නිකිණි අව අටවක 2022-08-19
සැබෑ බෞද්ධයා
සමාජයේ පැසසුම් ලබන්නට අපි බොහෝ දෙනෙක් කැමැත්තෙමු. එහෙත් වැඩිපුර හිමි වන්නේ
ගැරහුම් ය. ඒ ලෝ දහමේ හැටි ය. නරක කරන පුද්ගලයාටත්, හොඳ කරන පුද්ගලයාටත් ගැරහුම් සේ
ම පැසසුම් ද ලැබිය හැකි ය.
මේ ලෝකයේ නරක කරන අය, බොරුවෙන්, වංචාවෙන් කටයුතු කරන අය බලා සිටිද්දී ම දියුණු වනවා
යැයි, සමාජයේ පිළිගැනීමට ලක්වෙනවා යැයි කෙනෙක් සන්තාපයට පැමිණෙති. එහෙයින් ම තමන් ද
හොඳ කරන්නේ කුමටදැයි කල්පනා කරති. එය වැරැදි සංකල්පයකි. වරදක් කළ පුද්ගලයා බොරුවෙන්
එය වසා ගත්තද, පිරිසුදු තැනැත්තෙක් සේ සමාජයේ පෙනී සිටිමින් කීර්තියක් ලබා ගත්ත ද
තමන් වැරැදි බව ඔහුගේ සිත දනී. අනුන් රැවටීම ගැන වැරැදි හැසිරීම ගැන, ඒ තැනැත්තාට
තමන්ගෙන් සමාවක් ලැබෙන්නේ නැත. බාහිරව නොපෙණුන ද අභ්‍යන්තරයෙන් ඔහු දැවෙන්නේ ය.
දැවීමෙන් තැවීමෙන් තොර වූ මානසික සුවතාවෙන් ජිවත් වන්නටනම් අපගේ ජීවන රටාව තමන්ට සේ
ම අනුන්ටත් අර්ථකාරී එකක් විය යුතු ය. තමන්ගේ ආධ්‍යාත්මයට සේ ම අනුන්ට තමන්ගෙන්
වරදක් නොවිය යුතු ය. යුතුකම් වගකීම් ඉටුවිය යුතු සෑම තැනම එහි අනලස් විය යුතු ය.
නොපැකිළ විය යුතු ය. එවිට ලැබෙන කීර්තිය, සමාජයේ ප්‍රශංසාව සුපසන් සිතින් විඳ දරා
ගන්නට හැකි වනු ඇත.
බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සමාජයේ අපවාදයට ලක්වන පුද්ගලයකු පිළිබඳ හඳුන්වා
දුන්නේ, ඔහු තමන් තුළ ඇති ඒ අයහපත් ගුණ ධර්ම නිසා ම නැණ ඇති පුද්ගලයන් විසින් දොස්
ඇති කෙනකු සේ සලකනු ලබන බව ය. සමාජයේ අපවාද සහිත වන්නේ, බොහෝ පව් ද රැස් කරන බව ය.
ඔහු අන් කවරකු හෝ නොව තම මව, පියා, තථාගතයන් වහන්සේ හා තථාගත ශ්‍රාවකයන් වහන්සේ යන
සතර දෙනා කෙරෙහි වරදවා පිළිපදින නූගත් අසත්පුරුෂයා ය. අනුවණයා ය. ඔහු ගුණ
මුලිනුපුටා දැමූ හෙයින් නැසුණා වූ චිත්ත සන්තානයක් ඇති ජීවිතයක් ගත කරන්නේ ය.
මෙවැනි පිරිස් අප අතර මොන තරම් නම් සිටිනවා ද? වැඩි දෙනෙක් බෞද්ධ යන නාමය අත්පත්
කරගන්නේ උපතිනි. ඒ මව්පියන් බෞද්ධවීම නිසා ය.
එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ උපතින් කිසිවකු වසලයකු හෝ
බ්‍රාහ්මණයකු හෝ නොවන බව ය. ඔහුගේ ක්‍රියාවෙන්ම ඒ ඒ තත්වයට පැමිණෙන බව ය. බෞද්ධකම ද
එවැනි ය. නාමිකව බෞද්ධ වූ පමණින් කෙනෙක් බෞද්ධයෙක් වන්නේ නැත. ධර්මය ප්‍රායෝගිකව තම
ජීවිතයට පුරුදු පුහුණු කළ යුතු ය.
ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගිය පුද්ගලයා කිසිවිටෙක තථාගතයන් වහන්සේට, ශ්‍රී
සද්ධර්මයට හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේට වරදවා පිළිපදින්නේ නැත. අදැහැමිකම්වලට
අනුගත වන්නේ නැත. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී යන බුදු වදන අනුව යයි. දහමට පිටුපා
වැරැදි නොකරයි. එවැනි පුද්ගලයා කිසි කලෙකත් තමන්ගේ මවට පියාට වරදවා පිළිපදින්නේ
නැත. ජීවිතය බබළන්නේ එවැනි මිනිසුන්ගේ ය. සමාජයේ බැබළීම එවිට ය. |