Print this Article


සමඟිය නැති තැන දියුණුව දෙදරා යයි

සමඟිය නැති තැන දියුණුව දෙදරා යයි

අද ධර්ම දේශනාව මඟින් බුදුරජාණන් වහන්සේ සමඟිය පිළිබඳ දේශනා කළ දහම් කරුණු ස්වල්පයක් පහදා දෙන්නටයි මා බලාපොරොත්තු වන්නේ;

සමඟිය පිළිබඳ විශේෂ අවධානයකින් බුදුරජාණන් වහන්සේ නිතර දහම් දෙසුවේ කුමන කරුණක් නිසා ද යන්න බුද්ධ කාලීන සමාජය ගැන සිතා බැලීමෙන් වටහා ගන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ ධම්මචේතිය සූත්‍රයේ දී මෙසේ පෙන්වා දී තිබෙනවා.

“බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයන් සමඟ විවාද කරති. කළහ කරති. රජවරු රජවරුන් සමඟ විවාද කරති. කළහ කරති. ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියයන් සමඟත්, පුතා මව සමඟත්, පියා පුතු සමඟත්, පුතා පියා සමඟත්, සහෝදරයා සහෝදරයා සමඟත්, සහෝදරිය සහෝදරිය සමඟත්, යහළුවන් යහළුවන් සමඟත්, වාද කරති, කළහ කරති...”

පුද්ගලයින් එකිනෙකා දබර කර ගනිමින්, ඇනකොටා ගනිමින් තිරිසනුන්ටත් වඩා පහත් ලෙස භේදව සිටි අවස්ථාවක ලොව්තුරා බුදුපියාණන් වහන්සේ, සමඟිය හෙවත් එකමුතුකම අතිශයින්ම ශ්‍රේෂ්ඨ කොට දෙසීම විප්ලවකාරී කරුණක් වුණා.

භික්ෂූන් වහන්සේ අවශ්‍යයෙන්ම සමගිව විසිය යුතු බවත්, කටයුතු කළ යුතු බවත්, එම සමඟිය උන්වහන්සේගේ යහපත පිණිස හේතු වන බවත් “සුඛා සංඝස්ස සාමග්ගී” යනුවෙන් දේශනා කළහ.

බහුජන හිතසුව පිණිස හැසිරෙන භික්ෂූන් අන් අයට ආදර්ශයක් වන ලෙස සමඟි බැම්මෙන් බැඳී ක්‍රියා කළ යුතු බව අවධාරණය කළහ. නිතරම සමඟිව රැස්ව, සමඟි සම්පන්නව කතාබහ කොට, සමඟියෙන් ම විසිර යා යුතු බව භික්ෂූන්ගේ දියුණුවට හේතු වන සප්ත අපරිහානිය ධර්ම දෙසීමේ දී බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා.

භේද භින්න වූ භික්ෂූන් වහන්සේ සමඟි සම්පන්න කිරීමට යමෙක් ක්‍රියා කරත් නම් ඔහුට දිව්‍ය සම්පත් ලැබෙන බවත්, භික්ෂූන් වහන්සේලා අතර අසමඟිකම් ඇති කිරීමට යමෙක් උත්සාහවත් වේ නම්, ඔහුට අපා දුක්, වධ බන්ධන ආදියට මුහුණ පෑමට සිදුවන බවත්, අංගුත්තර නිකායේ උපාලි අසෝක වග්ගයේ දී බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා.

මේ කරුණු පරීක්ෂා කිරීමෙන් අපට පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ සමඟිය උතුම් කොට අගය කළ බවයි. වර්ණනා කළ බවයි. පාප සංකල්පය ගැන බියට පත් ගිහියන් භික්ෂූන්ගේ භේද භින්නවලට මැදිහත් වීමට බිය වුණා. එබැවින් භික්ෂූන්ගේ සමඟිය සුරක්ෂිතවීමට එය බලපෑ බැව් වැටහෙනවා.

උන්වහන්සේ ඇති කළ ශ්‍රාවක පිරිසත්, එලෙස සකස් කරන්නට දැඩි කැමැත්තක් දක්වා ඇති බව පෙනෙනවා. භික්ෂූන් වහන්සේ ගිහියන්ට ආදර්ශවත් වන අයුරින් හදාවඩා ගන්නට අවශ්‍ය නිසයි නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ පහන් බව වැඩි දියුණුවන ලෙසත්, හැසිරීමට උපදෙස් දී තිබෙන්නේ.

පින්වතුනි,

සමාජය සකස් වන්නේ සමාන සිතුම් පැතුම් ඇති පුද්ගලයන්ගෙන් ම නොවෙයි. විෂම අදහස්, විවිධ සිතුම් පැතුම් ඇති නොයෙකුත් පුද්ගලයන්ගෙනුයි. නොයෙකුත් කුණු රොඩු, අපවිත්‍ර මඩ හා ජලයෙන් යුතු එකකි පොකුණ. එහි පිවිතුරු වූ, සුන්දර වූ නෙළුම් මල් පිපෙනවා. විවිධ පුද්ගලයන්ගෙන් සමන්විත වූ නෙළුම් මලක් වගේ, මේ සමාජයේ බුදුරජාණන් වහන්සේ විරාජමාන ව බැබළුණා. ශ්‍රාවක පිරිස බැබළුණා. එමෙන්ම ඔබ හැමත් බැබළෙන්න උත්සාහ කළ යුතුයි.

අසමගිකම් බොහෝ විට හටගන්නේ අන්‍යොන්‍ය අවබෝධය හා විශ්වාසය නොමැතිකම නිසයි. උතුම්ම නෑයා “විශ්වාසය” බව “විශ්වාසා පරමාඥාති” යන ගාථා ඛණ්ඩයෙන් බුදුරදුන් පෙන්වා දුන්නා. නිවසක සතුටින් ජීවත් වන ස්වාමී පුරුෂයෙක් හා බිරිඳක් අතර සමඟි බැම්ම තදින් බැඳී තිබෙනවා.

මේ දෙදෙනා අතර පිටතින් පැමිණෙන විවිධ බලවේග නිසා, නැතහොත්, ස්වාමියාගේ යුතුකම් බිරිඳට ඉටු නොවුවහොත්, සැක සංකා මතු වී, ලියලා වැඩී මහත් විනාශයක් සිදුවෙන්න පුළුවන්. එවැනි සිදුවීම් නූතන සමාජයේ ඕනෑ තරම් දැක ගන්න පුළුවන්. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය වැනි පවිටු ධර්මයන් නිසා ද සමඟියට පළුදු පැමිණෙනවා.

විවිධ පුද්ගලයන්ගෙන් සමන්විත වූ සමාජයේ උන්නතිය සඳහා, සමඟි සම්පන්නව දියුණුව කරා ගමන් කිරීමට මහෝපකාරී වන, ඔවුනොවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍ර දේශනාව මඟින් පහදා දී තිබෙනවා. එහි සඳහන් වන යුතුකම් අන්‍යොන්‍ය වශයෙන් ඉටු කරනවා නම් මත භේද පැනනඟින්නේ නැහැ.

මව්පියන්ගේ යුතුකම් දරුවන්ටත්, දරුවන්ගේ යුතුකම් මව්පියන්ටත්, ගුරුවරුන්ගේ යුතුකම් ශිෂ්‍යයින්ටත්, ශිෂ්‍යයින්ගේ යුතුකම් ගුරුවරුන්ටත්, ස්වාමියාගේ යුතුකම් බිරිඳටත්, බිරිඳගේ යුතුකම් ස්වාමිපුරුෂයාටත්, පාලකයන්ගේ යුතුකම් සේවකයාටත්, සේවකයන්ගේ යුතුකම් පාලකයන්ටත්, ගිහියන්ගේ යුතුකම් පැවිද්දන්ටත්, පැවිද්දන්ගේ යුතුකම් ගිහියන්ටත් අඛණ්ඩව නිසි ලෙස ඉටු කෙරෙනවා නම් නොරුස්සනා ගති හටගෙන අසමගිය පැන නඟින්නේ නැහැ.

සමඟි දාමයෙන් බැඳී, ඕනෑම උවදුරකින් ජය අත් පත් කරගන්න හැකි වෙනවා.

පුංචි මී මැස්සෝ හරිම සමඟියි. එම කුඩා සතුන් එකිනෙකා සමඟියෙන්, අනලස්ව, මල්වලින් පැණි ටික ටික ගෙනවුත් රසවත් මී වද බඳිනවා. පුංචි වේයෝ කෝටි ගණනක් එකමුතුව, පස් ටික ටික ගෙනවුත් දැවැන්ත තුඹස් බඳිනවා. සමඟි බවේ ශක්තිය කොයිතරම් මහත් ද කියන එක ඉන් අපට වැටහෙනවා. අතේ තියෙන ඇඟිලි පහම නැමුවොත් තමා හොඳ ශක්තියක් ඇතිවෙන්නේ. සුළැඟිල්ල පුංචියි කියා, ගණන් නොගෙන, නොනමා සිටියොත්, නියම ශක්තියක් ගන්න බැහැ.

රටක්, ජාතියක්, ආගමක්, දියුණු වන්නේ සමඟිය රඳා පැවතුණ තරමටයි. මතභේද හට ගත්තොත් දියුණුව දෙදරා කැඩී බිඳී පළුදු වෙනවා.

ඒ නිසා පින්වතුනි, අප අතර නොයෙකුත් හේතූන් නිසා, අසමඟිකම් හටගෙන තිබෙනවා නම්, බුද්ධිමත්ව ඒවා විසඳාගෙන සමඟියෙන් විසීමට උත්සාහ කරමු. එවිට අපේ රට, ජාතිය, ආගම රැක ගැනීම අපහසු වෙන්නේ නැහැ.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.