Print this Article


බොදු හඬ ලොවට ගෙනගිය පානදුරා වාදය

බොදු හඬ ලොවට ගෙනගිය පානදුරා වාදය

1873 අගෝස්තු මස 26 හා 28 දෙදින තුළ පානදුරේ දී ඉමහත් ආශ්චර්යාත්මක පරිවර්තනයක් සිදු විය. ඒ අන් කිසිවක් නොව අධිරාජ්‍ය විරෝධී සහ දේශීයත්වය නියෝජනය කළ බෞද්ධයන් හා සුදු අධිරාජ්‍යවාදය නියෝජනය කරමින් යටත්විජිත පාලනයේ අනුග්‍රහය ලද ක්‍රිස්තියානි මිෂනාරින් අතර පැවැති මහා වාදයයි. මේ වසරේ දී අප සමරන්නේ ඒ සංසිද්ධියේ 149 වැනි අනුස්මරණයයි.

පානදුරා මහා වාදයට මඟ පෑදු බටහිර සංස්කෘතික ආක්‍රමණය බොහෝ කාලයක් පුරාවට දියත් කෙරෙමින් තිබිණි. දේශීයයාට, විශේෂයෙන් බෞද්ධයාට, තම ආගමික කටයුතු නිදහසේ කරගෙන යාමට අධිරාජ්‍යවාදී පාලන යන්ත්‍රය තුළ ඉඩ නොතිබිණි. 16 වැනි සියවසේ ආරම්භයේ පටන් ප්‍රතිකාල්, ඕලන්ද හා ඉංගී‍්‍රසි ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට මුහුදුබඩ කලාපයන් නතු වෙමින් ද, 1815 උඩරට මහා පාවාදීමෙන් අනතුරුව සමස්ත දේශයේ ම ස්වෛරීත්වය අහිමි වී යාම නිසා ද, යටත් විජිත පාලකයන් විසින් තමන් මතට ආගන්තුක වූ සිරිත් විරිත් හා මතවාද බලෙන් ආරෝපණය කිරීමේ පීඩනයට ඔවුහු ලක් වී සිටියහ.

බෞද්ධ ඉගැන්වීම් ප්‍රසිද්ධියේ ම අවඥාවට ලක් කෙරුණි. පන්සල් අවට හා බෞද්ධයන්ගේ ව්‍යාපාරික ස්ථාන අසල බුදුරජාණන් වහන්සේට හා බුදු දහමේ ඉගැන්වීම්වලට නිගා කරමින් පුවරු හා දැන්වීම් ප්‍රදර්ශනය කෙරිණි. බෞද්ධ සංස්කෘතික ලක්ෂණ අවතක්සේරු කෙරුණේ රජයේ තනතුරු තානාන්තරවලට බඳවා ගැනීම්වලදී පවා බෞද්ධ ගති පැවතුම් ඇත්තන්ට අවහිර ඇති කරමිනි. විටෙක බුද්ධාගම ඇදහීම තහනමට ලක් කරන ලද බව ද වාර්තා වෙයි.

දේශීය සිරිත්-විරිත් හා ගති පැවැතුම් මෙන්ම භාෂාව හා දාර්ශනික පසුබිම ද මේ තර්ජනයේ ප්‍රධාන ඉලක්කයන් වී තිබිණි. විශේෂයෙන් සිංහලයා තුළ තමන් ගේ හරපද්ධතීන් අවතක්සේරු කරවීමටත්, බෞද්ධයන් තුළ දාර්ශනිකත්වය අකා මකා දැමීමටත් යටත්විජිත පාලකයෝ පියවර ගත් හ. ඉංගිරිසිය රජයේ භාෂාව විය. එය නොදන්නන් කොන් කරනු ලැබිණි. මෙසේ සැලසුම් සහගතව එල්ල කෙරුණු පීඩනයන්ට පාත්‍ර වූ දේශීයත්වයේ සන්තානය ක්‍රමයෙන් දුර්වල විය. සංස්කෘතික හා දාර්ශනික මතවාදී ආක්‍රමණය ආයුධ සන්නද්ධ මර්දනයටත් වඩා ප්‍රබල වූ අතර ඒ ඔස්සේ දේශීයත්වයේ මුදුන් මුල් එකින් එක උදුරා දමන ලද්දේ යටත්විජිත බලාධිකාරිය දේශීයයාගේ චින්තනය තුළ ම පිළිගැන්වීමට පොළඹවමිනි.

18 වැනි සියවස අවසන් වන විට ශ්‍රී ලංකා භූමියෙන් බුදු සසුන අතුරුදහන් වනු ඇති බවට ජේම්ස් ද අල්විස් පඬිතුමා සිදත් සඟරාවට ප්‍රස්තාවනාවක් ලියමින් 1850 දී සඳහන් කළේ මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණයේ සාර්ථක ඉදිරිගමන නිරීක්ෂණය කළ නිසා විය යුතු ය.

20 වැනි සියවස ඇරැඹෙන විට ඒ අනාවැකිය බොරු වී තිබුණා පමණක් නොව ශ්‍රී ලාංකික ජන සමාජය තුළ, විශේෂයෙන් සිංහල බෞද්ධයා තුළ, දේශාභිමානය මෙන් ම අධිරාජ්‍ය විරෝධී නිදහස් අරගලයේ පන්නරය ද තීරණාත්මකව මුවහත් වී තිබිණි. මිලාන වෙමින් පැවැති බුදු සසුන වඩාත් දීප්තියෙන් බැබළීමට පටන් ගෙන තිබිණි. බෞද්ධ භික්ෂූන් වහන්සේ දාර්ශනික පදනමෙන් වඩවඩාත් ශක්තිමත්ව හා ධෛර්ය සම්පන්නව නැඟී සිටීමට සමත් වූහ. දේශීය විමුක්ති අරගලය ජව සම්පන්නව පන්නරයෙන් යුතුව පෙරට විත් තිබිණි. කිසි විට පරාජය කළ නොහැකි වනු ඇතැයි ද කිසි දා පලවා හැරිය නොහැකි යැයි ද විශ්වාස කළ යටත් විජිත පාලනය දෙදරීමට පටන් ගෙන තිබිණි. කිසිවිටෙක අභියෝගයට ලක් නොවූ අධිරාජ්‍යවාදීන්ට හා ගැත්තන්ට එරෙහිව අලුත් නිදහස් විමුක්ති සටනක් දියත් වී තිබිණි. පානදුරා වාදයෙන් සිදු කෙරුණු මහා විප්ලවීය චින්තන පරිවර්තනය එයයි.

පානදුරේ වෙස්ලියන් දේවස්ථානයේ දී 1873 වසරේ එක් ඉරු දිනක දාවිත් ද සිල්වා දේවගැතිතුමා විසින් බුදු දහමේ ඉගැන්වීම් විවේචනය කරමින් පවත්වන ලද දේශනයට ඊට හරියට ම සතියකට පසු පානදුරේ ගල්කන්දේ විහාරයට (වර්තමාන රන්කොත් විහාරයට) පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් වඩමවා පිළිතුරු දෙසුමක් පැවැත්වීමට සමත් වීම තුළින් පානදුරේ ජනතාව විසින් ඇති කරගෙන තිබූ ඒ ශක්තිය නිරූපණය වෙයි. සන්නිවේදන තාක්ෂණ කිසිවක් නොතිබූ යුගයක අන්‍යාගමික දෙසුමක අන්තර්ගතය සටහන් කර ගැනීමට සමත්වීම හා කිසිදු යාන්ත්‍රික ප්‍රවාහන මාධ්‍යයක් නොතිබූ අවදියක කිලෝමීටර 30 ක පමණ දුරකින් කොළඹ කොටහේනේ දීපදුත්තාරාමයේ වැඩසිටි ගුණානන්ද හිමියන් වෙත ඒ දෙසුමේ හරය වාර්තා කිරීම පමණක් සලකා බැලුව ද, එවැන්නක් වර්තමාන සන්නිවේදන හා ගමනාගමන තාක්ෂණය තුළ පවා කිරීම එතරම් පහසු කර්තව්‍යයක් නොවේ.

තව ද, වාදයට සහභාගි වීමට කොළඹ කොටහේනේ සිට පානදුරයට වැඩම කරවන අතර ගුණානන්ද ස්වාමීන් වහන්සේ පැහැර ගැනීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව සිය තොරතුරු ජාලය ඔස්සේ දැන ගැනීමට ද බෞද්ධයෝ සමත් වූහ. එහෙයින් උන්වහන්සේ ගැල්කරුවකු ලෙස වෙස්වළාගෙන පිදුරු කරත්තයක් දක්කාගෙන පානදුරේ රන්කොත් විහාරයට වැඩි බව වාර්තා වෙයි.

වාදීභසිංහ ගුණානන්ද හිමියන් පැහැරගෙන යාමෙන් වාදයට බලපෑමක් එල්ල කිරීමට තිබූ අවදානම ඒ අනුව වැළැක්වීමට එවක බෞද්ධයා ඉතාමත් උපායශීලී වී ඇති අයුරු අපූරු ය. දෙපාර්ශ්වය වෙන් වෙන් ව සිය ආගමික ස්ථානවල සිටිමින් අදහස් උදහස් ඉදිරිපත් කිරීමට වඩා එක් වේදිකාවක ප්‍රසිද්ධියේ සංවාදයක් පැවැත්වීම සුදුසු යැයි ක්‍රිස්තියානි පාර්ශ්වයේ මත්තෙස් සුවාරිස් ගුණවර්ධන හා පීතර් දානියෙල් යන මහතුන් සහ බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් ජෙරමියෙස් දියෙස්, කුරුකුලසූරිය, කොර්නේලිස් ප්‍රේරා අප්පුහාමි ආදි යන මහතුන් එකඟතාවකට එළඹෙන්නේ මේ වාතාවරණය තුළ දී ය. ඒ අනුව, වර්තමාන දුම්රිය ස්ථානය අසල පිහිටි සහ එවක ජෙරමියෙස් දියෙස් මැතිඳුන්ට අයත්ව තිබූ පානදුරේ දොඹගහවත්ත නම් බිම්කඩෙහි වේදිකාවක් ඉදිකර දෙදිනක් පුරා මහා වාදයක් පැවැත්වීමට පියවර ගන්නා ලදී. ඒ සම්බන්ධ පූර්ව අදහස් උදහස් දැක්වීම් සමකාලීන ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබූ අයුරු ද නිරීක්ෂණය කළ හැකි ය.

බුදු දහමේ ඉගැන්වීම් මෙන්ම එහි දාර්ශනික පදනම ද අවඥාවට ලක් කරමින් ඒ වේදිකාව මත අභියෝග කළ දාවිත් ද සිල්වා, වෙස්ලියන් දේවගැතිතුමා හා සිරිමාන්න කතිසේරුතුමා මෙන්ම ඒ අයට වාදයේ දී දායකත්වය සැපැයූ ඇස් ලංග්ඩන්, සි. ජයසිංහ, එස් කොලින්ස් හා පී. රුද්‍රිගු යන පාදිලිවරුන් සහ හුණුපොළ නිලමේතුමා ඇතුළු බොහෝ දෙනා ද අභිබවමින් හික්කඩුවේ සිරි සුමංගල, වැලිගම සිරි සුමංගල, බුලත්ගම ධම්මාලංකාර, වස්කඩුවේ සිරි සුභූති හා රත්මලානේ ධම්මාලෝක වැනි දාර්ශනික පාණ්ඩිත්‍යයෙන් හෙබි බෞද්ධ භික්ෂූන් වහන්සේ ගේ මෙන් ම බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමාගේ ද උපදෙස් හා සහය ලබමින් වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමීන්වහන්සේ සිංහ නාද පැවැත්වූහ. පානදුරා වාදය නමින් ලෝ පතළ වූයේ එයයි.

එම ස්ථානයේ සිටිමින් එම වාදයේ තතු වාර්තා කළ සිලෝන් ටයිම්ස් පුවත්පතේ පිටපත් රටපුරා මෙන් ම ජේ. එම්. පීබල්ස් වැනි මහතුන් ගේ ලේඛන ඔස්සේ ලෝකය පුරා ද පැතිර යාමෙන් බුදු දහමේ ඉගැන්වීම් පිළිබඳ පමණක් නොව ශ්‍රී ලාංකිකයාගේ දේශීයත්වයේ අභිමානයට අභියෝග කළ අධිරාජ්‍යවාදීන් ගේ පසුබෑම ද සනිටුහන් වුණු බව දැන් ඉතිහාසයට එක් වී හමාර ය.

පානදුරා වාදයේ ජයග්‍රහණය පිළිබිඹු කෙරෙනුයේ ඉන් ජනිත වූ ප්‍රතිඵල මත ය. ඒ වන විට ද බෞද්ධ - ක්‍රිස්තියානි දෙපාර්ශ්වය අතර වාද හතරක් පැවැත්වී තිබූ නමුදු පුළුල් ප්‍රචාරයක් සහිතව හා මුහුණට මුහුණ ලා සිදුවුණු පානදුරා වාදය ඒ සියලු වාද අභිබවා යමින් තීරණාත්මක බලපෑමක් ආගමික, සමාජයීය හා දේශපාලනික ක්ෂේත්‍රයන් කෙරෙහි ඇති කිරීමට සමත් විය.

විසි වැනි සියවසේ ජාතික හා ආගමික ප්‍රබෝධයේ සියලුම නියමුවන්ට පාහේ පන්නරය සැපයූයේ පානදුරා වාදයෙනි. තමන් දස වැනි වියෙහි දී පියා සමග පානදුරයට ගොස් මහා වාදය නැරඹූ බව අනගාරික ධර්මපාලතුමා සඳහන් කර ඇත්තේ ඒ නායකත්වය තුළ ජාතිකත්වයේ වස්තුබීජ පැළ කෙරුණේ පානදුරා වාදයෙන් බව පෙන්නුම් කරමිනි. පානදුරේ ජෙරමියෙස් දියෙස් ආර්යාව ඇතුළු බෞද්ධ ප්‍රභූන් ගේ ධන පරිත්‍යාගය මත පිහිටුවනු ලැබූ බෞද්ධ පාසල් හා දහම් පාසල් පද්ධතිය පුළුල් කිරීම ද මේ මෙහෙවරෙහි සුවිශේෂී සන්ධිස්ථානයෝ වෙති. කොළඹ විශාඛා - ආනන්ද - නාලන්ද මෙන්ම මහනුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද - අම්බලන්ගොඩ ධර්මාශෝක හා පානදුරේ ශ්‍රී සුමංගල වැනි රට පුරා ඇති තවත් බොහෝ බෞද්ධ අධ්‍යාපනස්ථාන පිහිටුවනු ලැබුයේ පානදුරා වාදයට පින් සිදු වන්නට ය. පාණදුරා වාදයේ අරමුණු හා ජාතික අභිලාෂයන් මල් පල ගැන්වීම උදෙසා අධිෂ්ඨානශීලී ව පෙරට යාම ඒ පාසල් පද්ධතියෙන් බිහිවුණු ලක්ෂ සංඛ්‍යාත විද්වතුන් ගේ ඓතිහාසික කාර්යභාරයයි.

බලවත් අධිරාජ්‍යයකට යටත්ව දණින් වැටී සිටි ජාතියකට වුව ද අවශ්‍ය නම් අධිෂ්ඨානශීලී ව දෙපයින් සිට ගත හැකි ය යන පණිවුඩය පානදුරා වාදයෙන් අපට ඉගැන්වෙන පාඩමයි.