Print this Article


සිත කිලිටි කර ගන්න එපා ඔබ කළ පින් නිතර සිහිකරන්න

සිත කිලිටි කර ගන්න එපා ඔබ කළ පින් නිතර සිහිකරන්න

දුටුගැමුණු මහ රජතුමා රාජ්‍ය කරන කාලයේ කොටසර පියන්ගලු විහාරයේ වැඩ සිටියා මහලු තෙරනමක්. රට පුරා පැතිර ගියා අරුම පුදුම දාගැබක් අනුරාධපුරයේ ඉදිවෙන පුවත.

මුදල් නොගෙන සේවය කරන්න බැරි බවත්, දාගැබට අවශ්‍ය ද්‍රව්‍ය නොමිලයේ සැපයීමට ඉඩ නැතිබවත් ආරංචි වුණා.

දවසක් පියන්ගලු විහාරයේ මහලු භික්ෂුව විහාර මලුවට වැඩම කරලා ‘’දැන් මා මහලුයි. ඇවිද ගන්නත් අමාරුයි. අද හෝ හෙට හෝ ජීවිතයේ අවසානය සිදු වෙන්න පුළුවන්. දාගැබට ගඩොලක් පූජා කර ගන්න තියනවා නම්, මා ලබන ලොකු භාග්‍යයක්. කොහොම හරි ඒ පිනත් කර ගන්න ඕනෑ” කියලා කල්පනා කළා.

උන්වහන්සේට මතක් වුණා තමන් හඳුනන උළු වඩුවෙක් අනුරාධපුරයේ මහ දාගැබේ වැඩ කරන බව. ඔහු හමුවෙන්න ගිහින් දාගැබට ගන්නා ගඩොළුවල දිග, පළල සහ ඝනකම අධ්‍යයනය කළා. නැවත විහාරයට වැඩම කර ගැළපෙන පස් සොයා ගත්තා. ගල් බොරළු ඉවත් කර මැටි බවට පත් කළා. ක්‍රමයෙන් සකසා ගත් අච්චුවේ බහා ගඩොළු කිහිපයක් ම හදා ගත්තා. දවස් කිහිපයක් ම වියැළෙන්නට හැරියා.

දර සොයා ගෙන පුලුස්සා ගත්තා. භික්ෂූන් වහන්සේට දැන් බොහොම සතුටුයි. ‘’මගේ දහඩිය හෙළලා, දෑතින් ම සකස් කර ගත් ගඩොළක් කෙසේ හෝ දාගැබට පූජා කර ගන්න අවස්ථාවක් සලසා ගන්න ඕන.

රජ්ජුරුවෝ තමන්ගේ ආරක්ෂකයින් හැම තැනම යොදවලා තියෙන්නේ. කාටවත් තමන් සකස් කළ ගඩොළක් මුදල් නොගෙන දාගැබට යොදන්න දෙන්නේ නෑ. හිතවත් උළුවඩුවාට කියලා මේ වැඩේ කර ගන්න ඕනෑ” යි කල්පනා කරලා තමන් වහන්සේ සකසා ගත් ගඩොළ පාත්‍ර පසුම්බියේ දමා ගෙන වෙහෙර මලුවට වැඩම කළා.

එතැනින් දාගැබට ගන්නා ගඩොළකට මිල දී වෙහෙර වන්දනා කරන්න යනවා වගේ එක් අතකින් මල්මිටකුත්, අනෙක් අතින් දාගැබට යොදන්න මිල දී ගත් ගඩොළත් අරගෙන උළුවඩුවන් වැඩ කරන තැනට වැඩම කළා. පාත්‍ර පසුම්බියේ තිබුණු තමන් වහන්සේගේ ගඩොළ මත මිල දී ගත් ගඩොළ තබා බාර දුන්නා.

උළුවඩුවාත් ඒවා ගෞරවයෙන් බාර ගෙන දාගැබට සම්බන්ධ කළා. ආරක්ෂකයින් මෙය දැක රජුට දැන්නුවා. වහා ම උළුවඩුවා ගෙන්වා ආරක්ෂකයින් පවසන පුවත සත්‍යය දැයි විමසුවා. ‘’එසේ ය, රජතුමනි, සත්‍යයි” පිළිතුරු දුන්නා.

එම ගඩොළ හඳුනනවා දැයි දෙවැනියට ප්‍රශ්න කළා. උළුවඩුවා භික්ෂූන් වහන්සේට මහත් ගෞරවයෙන් කටයුතු කරන කෙනෙක්. භික්ෂූන් වහන්සේගේ සිත රිදේවි යැයි හිතලා ‘’නැත ස්වාමිනි, දැන් එය හඳුනා ගන්න බෑ.

නියම කර ඇති ගඩොළ වගේම එය තිබුණ නිසයි මා එය දාගැබට එකතු කළේ්”යි උත්තර සැපයුවා.

‘එම භික්ෂුව නැවත දුටුවහොත් ඔබට හඳුනා ගන්න පුළුවන් ද?” කියලා තුන්වැනි ප්‍රශ්නයකුත් විමසුවා. එයට පිළිතුර වුණේ පුළුවන් යන්නයි. උළුවඩුවාට එකම වචනයකින්වත් දොස් කීවේ නෑ. ඔහු දාගැබ වෙත පිටත් කළා.

රජතුමා බොහොම උපායශීලියි. මහලු ආරක්ෂකයෙක් කැඳවා ‘’ඔබ උළුවඩුවා වෙත රැඳී සිට භික්ෂුව හඳුනාගෙන, තොරතුරු සියල්ල දැනගෙන මට වාර්තා කරන්නැ” යි නියෝග කළා. ඔහුත් රජුගේ අණට කීකරු වී උළුවඩුවාගේ පෙන්වීමෙන් භික්ෂුව හඳුනාගෙන උන්වහන්සේ වෙත එළැඹ පාද නමස්කාර කර තොරතුරු විමසන්න පටන් ගත්තා.

‘’ස්වාමීනි, නුඹ වහන්සේ ආගන්තුක ද? නේවාසික ද? මම බොහෝ කලක සිට උළුගල් පිරිවෙනේ තෙරුන් වහන්සේ හඳුනනවා. අද තමයි ඔබ වහන්සේ මම දුටුවේ”යි පවසා සිටියා.

තෙරුන් වහන්සේත්, ‘’උපාසක ය, මම ආගන්තුක කෙනෙක්. මගේ ආරාමය කොටසර පියන්ගලු විහාරය, බොහෝ ඈත පිහිටා තියෙන්නේ.”යි උත්තර දුන්නා. උපාසකයා නැවතත් ‘’ස්වාමිනි, නුඹ වහන්සේ දිගට ම මෙහි වැඩ සිටිනවා ද? එසේ නැත්නම් නැවත විහාරයට වඩිනවා ද?”යි විමසා සිටියා. “උපාසක ය, අසවල් දවස මම කොටසර පියන්ගලු විහාරයට පිටත්ව යනවා”යි පිළිතුරු දුන්නා.

‘’ස්වාමිනි, මමත් නුඹ වහන්සේ සමඟ එමි, මගේ මුල් ගම කොටසර අසවල් ගම”යි පවසා සිටියා. ‘’හොඳයි, එහෙනම් මාත් සමඟ යන්න සූදානම් වෙන්න” යි අවසර දුන්නා. ආරක්ෂකයා රජුට පුවත් සියල්ල දන්වා සිටියා.

‘’එසේ නම් ඔබත් ගමනට සූදානම් වෙන්න, භාණ්ඩාගාරයෙන් මසුරන් දහසක් වටිනා පිළිසඟළකුත්, දහසක් වටිනා අනර්ඝ පළසකුත්, පාවහන් යුගළයකුත්, සුවද තෙල් පිරූ භාජනයකුත්, වටිනා කුඩයකුත්, භික්ෂූන් වහන්සේට අවශ්‍ය යැයි හැඟෙන තවත් පරිෂ්කාර වේ නම් ඒවාත් ඉල්ලා ගන්න”යි දන්වා සිටියා.

ආරක්ෂකයා ඒ සියල්ල අරගෙන සවස් සමයේ උළුගල් පිරිවෙනට ගොස් භික්ෂුව සමග උදෑසනින් ම කොටසර පියන්ගලු විහාරය බලා පිටත් වුණා. දින කිහිපයකින් විහාරය සමීපයට දහවල් සමය එළඹෙත් ම පැමිණියා.

භික්ෂූන් වහන්සේට බොහොම වෙහෙසයි. උන්වහන්සේ දෙපා පිරිමදිමින් වේදනාව තුනී කර ගන්න උත්සාහ ගන්න ආකාරය උපාසකයා දුටුවා.හෙතෙම සුවඳ තෙලින් පා මැඩ, උක් සකුරු සමඟ පැන් වළඳවා භික්ෂූන් වහන්සේ සමඟ කතාවට වැටුණා.

‘’ස්වාමිනි, මම හඳුනන භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් අනුරාධපුරයෙන් පරිෂ්කාර ටිකක් මිලදී ගත්තා. උන්වහන්සේ දැන් වෙන පළාතක වැඩ සිටින බව ආරංචි වුණා. මට මේ පරිෂ්කාර ඔබ වහන්සේට පූජා කර ගන්න ඕන. ගෙදර ගිනියලා වැඩක් නෑ”යි පවසමින් පාවහන් යුගළත්, කුඩයත්, මාහැඟි පළසත් පූජා කළා.

‘’මගේ පුතා විවාහ වන නිසා වටිනා පිළිසඟළක් ගත්තා. ඔබ වහන්සේගේ ගුණවලට මා පැහැදුණා. සතුටු සිතින් මෙයත් පූජා කරනවා. මෙයින් සිවුරක් සකසා ගන්න ස්වාමීනි”යි පවසමින් ගෙන ආ පරිෂ්කාර සියල්ල පූජා කළා.

නැවතත් ගමන ආරම්භ කළා. ටික දුරක් ගොස් ‘’ස්වාමිනි, මම මෙතැනින් ගමට යමි”යි උපාසකයා අතුරු මාර්ගයක් ළඟ නැවතී තෙරුන් වහන්සේට නමස්කාර කර සමුදුන්නා. තෙරුන් වහන්සේ අලුත් පාවහන් යුගළ පැළඳගෙන, පූජා කළ අලුත් හැරමිටිය අතැතිව, පාත්‍ර සිවුරු අතැතිව සංවර ගමනින් වඩින අයුරු බලා සිට

‘’ස්වාමීනි, මඳක් වැඩ සිටින්න” යි අමතා සමීපයට ගොස්

‘’ස්වාමීනි, මට සමාවෙන්න. රජතුමාගේ නියෝගයෙන් මම මෙහි පැමිණියේ. ඔබ වහන්සේ ම සකසා ගත් ගඩොළ මුදල් නොගෙන දාගැබට පූජා කළ නිසා, එහි බරපැන වශයෙන් මේ සියලු පරිෂ්කාර ඔබ වහන්සේට ලබා දෙන ලෙස රජතුමා දන්වා සිටියා”යි ප්‍රකාශ කළා.

ඒ බස් අසා තෙරුන් වහන්සේ මහත් සේ ශෝකයෙන් කම්පා වෙමින් ‘’ඇයි උපාසක ය, මා බොහෝ දුක සේ කළ පින්කමේ කුසලය උදුරා ගත්තේ, තාගේ පිරිකර තොපම අරගෙන යන්න”යි පිරිකර සියල්ල විසිකර දමා පොළොවෙහි හිඳගෙන හඬන්නට පටන් ගත්තා. බොහෝ දුකට පත් වුණා.

උපාසක උපායශීලි පුද්ගලයෙක්. තෙරුන් වහන්සේ සමීපයෙන් ම හිඳගෙන කරුණු පහදන්න පටන් ගත්තා.

‘’ස්වාමීනි, රජතුමා පුණ්‍ය ලෝභයෙන් අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා උසට පාත්‍ර සිවුරු පූජා කළත්, නුඹ වහන්සේ පූජා කළ ගඩොලේ පින නුඹ වහන්සේට. ඒක රජතුමාට ගන්න බෑ.

ඒවගේම රජ්ජුරුවන් පූජා කළ පිරිකරවල පින රජ්ජුරුවන් වහන්සේට. තම තමන් කළ පින් තමන්ට ම අයත් වෙනවා මිස පැහැර ගන්න බෑ කාටවත් ම. ඔබ වහන්සේ මහත් වූ පින්කමක් කර ගත්තේ”යි සිත් සනසා තෙරුන් වහන්සේට නමස්කාර කර සමුගෙන අනුරාධපුරය බලා ඔහු පිටත්ව ගියා යි එක් කතා පුවතක සඳහන් වෙනවා.

දුටුගැමුණු රජතුමා පහන් සිතින් යුක්තව මහා දාගැබ ඉදිකළ බවත්, භික්ෂූන් වහන්සේට මහත් ගෞරවයෙන් සැලකූ බවත්, පුණ්‍ය කටයුතුවල නිතර නියැළුණු බවත්, ධාර්මික ජීවිතයක් වගේ ම ධාර්මික පාලනයක් ගෙන ගිය බවත් මේ කතා පුවතින් පෙන්වා දෙනවා. රජතුමාගේ ජීවන කතා බෞද්ධ, අබෞද්ධ සැමට ආදර්ශ සපයනවා.

ප්‍රඥාවන්තව ගැටලු විසඳා ගැනීම තෙරුවන් සරණ ගිය බෞද්ධයාගේ ලක්ෂණයක් බවයි, මෙයින් පවසා සිටින්නේ.