Print this Article


සොරකුගේ පාපොච්චාරණය

සොරකුගේ පාපොච්චාරණය

ඈත අතීතයේ සිංහල දීපයේ එක් භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කළා. උන්වහන්සේ ඉතා දුෂ්කර වනයක පිණ්ඩපාතයේ යෙදෙමින්, බණ භාවනා කරමින් ගල්ලෙනක වැඩ විසූ සේක.

දිනක් සොරුන් පන්සියයක් ඒ ලෙන අසලින් යන විට සොර නායකයා මේ භික්ෂුන් වහන්සේ දුටුවා. එතැනට පැමිණ ඔහු මෙසේ අසා සිටියා.

“ස්වාමින් වහන්ස, මේ දුෂ්කර ගල් ලෙනේ ඔබ වහන්සේ වැඩ වාසය කිරීමට පැමිණ දැන් කොතරම් කාලයක් වෙනව ද?”

“පින්වත, මම අවුරුදු හයක් පුරාවට මෙහි සිල් රකිමින් ධර්මානුකූලව වැඩ වාසය කරනවා.”

“ස්වාමීනි, දෙවැන්නෙක් හෝ නැතිව තනිවම වාසය කරන ඔබ වහන්සේ මේ අවුරුදු හය තුළ දී කිසියම් ධ්‍යානයක් සමාපත්තියක් හෝ අභිඥාවක් උපදවා ගත්තේ ද ?”

“පින්වත, මම එවැනි කිසිදු විශේෂ දෙයක් ලබා නැහැ. නමුත් මම ශීලය රකිමින්, විවේකීව, ධර්මය පුරුදු කරමින් වැඩ වාසය කරනවා.

“ස්වාමිනි, සිල් රැකීමෙන් පමණක් මේ බුද්ධ ශාසනය සම්පුර්ණ වන්නේ නැහැ. නිකලෙස් වීම පිණිස උත්සාහවත් වනු මැන

“පින්වත ඔබ එවැනි දෙයක් මට කියන්නේ මන්ද?”

“ස්වාමීනි, මීට කාලයකට පෙර මම ද පැවිදි වී සිටියා. මම වැඩ වාසය කළේ ද මේ ⁣ලෙනෙහි ම යි. මම අභිඥාවෙන් පරතෙරට ගියා. දිවැස ලබා ගත්තා. සෘද්ධිය ලැබුවා. පෙර විසූ ආත්ම දුටුවා.අනුන්ගේ සිත් දුටුවා. එසේ අභිඤ්ඤාලාභී වූ මම ඒවාට ඇලී රහත් ඵලය ලබා ගැනීම ප්‍රමාද කළා.

“ස්වාමීනි එක් දිනක් සවස් කාලයේ මම භාවනාවෙන් නැඟිට ලෙනෙහි දොර අබියසට ගියා. එහිදී මා දුටුවා අලංකාරව සැරසුණු රූමත් ගොපලු දැරියක්. ඇය දුටු විට එකවර ම මාගේ සිතට රාගය උපන්නා.ඒ රාග සිත මා මුළාවට පත් කළා. රාග සිත නිසා ම මම උපැවිදි වී ඒ දැරිය සොයා ගෙන ගමට ගියා. එහෙත් ජීවත්වීමට රැකියාවක් තිබුණේ නෑ. ඒ නිසා මම සොරකමට පුරුදු වුණා. කාලයක් යද්දී මා සුරවීර දක්ෂ සොරෙක් වුණා. මා හට තවත් පනස් දෙනෙක් විටින් විට එකතු වුණා.දිනක් අප සියලු දෙනාම අර දැරිවියගේ නිවස වටකොට බලහත්කාරයෙන් ඇය පැහැරගෙන ගියා. එදා සිට මා බොහෝ පව් කර ගත්තා. නිරයේ මහා දුකක් වි¼දීමට මට තිබෙන බව මම දන්නවා.මම අහිංසක මිනිසුන් උපයන ධනය ඔවුන් තලා පෙලා පැහැර ගන්නවා. නමුත් මට මේ කාමයන්ගේ ඇති වීමක් නෑ. පෙරදී මා රැස් කළ යම් දෙයක් ඇත්නම් මේ කාමය නිසා ඒ සියලු දේ විනාශ වුණා. ස්වාමීනි ධ්‍යාන අභිඤා සමාපත්තිහු හුදෙක් කෙලෙස් සමනය වීම පමණක් ම පවතී. මාගේ කතාව අසා ඔබ වහන්සේ සංවේගය උපදවා ගනු මැන.හිතට වසඟ වන සියලු දෙනාම ප්‍රමාදයට පත් වේ. එයින් විනාශ වෙයි. බොහෝ දුක් අනුභව කිරීමට සිදුවේ. වේගයෙන් ඔබ වහන්සේගේ ආයුෂ ගෙවී යයි. සද්ධර්මය පිරිහී යයි . ඒ නිසා වහවහා සංවේගය උපදවා නිකෙලෙස් වීමට වීර්ය කරනු මැන.

සොරාගේ වදන් ඇසූ භික්ෂූන් වහන්සේ සසර බිය වටහාගෙන වහ වහා වීර්ය කොට සුළු කලකින් රහත් බවට පත්වූ සේක. ඒ බව දැන ගත් සොර නායකයා උන්වහන්සේ වැඩ සිටි ගල්ලෙන අසල ප්‍රාසාදයක් කරවූවා. එසේ ශාන්ත භාවයට පත් වූ, හැම දෙයින් ම නිදහස් වූ ඒ තෙරුන් වහන්සේ දෙවියන් බඹුන් සහිත ලෝකයා ගේ නමස්කාරයට පාත්‍ර වුණා.

එනිසා අප ද සිල් රැකීම හෝ ධර්මය උගත් පමණින් කෙලෙස් දුරු වීමක් සිදු වේ යැයි සිතීම මුළාවකි.අභිඥාලාභීන් ගේ සිත් පවා කාමය නිසා අපිරිසුදු වෙයි. මෙය පෘථග්ජන දෝෂයකි. හිස් පෘථග්ජනයන් ගැන සිතීම පවා මහා බියක් උපදවයි.