Print this Article


බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක

බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක

සියලු කෙලෙසුන් දුරු කළ බැවින් ද, කෙලෙස් සතුරන් නැසූ බැවින් ද, සංසාර චක්‍රයාගේ ගරාදි බිඳ ලූ බැවින් ද, සිව් පස ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූ බැවින් ද, රහසින්වත් පව් නොකළ හෙයින් ද බුදුරජාණන් වහන්සේට අරහං යයි කියති.

බුදුරජාණන් වහන්සේ තරම් වැඳුම් පිදුම් කිරීමට ගරු බුහුමන් කිරීමට සුදුසු වූ වෙතත් කිසි උතුමෙක් නොමැත. තමන් වහන්සේට වඩා ශීලා දී ගුණයෙන් යුතු කිසිවෙක් තුන් ලෝ තලයෙහි ම නැති බැවින් ධර්ම රත්නය ගුරු තනතුරෙහි තබා ගත් සේක.

භාග්‍යවතුන් වහන්සේගෙන් වන්දනාමානාදිය ලබා ගැනීමට ගරු සැලකිලි ලැබීමට තමන් වහන්සේට වඩා උතුම් වූ, උසස් වූ, හෝ සමාන වූ හෝ කෙනෙක් ඇත්තේ නැත.

“වේරඤ්ජ නම් බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයක් වූයේ භාග්‍යවතුන් වහන්සේ තමන්ට වඩා වයසින් වැඩි අයකුට ද නොසලකන්නේ ය. ගරු නොකරන්නේ ය. අසුන් පැන වීමක් ද නොකරන්නේ ය. එය එසේ ම ද? යන ප්‍රශ්නයයි.

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. බ්‍රාහ්මණය, මවිසින් වෙනත් අයකුට ගරු සත්කාර කිරීම හෝ ආසන පැනවීමක් හෝ නො කළ යුතු ම වන්නේ ය. එසේ සිදු කළොත් ඒ ගරු සත්කාර ලබන පුද්ගලයාගේ හිස කැපී ඇද වැටෙන්නේ තල්ගෙඩියක් නටුවෙන් සිඳී වැටෙන්නාක් මෙනි. බුදුන් වහන්සේ වදාළ සේක. මේ අරහං ගුණයේ මහාර්ඝත්වය විදහා පාන්නකි.

බුද්ධත්වයට පෙරත් අරහං ගුණයේ බීජ අවස්ථාවන් දක්නට ඇත.

අග්ගෝ හමස්මි ලෝකස්ස, යනුවෙන් සිංහ නාද පතුරුවමින් සත් පියුම් මත පියවර තැබීම කාලදේවල තාපසතුමාගේ හා සුදොවුන් පිය රජතුමාගේ වන්දනාවට ලක්වීම මෙහිදී වැදගත් වන්නේ ය.

අනේපිඬු, විශාඛා ආදි දායක දායිකාවන්ගෙන් ලැබුණ සිව් පස ප්‍රත්‍යලාභ අන් කවරකුට වත් නොලැබුණි. දිව්‍ය බ්‍රහ්මාදීන්ගෙන් ද පුද සැලකිලි ලැබූහ. පිරිනිවීමෙන් බොහේ කලක් ගත වුව ද ලැබෙන සත්කාර අඩු වීමක් නැත. එය ද අරහං ගුණය ඉස්මතු කරන කදිම නිදසුනකි.

තථාගත බුදුපියාණන් වහන්සේට දම්සක් පැවැතුම් දේශනය කරන්නාහ. අත් කිසිවකුට එසේ කළ නොහැක. එයිනුදු අරහං ගුණය ම කියැවේ. චක්‍රායුධයෙන් සතුරන් විනාශ වේ.ධර්ම චක්‍රයෙන් කෙලෙස් සතුරන් විනාශ වේ. මජ්ක්‍ධිම නිකායේ සේල සූත්‍රයෙන් පැහැදිලි වන වැදගත් කරුණක් දැක්විය හැකි ය.

“රාජා හමස්මි සේල
ධම්මරාජා අනුත්තරා
ධම්මේන චක්ඛං වත්තේමි
ලෝකේ අප්පටි වක්තියං “

“සේලය, මම ධර්ම රාජ වෙමි. අනුත්තර වූ ධර්මරාජ වෙමි, නොපෙරළිය හැකි ධර්ම චක්ත්‍රය මම දැහැමින් ලෝකයාට දේශනා කරමි” යන අරුතයි.

රතන සූත්‍රය, ධජග්ග සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත යන පිරිත් සූත්‍ර, දේශනාවන්හි ආඥා බලය කෝටි ලක්ෂයක් සක්වලයන්හි පැතිර පවතී. එයින්ද අරහං ගුණයම කියැවේ.

“සච්චක” බුදුරදුන් ඉදිරියේ දී අන්ත පරාජයකට පත්විය.

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සැරියුත්, මුගලන් දෑගසව්වන් වහන්සේ මීට පෙර අනෝමදස්සී නම් බුදුරජාණන් වහන්සේගෙන් විවරන ලබා අගසවු තනතුරු ලැබුහ. ඒ අනෝමදස්සි ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ අරහං බුද්ධ ගුණය නිසා ම ය.

කරුණු මෙසේ හෙයින් අරහං ගුණයේ මහත්වය ලියා හෝ කියා නිම කළ නොහැකි ම ය.