Print this Article


බෙල්ලන්විල ඇසළ පෙරහර

බෙල්ලන්විල ඇසළ පෙරහර

සිරිලක කිතුගොස දෑ අභිමානේ
සුපතළ වූ ලොව දස දෙස එක සේ
දෙව්රම් වෙහෙරේ අසිරිය මතුවේ
සැමදා බෙල්ලන්විල මහ වෙහෙරේ
සුවහස් කල් සුදිලේ ලක් දෙරණේ
මුඳුනත් දී වඳීනෙමි බැති සිතිනේ

පෙරහර යනවා රෑ සඳ පානේ
සැදැහැති හදවත් සිසිලෙන් නැහැවේ

විසිතුරු සිතුවම් නෙත්සිත් පිනවයි
බොඳු හැඟුමින් ලෝ දන හැම පුබුදයි
කලාමහිම නෙත රසඳුන් ගල්වයි
දෙතිස් පළෙන් පැන නැඟි බෝ සමිඳුයි
හැම දන ඉඳුරන් නිවනා සනසන
පුණ්‍ය නිකේතනයයි බෙල්ලන්විල

හේවිසි හොරනෑ ගැටබෙර තම්මැට
වන්නම් ලී කෙළි පිළිරැව් නැඟෙනා
සුදු පාවඩ පිට සන්සුන් ගමනින්
ඇත් රජු කරඬුව වැඩමන අභිමන්
පෙර රජ දවසේ අසිරිය පළවේ
බෙල්ලන්විල මහ ඇසළ පෙරහරයි

පෙරහර යනවා රෑ සඳ පානේ
සැදැහැති හදවත් සිසිලෙන් නැහැවේ

බෙල්ලන්විල රන්දෝලි මහ පෙරහර පසුගිය 27 වැනි දින පැවැත්විණ. මේ පබැඳුම ඒ නිමිත්තෙනි.