවුරෙන් සියුමැලි ගත සරසා ගෙන
සංසාරේ දුක් ගිනි නිවුමට සැම
සන්සුන් ගමනින් පියවර මනිමින්
දනට වඩිනවා අම්මේ

අටලෝ දහමේ අනියත බව දැක
ලොව්තුරු සුව විඳිනට යෞවනයේ
පාරමි පුරමින් සුපිපුණු සියපත
දනට වඩිනවා සසර දනව්වේ
ඔබෙ පොඩි දෝනී අම්මේ

මොනර පිලක් වන් වරලස නිල්වන්
සිඳලූ ඇගෙ ඉඳුනිල් දෙනුවන දැක
බත් පත කඳුළින් අනමින් ඉකිබිඳ
ඇයි හැඬුවේ දුක වාවනු බැරිව ද
පොඩි දුව වඩිනව අම්මේ