[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුන්ගත වීම අමතක කරවන වංචනික කෙලෙස් හඳුනා ගනිමු

සසුන්ගත වීම අමතක කරවන වංචනික කෙලෙස් හඳුනා ගනිමු

නතාවතා ධමමධරෝ යාවතා බහුභාසතී
යෝ ච පුප්පම්පි සුත්වාන ධම්මං කායේන පස්සති
සවේ ධම්මරෝ හෝති යෝ ධමමං නප්පමජ්ජතීත

“ මහණෙනි, මම යමෙක් බොහෝ කොට බණ උගෙන, බොහෝ කොට බණ කියයි ද? එහෙත් ඔහු ධර්මධර යැයි නොකියමි. යමෙක් එක් ගාථාවක් නමුත් උගෙන සත්‍යය පිළිබඳ දනී නම්, මේ තෙමේ ධර්මධර නම් වේ” යි වදාළ සේක.

එසේ දේශනා කිරීමට හේතුව මෙයයි. එකුදාත නම් ස්ථවිරයන් වහන්සේ නමක් එකම ධර්මයක් හොඳින් ප්‍රගුණ කළහ. වනයේ හුදකලාව වසන උන්වහන්සේ පෝය දිනයන්හි වනයේ සිටින දෙවියන්ට බණ දේශනා කරන්නාහ. දෙවි දේවතාවෝ ද වනය පුරාවට සාධු හඬ පතුරුවන්නාහ.

එක් දිනක් ත්‍රිපිටකධාරී ව ධර්මය උගත් දෙනමක් පැමිණ එකුදාත භික්ෂුවගෙන් විස්තර අසා දැනගෙන, අවසර ගෙන දෙවි දේවතාවන්ට බණ දේශනා කළහ. එක් නමක් පෙළ දහම කී අතර, අනෙක් නම එහි අරුත් පැවසී ය. බණ අවසන් විය. එක් දෙවිකෙනකුවත් සාධුකාර නොදුන්හ.

දෙවියන් ද මුහුණ බලා සාධුකාර දෙන බව පවසමින් ඒ දෙනම උරණව පිරිසත් සමඟ පිටව ගියහ.

බුදුරජාණන් වහන්සේට මෙම පුවත සැළ විය. ඉහත සඳහන් ගාථා රත්නය ඔවුන්ට දේශනා කොට හරි වැරැද්ද පහදා දුන් සේක. එදත් ධර්මය වරදවා ගත් බොහෝ දෙනා සිටියහ. එසේ නොමඟ ගිය ගිහි පැවැදි පිරිස් අදත් සිටිති.

වර්තමානයේ පොත පතින් ද විවිධ සන්නිවේදන මෙවලම් මඟින් ද වහ වහා කරුණු රැස් කරමින් ධර්ම කරුණු සියල්ල මතකයේ ගබඩා කර ගැනීමට අද බොහෝ ගිහි පැවිදි පිරිස් සමත් වී සිටිති. එය ප්‍රශංසනීය කරුණකි.

එහෙත් මින් බොහෝ දෙනා රැවටෙන්නේ තමන් ධර්මය හොඳින් දන්නා නිසා ධර්මාවබෝධයට පත් වී ඇතැයි මුළා වීමෙනි. දැනුම තිබූ පමණින් කෙලෙස් ප්‍රහාණය වීමේ ස්වභාවයක් නැත. ධර්මය දැන දැක ගැනීම තුළින් යථාර්ථය කරා ගමන් කළ හැකි බව අවබෝධ විය යුතු ය.

ධර්මධර වීමෙන් සියල්ල ඉෂ්ඨ සිද්ධ වී යැයි, වංචනික ලෙස තම සන්තානය තුළින් මතු වන කෙලෙස්වල ස්වභාවය දැන දැක ගන්නා බොහෝ දෙනා මේ උගුලට හසුවන්නේ නැත. ඔවූහු සියල්ල කරමින් ම කෙලෙස් මළ බැහැර කිරීමේ ප්‍රති පදාවෙහි ද යෙදෙති. එය ද ප්‍රශංසනීය ලෙස අගය කළ හැකි ය.

බුදු සසුන තුළ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට නිවන් මඟ හඳුනා ගත යුතු ය. එසේ නොවුණ හොත් මෙම බුද්ධ ශාසනය ද අහිමි වනු ඇත. දහම් දැනුම තිබෙන පිරිස් අපේ රටේ වටිනා සම්පත් පුද්ගලයෝ වෙති. බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් පුරාවට ධර්ම දේශනා කළේ විවිධ පුද්ගලයන්ට ය. ඒ ඒ පුද්ගලයාගේ ධර්මාවබෝධයට ප්‍රමාණවත් පරිදි ධර්මය දේශනා කළහ. එසේ දේශනා කළ ත්‍රිපිටක ධර්මය මතක තබා ගැනීම පමණක් නිවන් මඟට ප්‍රමාණවත් නොවේ. ඒ බව තහවුරු කරමින් සිදු කෙරෙන ධර්ම දේශනා ද විවිධ නාළිකා තුළින් ඇසෙන්නේ ය. එයත් ප්‍රශංසනීය කරුණකි.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ පහාරාද සූත්‍රයේ සඳහන් වන ආකාරයට මේ ගාම්භීර ධර්මයේ අනුපිළිවෙළක් ඇත. සාගරය ගැඹුර කරා ගමන් කරන්නේ අනු පිළිවෙළකට ය. එකවර ගැඹුරක් නැත. ඒ නිසා අසුරයෝ මහා සාගරයේ ඇලී වාසය කරති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක පිරිස මේ ධර්ම විනයට කැමැති වන්නේ ද පිළිවෙළින් ගැඹුරට ගමන් කරන ගාම්භීර ධර්මයක් නිසා බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ. එහෙත් මෙම ගැඹුරු ධර්මය තමන් තුළින් නොදැක දැනුම නැමැති මිරිඟුව තුළ හිරවී සිටින අය එදා ද මහණදම් කළහ.

සැවැත් නුවර සිටි යහළුවෝ දෙදෙනෙක් එකට මහණ වූහ. දෙදෙනාගෙන් සිටිය මහලු භික්ෂුව විදර්ශනාධූරය තෝරාගෙන නොබෝ කලකින් රහත් භාවයට පත් වූහ. ග්‍රන්ථ ධූරය තෝරා ගත් අනෙක් තරුණ භික්ෂුව ත්‍රිපිටකධාරී ධර්ම කථික වූහ. එම භික්ෂුව දිවා රාත්‍රී දෙකෙහිම පන්සියයක් භික්ෂූන්ට දහම් දෙසති. උන්වහන්සේ අටළොස් මහා ගනයට මහ ඇදුරු වූහ.

තම යහළු අනෙක් භික්ෂුව රහත් වූ බව නොදත් මෙම භික්ෂුවට මෙවැනි සිතිවිල්ලක් පහළ විය.” මගේ යහළු භික්ෂුව දැන් කැළයට වෙලා නිකන් ඉන්නවා. කිසිම දෙයක් ඉගෙන ගෙන ද නැත. පිටකය දන්නේ නැත. ගිහිල්ලා ප්‍රශ්නයක් දෙකක් අහන්න ඕන.” කියල පවිටු සිතක් පහළ විය.

මේ සිතිවිල්ල අප භාග්‍යවතුන් වහන්සේ දැන ගත් සේක. ඔහු අකුසලයක් කර ගන්නා බව දැන අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කළහ. ධර්ම කථික භික්ෂුවගෙන් ධ්‍යාන පිළිබඳ ඇසූ ප්‍රශ්න සියල්ලට ම දක්ෂ ලෙස පිළිතුරු දුනි. එහෙත් මාර්ගඵල පිළිබඳ ඇසූ එක ප්‍රශ්නයකටවත් පිළිතුරු දීගත නොහී නිරුත්තරව බලා සිටියේ ය.

විදර්ශක මහලු භික්ෂුවගෙන් මාර්ගඵල පිළිබඳ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළහ. ඒ ප්‍රශ්න සියල්ලට ම මනා ලෙස පිළිතුරු දුන්හ. බුදුහිමියෝ අවස්ථා හතරක දී සාධුකාර දුන්හ.

බුදුරජාණන් වහන්සේ “ මාගේ පුත්‍රයා මේ ශාසනයෙහිලා සැලකිය යුත්තේ, තමන් කැමැති සේ කිරි ගිතෙල් ඈ පස්ගෝ රස කන බොන ගව හිමියකු වැනි ය. ග්‍රන්ථ ධූරය පමණක් පුරණ මේ භික්ෂුව කුලියට හරක් බලන කුලීකාරයකු වගේ යැයි වදාළහ. ඒ බව “ ගා පෝව ගාවෝ ගනයං පරේසං න භාගවා සාමඤ්ඤස්ස හෝතී” යන ධම්ම පදයේ එන යමක වර්ගයට අයත් ගාථා රත්නයකින් ද කියැවේ.

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ සිදුවූ මෙවැනි සිදුවීම්වලට සමාන සිදුවීම් වෙනත් ස්වරූපයකින් අද සිදුවන බව රහසක් නොවේ. එදා එවැනි අවස්ථාවක බුදුපියාණන්ගේ මහා කරුණාව ලැබුණි. එවැනි අය වෙතට අද කරුණාවක් දක්වන්නෝ කවරහු ද? සැබෑ කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර මේ සඳහා අවශ්‍ය වන බව ධර්ම මාර්ගය හඳුනාගෙන එහි ගමන් කරන බොහෝ දෙනා අදහස් කරති.

බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර මුඛයෙන් දේශනා කළ ධර්මය වගේ දහමක් දේශනා කොට තම තමන්ගේ පෞද්ගලික මතවාද සමාජ ගත කිරීමට උත්සාහයක යෙදෙන බණ ද අද අසන්නට, දකින්නට ලැබේ. පුංචි පුංචි වචන එහාට මෙහාට කරමින් අලුත් අර්ථයක් ඉස්මතු කර ඒ තුළින් තම තමන්ගේ පටු අර්ථයන් සාධනය කර ගැනීමටත් කියන බණ ද ඇසෙයි. අත්තුක්කංසන, පරවම්බන යන කෙලෙස් ධර්මයන් ඉස්මතු කෙරෙන බණ ද ඇසෙයි. සිනහව, කුතුහලය, සැකය, විහිළුව, වැනි පහත් රුචියක් ඇති කරවීමට සමත් ධර්මය , අධර්මය මිශ්‍ර බණ ද අද මාධ්‍ය තුළින් ඇසෙයි.

මේ කිසිත් නොදත් බොහෝ අසරණ ශ්‍රාවක පිරිස් අතරමංවී සිටිති. බොහෝ පෘතග්ජන බෞද්ධ ශ්‍රද්ධාවන්ත පිරිස් වැරැදි මඟ බොහෝ දුර ගොස් ද සිටිති. තව සමහර දෙනෙක් කබලෙන් ළිපට වැවුණාක් මෙන් අන්ද මන්ද වී සිටිති.

බලය, කීර්තිය, ධනය වැනි අධර්මචාරී මනෝ මූලික සංකල්පයන් යහ ගුණ ධර්මයන් අභිබවා නැඟී සිටින සමාජයක් වර්තමානයේ නිර්මාණය වී ඇත. එය සත්‍යයකි.

එහෙත් තව අවුරුදු 2500 ක් හෝ මේ බුද්ධ ශාසනය පවතී යැයි බොදු ජනයා අතර විශ්වාසයක් පවතී. ඒ උතුම් බලාපොරොත්තුව ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා ජාතියේ මුරදේවතාවන් ලෙස කටයුතු කළ යුතු වන්නේ බුදුපියාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් ය.

එහෙත් බුදුපියාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව භික්ෂුව ශ්‍රාවක ධර්මයෙහි පිහිටා නිවන් පසක් කර ගත යුතු ව ඇත. අවසාන බුද්ධ වචනයෙහි

“හන්දධානි භික්ඛවේ ආමන්තයාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත”

සඳහන් වන්නේ ද අප්‍රමාදීව කටයුතු සම්පාදනය කර ගන්නා ලෙස ය. ඒ අනුව

“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරනත්තාය. ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මං භන්තේ” කියමින් ශාසනයට ඇතුල් වන භික්ෂුවට ඒ ඉල්ලීම අමතක වී නම් එය තමන්ට තමන් කර ගන්නා විශාල අලාභයකි. ශාසනය රකිනවා ද? තමන් රැකෙනවා ද? මේ ද්වතාවයට පිළිතුරු තමන් තුළින් දැන දැක ගැනීමට නම් ප්‍රඥා ඇසම අවධි කළ යුතු ව ඇත.

“ප්‍රඥා වන්තස්සායං ධමේමා ඥායං ධමේමා දුප්පඤ්ඤස්ස”

බුද්ධ අනුශාසනාව පිළිපදිමු.”

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]