Print this Article


අඥාන වුණොත් දුක ද සැපයක් සේ දකිනවා

අඥාන වුණොත් දුක ද සැපයක් සේ දකිනවා

අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකය හා සත්වයා පිළිබඳ අතැඹුලක් සේ අවබෝධ කර ගත් ශාස්තෘවරයෙකි. උන්වහන්සේ ඒ පිළිබඳ ව පැහැදිලි ව කරුණු කාරණා දේශනාකොට ඇත. මෙම සංසාරය මොනතරම් දීර්ඝ ද? එහි සැරිසරන සත්වයා මොන තරම් දුක් විඳීනවා ද? යන වග උන්වහන්සේ තම ඥාන ශක්තියෙන් ම අවබෝධ කොට ගෙන ලෝක සත්වයාට දේශනා කළහ. එහි ගැඹුරු බව හා දුක් සහගත ස්වභාවය බුදු ඇසකට ම විනා පුහුදුන් මනසකට අවබෝධ නොවේ.

බුදුරජාණන් වහන්සේ ස:නි: අස්සු (අස්සූපම) සූත්‍රය තුළින් දේශනා කරන්නේ “අනමතග්ගොයං භික්‍ඛවෙ සංසාරො පුබ්බාකොටි න පඤ්ඤායති. අවිජ්ජානිවාරණානං සත්තානං තණ්හා සංයෝජනානං සංධාවතං සංසරතං දීඝරත්තං වො භික්‍ඛ වේ දුක්‍ඛං පච්චනුභූතං” යනුවෙනි.

එනම් “සසර” කාල වශයෙන් අතීත කෙළවර සිහිපත් කළ නොහැක. එබැවින් සසර අතීතයට ගොස් පැනවිය නොහැකි ය. අවිද්‍යා නීවරණයන් ආවරණය වූ තණ්හා සංයෝජනයෙන් නුඹලා දිගු කලක් දුක් අනුභව කර ඇත.

මේ දේශනයෙන් පැහැදිලි වන්නේ සංසාරයේ මුල අග අපහැදිලි බව නොවේ ද? ඒ තරමට ම සසර දීර්ඝ ය. බුදුරජාණන් වහන්සේ අලව් නුවර පේසකාර දියණියගෙන් ඇසූ ප්‍රශ්නත් සමඟ සසරේ දීර්ඝ ස්වභාවය පිළිබඳ ව යම් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන. එම සංවාදය ධම්ම පදයේ ලෝක වග්ගයට අයත් 8 වැනි ගාථාවට අයත් නිධාන කතාව තුළින් පැහැදිලි වේ.

බුදුහිමි : ළදැරියනි, නුඹ කොහි සිට ආවා ද?

පේසකාර දියණිය : බුදුරජාණන් වහන්ස, මම නොදනිමි

බුදුහිමි : ළදැරියනි, නුඹ කොහි යන්නී ද?

පේසකාර දියණිය : බුදුරජාණන් වහන්ස. මම නොදනිමි.

බුදුහිමි : ළදැරියනි, නුඹ නොදන්නේ ද?

පේසකාර දියණිය : බුදුරජාණන් වහන්ස, මම දනිමි.

බුදුහිමි : ළදැරියනි නුඹ දන්නේ ද?

පේසකාර දියණිය : බුදුරජාණන් වහන්ස, මම නොදනිමි.

මෙම සංවාදය බැලූ බැල්මට එදිනෙදා භාවිත කරන භාෂා ව්‍යවහාරයක් සේ පෙනුණිද මෙහි අන්තර්ගතය ඉතා ගැඹුරු ය. බුදුහිමි ඇසූ ප්‍රශ්නවලට පේසකාර දියණිය ද පිළිතුරු ලබා දෙන්නී අවබෝධයෙන් ම යි. ආපු තැන නොදන්නා බව යනු දැනට ලබා ඇති ජීවිතයට පෙර කොහි සිටියා ද? යන්නත්, යන තැන නොදන්නා බව යනු මේ ජීවිතයෙන් පසු කොතැනක ඉපදේ ද යන්නත් පිළිබඳව ය. එසේ නම් මෙම සංසාරය කොතරම් දීර්ඝ ද?

අප ඉපදී ඇති වාර ගණන අනන්ත ය. අපට ඉපදෙන්නට තිබෙන වාර ගණන ද අනන්ත ය. දිගු ගමනක යෙදී ඇති අප උසස් ආත්මයක ඉපදී ඇත. කෙටි කාලයක් තුළ ජීවත් වීමට අවස්ථාවක් ලද සත්වයා ගත කරන ජීවිතය යනු දිගු ගමනක පුංචි විවේකයක් ලබා ගත්තා හා සමාන නොවේ ද?

එම දිගු ගමන තුළ සත්වයා අමනාප සංයෝග, මනාප වියෝග, මාතෘ මරණ, පීතෘ මරණ, සොයුරු මරණ, සොයුරි මරණ, පුත්‍ර මරණ, දුහිතෘ මරණ, ඤාති ව්‍යසන, භෝග ව්‍යසන. රෝග ව්‍යසන යනාදී දුක්වලට පත් නොවුණා නොවේ ද? ස:නි අනමතග්ග සංයුක්තයෙ පඨම වග්ගයෙ අස්සූපම සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එම දිගු ගමන තුළ හෙලූ කඳුළු පමණක් මහ සයුරට වැඩි මිස අඩු නොවන බව ය.

ඒ නිසා ම සියලු සංස්කාරයන් කෙරෙහි නිර්වේදයට පැමිණීම සුදුසු බවත්, විරාගයට පැමිණීම සුදුසු බවත්, මිදීම සුදුසු බවත් දේශනා කොට ඇත.

සසර හරියට චක්‍රයක් හා බඳු ය. එනිසා ම සංසාර චක්‍රය යනුවෙන් ආමන්ත්‍රණය කරනු ඇත. කැරකෙන රෝදයකට හසු වුණා සේ නිමක් නොමැති සංසාර චක්‍රයට සත්වයා හසු වී ඒ ඒ ආත්ම භවවලට හසු වෙමින් ගමන් කරනු ඇත. දීර්ඝ සංසාර චක්‍රය යනු ත්‍රිවිධ ලෝකයෙහි සැරි සැරීමයි. එනම් කාම, රූප, අරූප යන ලෝකයන්ට හසු වීමයි. මෙහි දී ලෝක යන වචනය පිළිබඳ බුදුහිමි විග්‍රහ කර ඇති ආකාරය විමසා බැලීමේ දී තවත් ඒ පිළිබඳ අවබෝධ වේ.

සත්ව ලෝකය (කාමයෙහි ඇලෙන බැවිනුත්, පංචස්කන්ධය දරන බැවිනුත්, සත්ව ලෝකය නම් වේ)

ඕකාස ලෝකය (එම සත්වයිනට පිහිටා සිටීමට ආධාර වූ භෞතික ලෝකය)

සංඛාර ලෝකය (ඉහත ලෝක දෙකම හට ගැනීමට හේතු වූයේ රූප, වේදනා ආදී ස්කන්ධ ධර්මයන් ද, කුසලාකුසල කර්මයන් ද එයට ඇතුළත් වේ.)

මේ ආදී විග්‍රහ තුළින් ලෝකය තුළ ද ප්‍රභේදයන් දක්නට ලැබෙන බව සිතිය යුතු ය. කාමාවචර, රූපාවචර, අරූපාවචර යන ඒවා තුන් ලෝක වශයෙන් ද, සිත් වශයෙන් ද විග්‍රහකොට ඇත. ඒ කෙසේ වෙතත් සංසාරය දීර්ඝ ය. එය දිව්‍ය, බ්‍රහ්ම, ප්‍රේත ආදී ලෝකවල ආයු කාලය අනුව ද, සත්වයා සසර හටගන්නා හා විනාශ වන්නා වූ ප්‍රමාණය අනුව ද සිතීමෙන් පැහැදිලි වේ. එවන් දීර්ඝ සංසාර චක්‍රයකට හසු වී සිටින සත්වයාට ඇති සැපතක් නැත. ඒ බව බුදුරදුන් ම:නි මහා තණ්හා සංඛය සූත්‍රය තුළින් මනාව විග්‍රහකොට ඇත.

යමෙක් ඇසින් රූපයක් දැක ප්‍රිය සහගත රූපයෙහි ඇලෙයි. අප්‍රිය සහගත රූපයෙහි ගැටෙයි. නොඑළඹි කය පිළිබඳ සිහියෙන්, පටු වූ සිතින් වසයි. පවිටු අකුසල ධර්මයන් නිර්වශේෂ වශයෙන් ප්‍රහාණයෙන් ලබන චේතො විමුක්තිය හා පඤ්ඤා විමුක්තිය ඇති සැටියෙන් නොදකියි. ඔහු මෙසේ එකඟතා හා විරුද්ධතාවන්ට පැමිණ සුඛ, දුක්ඛ හා අදුක්ඛමසුඛ වූ යම්කිසි වින්දනයක් පිළිබඳ සතුටු වෙයි. අභිවාදනය කරයි. සතුකර ගනියි. වින්දනය පිළිබඳ එසේ ගන්නා කල්හි සතුට උපදයි. යම් වින්දනයක්, පිළිබඳ ව සතුටු වේ නම් එය උපාදාන කර ගනියි. ඒ උපාදානය ප්‍රත්‍යයෙන් ජරා, මරණ, සෝක, පරිදේව, දුක් දොම්නස් හට ගනී.

මේ ආදී වශයෙන් සත්වයා සසර සැරි සරන්නේත්, ජීවිතය දුකට පත්වන්නෙත්, කෙටියෙන් කියතොත් පටිච්ච සමුප්පාදය නොදැනීමෙන් ය. එදිනෙදා ජීවිතය තුළ තාවකාලික සැපතක් වින්දනය කළ ද එය ගිනි අවුලන තුරු සැලියෙහි පිහිනන කකුළුවකු හා බඳු ක්‍රියාවකි. පුංචි වේලාවක් තුළ සතුටක් ලබන සත්වයා බොහෝ වේලාවක් තුළ දුකක් ම විඳීති. කයින් හා මනසින් අනන්ත අප්‍රමාණ තාඩන, පීඩනවලට හසුවෙති. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අටලෝ දහමට ද මුහුණ දෙති. මැරීමේ ඉපදීමේ නිමක් නොමැතිව සසර සැරි සරති.

අන්ධ භූතෝ අයං ලෝකේ - තනුකෙත්ථ විපස්සති
සකුන්තො ජාල මුත්තෝව - අප්පෝසග්ගාය ගච්ඡති.

නුවණ නොමැති පුහුදුන් සත්වයා අන්ධයකු මෙනි. (ප්‍රඥාවෙන්) ඒ අතරින් ටික දෙනෙක් හෝ ලෝකය හා සත්වයා පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැක සුගතියට පැමිණෙති. නිරන්තරයෙන් මාරයාට හසු වී සිටින සත්වයා ඉන් මිදීමට නොසිතන්නේ අන්ධ බැවිනි. පංචකාමයෙන් අන්ධ වූ කල්හි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණයන් පිළිබඳව දැකීමද අපහසු ය. ඒ වෙනුවට නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් දැකීමට උත්සාහවත් වෙති. එතුළින් අනන්ත අප්‍රමාණ දුක්වලට හසුවෙමින් දීර්ඝ සංසාර චක්‍රයට හසු වී සත්වයා ගමන් කරනු ඇත.

නිරන්තරයෙන් මරුට වසඟ වී සිටින සත්වයා ඉන් මිදීමට ඇති මඟ පිළිබඳ ව සිතිය යුතු ය. තමාට තමාවත් නොමැති ලෝකයක දැඩි උපාදානය කරපින්නාගත් සත්වයා සිදු කරන බහුනාටක තුළින් සිදු වන්නේ තම අඥානකම ප්‍රදර්ශනය කිරීමකි. ඒ අනුව අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවක නිමග්නව සිටිමින් වුව ද එය සැපක් යැයි සිතීමට තරම් සත්වයා අඥාන වී ඇත.

කරවිල ගෙඩියේ පණුවට තිත්තත් පැණි රසක් සේ සත්වයාට ද දුක ද සැපක් බඳු ය. අන්ධ බවින් මිදී ප්‍රඥාලෝකය පහළ කරගත් කල්හි සැබෑ යථාර්ථය දැකීමට අපහසු නොවනු ඇත. ඒ සඳහා සැමටම ප්‍රඥා ඇස පහළ වේවා.