
තනිකම
දුක සැප දෙකම එක විලසට වැළඳ ගති
සම්බුදු දහම් නියමයටම දිවි ගෙවති
එනමුත් ලොවේ මිනිසුන් ළඟ දුදන ගති
නැති කර දිවි ගෙවන්නට නම් නොහැකි වෙති
මුදල් හදල් ලැබෙනා විට දෙමාපියන් තම දරුවන්
කාගේ කවුද යන වග දැන් බැහැර ගොසින් කාගෙ දොසක්
දේපළ එක් රැස් කරමින් නිති සැප සම්පත් පතමින්
කළ හැකි හැම ඇවැඩ කරනුයේ කුමට ද කුරිරු සිතින්
යුතුකම කුමක්දැයි කිසි දින බැලුවා ද
තම සැප මිසක් අනුනගෙ දුක දුටුවා ද
සැප ළඟ දුකයි කියලා නුඹ සිතුවා ද
තමන්ගෙ දුකේ දී නුඹ කලබල වී ද
අටලෝ දහම කාටත් පොදු දෙයකි ලොවේ
ඒ දහමට යටත් නොවනා කෙනකු නොවේ
ලැබු තම දිවිය හරි මඟ ගෙන ගියොත් ලොවේ
මියගිය පසුත් තම නම නිති රැකෙයි ලොවේ
පන්සිල් රකින උවසුන් වෙත බුදු දහමේ
නිති සුව ලැබේ දම් සුව ඇසුරේ මහිමේ
බුදු හිමි දෙසූ සදහම් සිසිලස මහිමේ
තුන් ලොව සැමට සැමදා සරණයි දහමේ
ජාති ජරා මරණ ගොඩේ අපි දඟලනවා
ඒව බදාගෙන අප සැම රණ්ඩු කරනවා
බදා ගත්ත දේ හැම අතහැර අපි යනවා
දෑත හිස්ව යන සසරේ අපි තනි වෙනවා
ඇම්.ජී.ඇම්. ශි්රයාලතා
හෝමාගම |