Print this Article


සිත නොසන්සුන් ද? පාලනය කරන්නේ මෙලෙසයි

සිත නොසන්සුන් ද? පාලනය කරන්නේ මෙලෙසයි

භෝජනයෙහි පමණ නොදන්නා විපතට පත්වෙයි. එමෙන්ම , අලස වූ හා දුර්වල වීර්ය ඇති අය නිසි සේ කය නොවෙහෙස වීම නිසා ද විපත්වලට පත්වෙයි.

සිත පිරිසුදුව පවත්වා ගැනීම සඳහා දෛනික ජීවිතයේ සමථ භාවනා ක්‍රමයක් පළමුව පුරුදු කර ගත හැකි ය. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, මෙත්තානුස්සති, ආනාපානසති ආදි සාමාන්‍ය ජීවිතයකට ගැළපෙන භාවනා ක්‍රමයක් මඟින් සිත තුළ පවත්නා තරහව, අමනාපය, වෛරය, නොසන්සුන්බව පාලනය කර ගත හැකි ය.

මෙය දෛනික ජීවිතයේ පුරුද්දක් බවට පත්වූ විට සිත තුළ ශ්‍රද්ධාව. කරුණාව. මෛත්‍රිය, පරිත්‍යාගය, සිතේ සන්සුන් බව වැඩෙන්නට පටන් ගනී. රාගය මානය, ඊර්ෂ්‍යාව දැඩිව දැනෙන සිත්වලට හෝ චරිතවලට අසූභානුස්සති හා මරණානුස්සති වැනි භාවනා ක්‍රමයක් මගින් සිත පාලනයට ද, ඉන් අනතුරුව සන්සුන් බවට ද පත්කර ගැනීමට බහුල ලෙස අවස්ථාව සැලසේ.

මහා සතිපට්ඨාන සූත්‍රයෙහි ඉගැන්වෙන සතර සතිපට්ඨානය අරමුණු කොට ඇත්තේ නිවන ය. කෙලෙස් ඉවත්ව ගිය පසු සිතේ ඇතිවන නිවනට පෙර, අනුගමනය කළ යුතු ගමන් මඟ ආරම්භ කොට ඇත්තේ කායානුපස්සනාවෙනි. කයෙහි පැවැත්ම කෙරේ මනා සිහිනුවණින් කටයුතු කිරීමයි.

“ආතාපි සම්පජානො” කෙලෙස් තවන හෙවත් නැති කරන වීර්යයෙන් යුතුව කය පවත්වා ගැනීමයි. වර්තමානයෙහි බොහෝ අයෙක් ස්ථූලබව, දියවැඩියාව,අධික රුධිර පීඩනය හා මත් වතුර හා මත්ද්‍රව්‍ය මුල්කොට ගත් රෝගයන්ට උරුම කම් කියන්නේ , සිතේ පාලනයක් නොමැතිකම හා ඒ සමඟම කයෙහි පැවැත්ම කෙරේ මනා අවධානයකින් තොර පැවැත්මක් ඇතිකර ගැනීම නිසා යි.

“භෝජනම්හි අමත්තඤ්ඤුං” (ධම්මපදය) භෝජනයෙහි පමණ නොදන්නා විපතට පත්වෙයි. එමෙන්ම “කුසීතං හීන වීර්යං”අලස වූ හා දුර්වල වීර්ය ඇති අය නිසි සේ කය නොවෙහෙස වීම නිසා ද විපත්වලට පත්වෙයි. පුරුදු නොකරන ලද සිත මානසික පීඩාවන්ගෙන් ආරම්භ කොට කායික ලෙඩ දුක් දක්වා රැගෙන යන අයුරු ඉතාමත් පැහැදිලි ය. වේදනානුපස්සනාවේ දී, ඉන්ද්‍රියයන් මඟින් සිතට හසුවන හා දැනෙන සියලු විඳීම් ඇතිවී නැතිවි යන අයුරු දකින්නට සිත පුරුදු කිරීමෙන් දුක්ඛ වේදනාවක් නම් අඩු කර ගැනීමට හෝ වේදනාව නොදැනී යාමට අවස්ථාව සලසා ගත හැකි ය. දුක්ඛ වේදනාව දිගින් දිගටම පැතිරී පවතින්නේ වේදනා සිතිවිල්ල වෙනස්වී යන බව අමතක කොට “මගේ” යැයි සිතින් ස්ථිරව අල්ලාගෙන සිටීම නිසා ය. චිත්තානුපස්සනාවේදි ව්‍යාපාදය (තරහව) හා රාගය වැනි සිතිවිලි දෙස විද්‍යාඥයෙක් පරීක්ෂණයකට ලක්කරනු මෙන් මගේ යැයි නොගෙන එම සිතිවිලි හටගැනීම වෙනස්වීම, හා එම සිතිවිලිවල ඇති, අනිටු විපාක ලෙසින් බරපතලකම නුවණින් විමසා බැලිය යුතු ය. මෙම විමසා බැලීම ඒවායෙහි පාලනයට හේතුවේ. එවැනි සිතිවිලිවල පාලනයක් නොවූ විට එම සිතිවිලිවල ඇති “තද ස්වභාවය” මොළයට දැනී, මොළය මගින් නහර හා පේශිවලට ද, එය ලේ ගමනාගමනය ඔස්සේ සමස්ත ශරීරයෙහි ම නිශේධනාත්මක වෙනසක් කිරීමට ද සමත් වෙයි. “මනසා සංවරො සාධු” මනස සංවර වීම කයෙහි සංවරයට හේතුවකි. සිත රාග, දෝස, මෝහා දි කෙලෙස්වලින් ටිකෙන් ටික මිදී නීවරණ ධර්මයන්ගේ වැටහීම ලබනුයේ සිතේ කයේ ප්‍රමුදිත බව වෙයි. ප්‍රමුදිතයා හට පී‍්‍රතිය හටගනී. පී‍්‍රතිය හටගත්තේ කය සංසිඳේ. සන්සිඳුණු කය ඇතියේ සුව විඳින්නේ, සුව විඳිනුයේ සිත සමාහිත වෙයි.