බිනර පෝය වර්ණනාව

සුන් කර දමා කුසලයෙ සිත තිබෙන ඇද
සුන්දර ජීවිතයෙ ඇති රස ගනිමු විඳ
ළං කර ගනිමු පින් සිතිවිලි හොඳම හොඳ
පින්බර බිනර පොහොයයි පින්වතුනි අද
පින්බර ප්‍රජාපතිනිය බුදු සමයෙ එදා
පන්සියයක් තමා ඇතුළු ව පිරිස සදා
ආවලු විශාලා නුවරට දිරිය යොදා
හිමි විය මහණකම වනිතාවනට සදා
ගරු අට ධර්ම දෙසුවා ඒ හැම දෙනට
ඇරඹුණි භික්ෂුණී සසුන ද පෙර පිනට
සැනසුම ලැබුණි වනිතාවන් හැම දෙනට
තොරතුරු ඇසීමත් සතුටකි දෙසවනට
වස් කාලයකි මෙය පිරිවර සපිරි වැරූ
සාමෙන් නැසෙයි සිතිවිලි දිවි අඳුරු කෙරූ
අරගෙන කමටහන් ගුරුහිමි පුරුදු කෙරූ
බණ භාවනා කරනව හාමුදුරුවරූ
වාද්දුව
සිරිමහ මිහිඳු පිරිවනේ
වේලිඔය සිරි වජිර හිමි |