Print this Article


මිනිසුන් දෙවියන්ට වඳින අතරේ දෙවියන්ගෙනුත් වැඳුම් ලබන මිනිසුන් සිටිනවා

මිනිසුන් දෙවියන්ට වඳින අතරේ දෙවියන්ගෙනුත් වැඳුම් ලබන මිනිසුන් සිටිනවා

මිනිස් ලොවේදී යම් කෙනෙක් කයෙන්, වචනයෙන්, මනසින් සුචරිතය පුරුදු කරලා, ශ්‍රද්ධා, සීල, සුත, චාග, ප්‍රඥා කියන පංච සේඛ බලධර්ම ප්‍රගුණ කරනවා නම්, අන්න ඒ කෙනාට දෙවියන් අතර උපදින්නට හැකියාව තිබෙනවා. මේ දිව්‍ය ලෝක අයත් වෙන්නේත් කාම ලෝක ගණයට ම තමයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය ලෝකයේ තිබෙන සැපයත් එක්ක සංසන්දනය කරද්දි සක්විති රාජ සැපයත් ඉතාමත්ම ස්වල්පයි කියලා.

ඒ වගේම බුදුරජාණන් වහන්සේ චාතුම්මහරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය හා පරනිම්මිත වසවත්තිය යනුවෙන් දේව ලෝක හයක් පිළිබඳ දේශනා කළා. ඒ වගේම විශාඛා උපෝසත සූත්‍රයේ දී ඒ ඒ දිව්‍ය ලෝකවල ජීවත්වන දෙවිවරුන්ගේ ආයුෂ, ඒ ඒ දිව්‍ය ලෝකවල ස්වභාවය, ඒවායේ සැප දුක්වල වෙනස්කම් ආදී දේවලුත් අවබෝධයෙන් යුතුව ම දේශනා කරලා තිබෙනවා.

ඉන් පළමු වැනි දිව්‍ය ලෝකය තමයි චාතුම්මහාරාජිකය. නෙයෙක් තැන්වල පිහිටිය විමාන, පර්වත, ගංගා, වෘක්ෂ, වාසස්ථාන කරගෙන වසන භූමස්ථක දෙවියන් අයත් වෙන්නෙත් මේ දෙව් ලොවට ම තමයි. සතරවරම් දෙවියන්ගේ ද වාසභූමිය මෙය නිසා චාතුම්මහාරාජිකය කියලා හඳුන්වනවා. මෙහි ආයුෂ දිව්‍ය ගණනින් වසර පන්සියයකි. මිනිස් ලොව අවුරුදු පනහක් මෙහි එක් දවසක් වෙනවා. ඒ අනුව මෙහි ආයුෂ මිනිස් ලොව අවුරුදු අනු ලක්ෂයක් වෙනවා.

දෙවන දිව්‍ය ලෝකය තමයි තාවතිසය. මෙහි ආයුෂ දිව්‍ය ගණනින් වසර දහසකි. මිනිස් ලොව අවුරුදු සියයක් මෙහි එක් දවසක් වෙනවා. ඒ අනුව මෙහි ආයුෂ මිනිස් ලොව වර්ෂවලින් අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයක් කියලා හඳුන්වන්න පුළුවන්.

තුන්වැනි දිව්‍ය ලෝකය තමයි යාමය. දුකින් පහවු ස්ථානය යන අරුතින් මෙයට යාමය කියලා කියනවා. මෙහි ආයුෂ දිව්‍ය ගණනින් වසර දෙදහසකි. මිනිස් ලොව අවුරුදු දෙසියයක් මෙහි එක් දවසක් වෙනවා. ඒ අනුව මෙහි ආයුෂ මිනිස් ලොව වර්ෂවලින් අවුරුදු දාහතර කෝටි හතළිස් ලක්ෂයක් වෙනවා.

සතරවැනි දිව්‍ය ලෝකය තමයි තුසිතය. මහ බෝසතුන් සන්තුසිත දිව්‍ය රාජයාණන් ලෙස වැඩ සිටියේ ද මේ දිව්‍ය ලෝකයේ ම තමයි. මෙහි ආයුෂ දිව්‍ය ගණනින් වසර හාරදහසකි. මිනිස් ලොව අවුරුදු හාරසියයක් මෙහි එක් දවසකි. ඒ අනුව මෙහි ආයුෂ මිනිස් ලොව වර්ෂවලින් අවුරුදු පනස්හත් කෝටි හැට ලක්ෂයක් ලෙස සඳහන් කරන්න පුළුවන්.

පස්වන දිව්‍ය ලෝකය තමයි නිමිමාණරතිය. තමන් විසින් නිර්මිත කර ගන්නා වූ ශ්‍රී සම්පත්තියේ ඇලෙන යන අර්ථයෙන් නිම්මාණරතිය කියලා හදුන්වනවා. මෙහි ආයුෂ දිව්‍ය ගණනින් වසර අට දහසකි. මිනිස් ලොව අවුරුදු අටසියයක් මෙහි එක් දවසකි. ඒ අනුව මෙහි ආයුෂ මිනිස් ලොව වර්ෂවලින් අවුරුදු දෙසිය තිස්කෝටි හතළිස් ලක්ෂයක් වෙනවා.

හයවැනි හෙවත් අවසාන දිව්‍ය ලෝකය තමයි පරනිම්මිත වසවත්තිය. අනුන් විසින් නිර්මිත කරන ලද්දා වු ශ්‍රී සම්පත්තය තමාගේ වසඟයට පමුණුවාගෙන වාසය කරන නිසා මෙයට පරනිම්මිත වසවත්තිය කියලා කියනවා. මෙහි ආයුෂ දිව්‍ය ගණනින් වසර දාසය දහසකි. මිනිස් ලොව අවුරුදු එක් දහස් හයසියයක් මෙහි එක් දවසකි. ඒ අනුව මෙහි ආයුෂ මිනිස් ලොව වර්ෂවලින් අවුරුදු නවසිය විසිඑක්කෝටි හැට ලක්ෂයක් වෙනවා. දිව්‍ය ලෝක අතරින් සැප අග්‍රතම දිව්‍ය ලෝකය වන්නේ මෙයයි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා වාසය කරන්නේත් මේ දෙව් ලොව තමයි.

බලන්න ඇතැම් දිව්‍ය ලෝකවලට තථාගතයන් වහන්සේ පිරිනිවන්පාලා තවම දින ගණනක් විතරයි. තථාගතයන් වහන්සේගේ බුදු මුවින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරපු දෙවිවරුත් තාම ඉන්නවා. මොන තරම් නම් වාසනාවක් ද?

මෙලෙස මොන තරම් ආයුෂ වින්දනය කළත් දෙවියන්ටත් දවසක් එනවා ඒ දිව්‍ය ලෝක අත් අරින්නට වෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිව්‍ය ලෝකයේ ජීවත් වෙන දෙවියන්ගේ ආයුෂ අවසන් වන විට පැළදගෙන ඉන්න මල් මාලා පරවෙන්න පටන් ගන්නවා, දිව්‍ය සළුපිළි කිලුටු වෙනවා, දිව්‍ය ශරීරය දුර්වර්ණ වෙනවා කියලා. මේ ආකාරයට සිදුවෙනවිට අනිත් දෙවියන් ළඟට ඇවිල්ලා කියනවා “ඉතෝ භෝ, සුගතිං ගච්ඡ” (දෙවිය, ඔබ සුගතියට යන්න) “සුගතං ගන්ත්වා, සුලද්ධ ලාභං ලභ” (සුගතියට ගිහින් උතුම්ම ලැබීම ලබා ගන්න) “සුලද්ධ ලාභං ලභිත්වා, සුප්පතිට්ඨිතෝ භවාහීති” (උතුම්ම ලාභය ලබාගෙන ඒ තුළ ස්ථාවර වෙන්න) කියලා.

මේ දෙවියනුත් සුගතිය කියලා හඳුන්වන්නේ මනුෂ්‍ය ලෝකයට ම තමයි.

මොකක්ද මේ ලාභය කියලා හැඳින්නුවේ. ඒ තමයි ශ්‍රද්ධාව. තිසරණය කෙරෙහි ඇතිවන ශ්‍රද්ධාව තමයි උතුම් ම ලාභය වෙන්නේ.

දෙවියන්ට වුණත් හරි ආකාරව ධර්මය අවබෝධ කර ගන්නට බැරි වුණොත් මරණින් පසුව සතර අපා ගත වෙන්නට සිදුවෙනවා. එහෙම නැතිව අපේ පින් අරගෙන තව තවත් කල් ජීවත් වෙන්න බෑ. දිව්‍ය ලෝකයේ උපතක් කරා ගියාම දිව්‍ය කාමයන්ට මුසපත් වෙලා ඒවායේ ම ඇලී ගැලී ජීවත් වෙලා දිව්‍ය ආයුෂ අවසන් වෙද්දි ආයෙමත් කර්මානුරූපව අකුසලයක් මතු වුණොත් සතර අපායේ උපතක් කරා යනවා.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දිව්‍ය ලෝකයෙන් චුත වෙන දෙවියන් අතරින් නැවතත් දිව්‍ය ලෝකයක ම ඉපදෙන්නේ ඉතාමත්ම අඩු පිරිසක් කියලා. අන්න ඒකයි අන් දෙවිවරු චුත වෙන්න ආසන්න කෙනාගේ ළඟට ඇවිල්ලා සුගතියට යන්න කියන්නේ.

මේ දෙවියන්ට වුණත්, මනුස්සයන්ට වුණත් තියෙන්නේ එක ම මාර්ගයක් විතරයි. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අපට ඒ උතුම් මාර්ගය ලැබිලා තියනවා. ඒත් සමහරු ඒ උතුම් මාර්ගය ලැබිලත් දෙවිවරුන්ට පූජා වට්ටි හද හද දේවාල, කෝවිල් ගානේ යන්නේ නැද්ද? කරදරයක් වුණ හැටියේ අපට මතක් වෙන්නට ඕන තිසරණය විතරයි, මොකද? දෙවියන්ට තියෙන්නෙත් අපට තියෙන්නෙත් එකම මාර්ගයක් වන නිසා.

දිනක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා තෙරුවන් සරණ ගිය, පන්සිල් ආරක්ෂා කරන , දැහැමින් උපයා සපයා ගත් ධනයෙන් අඹු දරුවන් පෝෂණය කරන ගිහියෙක් වෙත් ද, ඒ ගිහියා හට මඝ යන නම් ඇති, දෙදෙව් ලොවට අධිපති වූ ශක්‍ර දෙවියනුත් නමස්කාර කරනවා කියලා.