Print this Article


සැනසීම ලැබ ගන්න කරුණාව පතුරන්න

සැනසීම ලැබ ගන්න කරුණාව පතුරන්න

සම්බුද්ධ කරුණාව තුළ හිතවත්, අහිතවත් යැයි භේදයක් නොමැත. තම පුතණුවන් වු රාහුලටත්, අංගුලිමාලයන්ටත් එක සමාන ය. එසේ ම කසළ සෝදනය ජීවිකා වෘත්තිය කරගත් සුනීත නම් සැඩොල් තරුණයා ද සියලු මිනිසුන්ගේ, දෙව් බඹුන්ගේ වැඳීමට පාත්‍ර වන්නේ බුද්ධ කරුණාව නිසා ය.

සුළු පියාගේ අකාරුණිකත්වයට ලක්වුණු සෝපාක පුංචි සත් හැවිරිදි දරුවා අමු සොහොනේ තනි වූ අවස්ථාවේ බුදු කරුණාවට ලක්ව සත් හැවිරිදි වියේ දී ම රහත් භාවයට පත් විය.

උදේනි රජුගේ භද්‍රවතිකා ඇතින්න මහලු වියට පත්වීමෙන් පසු රජු විසින් නොසලකා හරින ලදී. උදේනි රජුට කළගුණ සැලකීමේ අගය පහදා දී ඇතින්නට පෙර පරිදි පෙර ආහාරපානාදිය දී සත්කාර කරන්නට අනුශාසනා කරන ලදී.

බණ ඇසුමට පැමිණි දුප්පත් තැනැත්තාට ආහාර ලබා දීම, පේෂකාර දියණියට පිහිට වීම, රජ්ජුමාලා මෙහෙකාර දියණියට පිහිටවීම, රෝගීව සිටි තිස්ස තෙරණුවන්ට පිහිටවීම, උදාරාබාධයකින් පෙළුණ භික්ෂුවට පිහිටවීම, පටාචාරා, කිසාගෝතමීහට පිහිටවීම, බුද්ධ කරුණාවේ මහිමය යි.

විශේෂයෙන් ම බුද්ධ කරුණාව මහා කරුණාවක් බවට පත්වීමේ දී විශේෂ හේතු කාරණා රාශියක් පෙන්වා දිය හැකි ය.

මහා කරුණාව සඳහා කරන ලද කුසල් උසස් වේ. එය ලබා ගැනීමට කළ කුසල් කරුණාව සඳහා ම වූ කුසල්වලට වඩා බලවත් ය.

ස්වරූපය අතින් උසස් වන මහා කරුණාව දුක හා සැප යන දෙකෙහිම එක සේ දැක්වෙන අතර, දුකේ දී පමණක් ක්‍රියාවට නැංවේ. උසස් අරමුණින් පවතින අචේතනික හා සචේතනික ධර්ම සමූහය උදෙසාම ක්‍රියාවට නැංවෙන අතර කරුණාව ඒකීය භාවය සඳහා යොමුවේ. මහා කරුණාවේ පැතිරීම ප්‍රමාණයෙන් හා කාලය වැනි සීමාවන්ගෙන් ඔබ්බට යන අතර, සීමිත කාල සීමාවක් තුළ ක්‍රියාවට නැංවේ. මේ තුළින් මහා කරුණාවේ සුවිශේෂීත්වය මනාව පිළිබිඹු වේ.

කරුණාව නමැති සංකල්පය තුළ බුදුරජාණන් වහන්සේ විවිධ ප්‍රායෝගික උපක්‍රම භාවිත කර ඇත. පටාචාරාවන්ට කරුණාව පෑමේ දී විසිරුණු ඇගේ මනස සකස් කරනු ලැබුවේ නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන ලෙස උපදෙස් ලබා දීමෙනි. සෑම ගෙදරක ම බාල, තරුණ, මහලු කවුරුන් හෝ මිය ගොස් ඇති බව ඇය අවබෝධ කර ගත්තා ය. බුදුරදුන්ගේ උපායශීලී බව කරුණාව හා ගැබ්වුණු අවස්ථා ලෙස මෙය දැක්විය හැකි ය.

බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට “දරුව සියලු සතුන් කෙරෙහි දඬු බහා තබා සිටියේ වෙමි. ප්‍රාණ වධයෙන් වැළකුණු ඔබ තවම නොනැවතුනෙහි ය” යනුවෙන් වදාළහ.

අංගුලිමාල යනු දිසාපාමොක් ඇදුරුතුමන් ළඟ සිටි බුද්ධිමත් ශිෂ්‍යයෙකි. සසර කෙළවර නැවැතීමට අවශ්‍ය පින් පිරුණු තැනැත්තෙකි. බුදුරදුන්ගේ ප්‍රකාශය අවබෝධ කිරීම තුළ අංගුලිමාල නම් තරුණයා නිවී සැනසුණේ ය.

තම ඥාති පුත්‍රයා වූ නන්ද කුමරුගේ මනස සුවපත් කළේ සෘද්ධියෙන් නන්ද තෙරුන් දිව්‍යලෝකයට රැගෙන යාමෙනි. නව දැලි හේනක දැවී ගිය වැඳිරියක් පෙන්වීම, ජීවිතයේ අස්ථිර බව පිළිකුල් බව, අවධාරණය කරන මානසික සිතිවිලි ගොඩනැඟීම, දෙව්ලොව සුරූපී දෙවඟනන් පෙන්වීම, දිව්‍ය සැප පිළිබඳ මනා අවබෝධයක් ගොඩනැංවීම තුලනාත්මක අවබෝධය නන්ද කුමරුගේ මානසිකත්වය තුළ ගොඩනැංවීම නන්ද කුමරුට රාගාදී කෙලෙස් නැසීමට මඟ පාදා දෙන ලදී.

සිව් මසක් යන තෙක් එක් ගාථාවක් පාඩම් කර ගැනීමට අපොහොසත් වූ චුල්ල පන්ථක හිමියන්ට විහාරස්ථානයෙන් ඉවත් වීමට සිදුවන අවස්ථාවේ දී උන්වහන්සේගේ බුද්ධි මට්ටමට ගැළපෙන ලෙස පිරිසුදු සුදු රෙදි කඩක් ලබා දී, සුදු රෙදි කඩ පිරිමදින ලෙස උපදෙස් දෙන ලදී. ක්‍රමයෙන් රෙදිකඩ අපිරිසුදු විය. ඒ අනුව සිත මෙහෙය වූ චුල්ල පන්ථක හිමියෝ කෙලෙස් නසා රහත් විය.

මහා කරුණා සංකල්පය තුළ බුදුරදුන්ගේ ප්‍රායෝගික භාවිතයන් මේ ඔස්සේ මනාව පිළිබිඹු කළ හැකි ය.

ඔබේ සෑම සිතිවිල්ලක් ම, වචනයක් ම, ක්‍රියාවක් ම කරුණාව පෙරදැරි කරගෙන සිදුකරන්න. ඔබ ඔබට ද කරුණාවන්ත ව සලකන්න. කරුණාව යන කාරණාව සමාජගත කිරීම ඔබ ඔබේ වගකීමක් කොට සලකන්න. දයාබරිත සමාජයක් ගොඩනඟමු. සිතිවිලි මත අන් අය අවබෝධ කර ගමු. අන් අයගේ වැරැදි නොදකිමු. අඩුපාඩු ඇත්නම් පවසා හදා ගැනීමට කටයුතු සලස්වමු.