චතුරාර්ය සත්‍යය
අවබෝධයට ඇති එකම මඟ අරිඅටඟි මඟයි
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
රාජකීය පණ්ඩිත
ත්‍රිපිටකාචාර්ය විනයකීර්ති ශ්‍රී සුමංගල
අමුණුපුර පියරතන නා හිමි
නමො තස්ස භගවතො
අරහතො සම්මා සම්බුද්ධස්ස
පාතුරහොසි මගධෙසු පුබ්බෙ
ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො
අවාපුරෙතං අමතස්ස ද්වාරං
සුණන්තු ධම්මං විමලෙනානු බුද්ධං
සෙලෙ යථා පබබ්බකමුද්ධ නිට්ඨිතො
යථාපි පස්සෙ ජනතං සමන්තතො
තථූපමං ධම්මමයං සුමෙධ
පාසාද මාරුය්හ සමන්තචක්ඛු
සොකාවතිණ්ණං ජනතං අපෙතසොකො
අවෙක්ඛස්සු ජාතිජරාභිභූතං
පින්වතුනි,
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යධර්ම අවබෝධ
කිරීමෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වී මෙම ධර්මය දේශනා කිරීම පිළිබඳ පරිවිතර්ක
චේතනාවක් පහළ විය. එම චේතනාව දැන ගත් සහම්පතී බ්‍රහ්මයා බඹලොවින් වහා අවුත් බෝමැඩ
විදුරසුන් මත වැඩසිටිනා බුදුරදුන් ඉදිරියේ පෙනී සිට ධර්මය දේශනා කරන්නට ආරාධනා කළහ.
බුදුරජාණන් වහන්සේ කවරකුට ප්‍රථමයෙන් ධර්මය දේශනා කරන්නේ දැයි බලන සේක් පෙරදී ඇදුරු
වූ ආලාරකාලාම, උද්දකරාම කළුරිය කර ඇති බැවින් බරණැස ඉසිපතන මිගදායේ සිටින පස්වග
මහණුන් දැකීමට උරුවෙල් ජනපදයේ සිට බරණැස ඉසිපතනයට යන මඟට පිළිපන් සේක.
මෙසේ වඩින බුදුරජාණන් වහන්සේට උපක නම් ආජීවකයා හමු වී බුදුරදුන්ගේ ප්‍රසන්න ශරීරයට
හා ශාන්ත දාන්ත ඉඳුරන්ට පැහැදුණේය.
ආජීවකයා බුදුරදුන් පිළිබඳ ව කෙටි විස්තරයක් ඇසූ විට බුදුහු මම අරහං නම් වෙමි, මම
අනුත්තර නම් වෙමි. ආදී වශයෙන් ඉතා කෙටියෙන් හඳුන්වා දී බරණැස ඉසිපතනයට වැඩි සේක.
බරණැස ඉසිපතනයට වඩින බුදුරදුන් දැක පස්වග මහණුන් වහන්සේ මුලදී කතිකා කරගත් පරිදි
සත්කාර සම්මාන නොකරන්නට අදිටන් කළ නමුත් බුදුරදුන් පස්වග මහණුන් සමීපයට ළංවත් ම තම
තමන්ගේ කැමැත්තෙන් ම ආගන්තුක සත්කාර වශයෙන් සියල්ල ඉෂ්ට සිද්ධ කළහ.
මෙසේ ආගන්තුක සත්කාරයෙන් පසුව පස්වග මහණුන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය පිළිබඳ සැකය
දුරු කොට “දෙවමෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන නසෙවිතබ්බා යොචායං
කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො, ගම්මො, පොථුජ්ජනිකො
අනරියො අනත්ථසංහිතො, යොචායං අත්තකිලමථානුයොගො
දුක්ඛො අනරියො අනත්ථ සංහිතො, යනාදී නයින් අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිය
නැණින් දැන වදාළ අන්ත දෙකින් තොර වූ ආර්ය මාර්ගය හෙවත් ප්‍රතිපදාව දුක්ඛාදී
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට එකම මාර්ගය වන්නේ යැයි දේශනාව ආරම්භ කළ සේක.
කාමසුඛල්ලිකානු යෝගය පුද්ගලයාට මෙන්ම සමාජයට ද අහිතකර වන්නේ ය. ඇස්, කන්, නාසාදී
ඉඳුරන් තමා සතු වුව ද රූපාදී අරමුණු ගත යුත්තේ බාහිර ලෝකයෙන් බැවින් අන්තගාමී සුඛ
විහරණයේ දී පොදු සමාජ අයිතියක් බලෙන් සතුකර ගැනීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර, විශාල
සමාජ පීඩනයක් ද ඇති වන්නේ ය.
කාම තණ්හාවේ ආදීනව අපමණ වන අතර, එයින් වළකින්නේ නම්, අපායගාමී කාම මිථ්‍යාචාරාදී
අකුසල සිදුවන්නේ නැත. කාම දාහයෙන් තැවෙන්නාට මෙලොව දී ම මහා දුක් වේදනා විඳින්නට
සිදුවන අතර, මරණින් මතු සතර අපායේ උපදින්නට සිදු වන්නේ ය.
මෙම අන්ත දෙකම අනර්ථකාමී නම් අප අනුගමනය කළ යුත්තේ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය
අෂ්ටාංගික මාර්ගය යි. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ප්‍රධාන දුක් දොම්නස් ඇතුළුව
සත්වයා විඳින දුක් දොම්නස් මෙතෙක් යැයි කිසිම කෙනකුට සීමා කරන්නට නොහැක.
සම්මා දිට්ඨියේ පටන් පිළිවෙළින් සම්මා සමාධිය දක්වා ආර්ය මාර්ගාංග ලෞකිකත්වයේ පටන්
ගෝත්‍ර භූඤාණය දක්වා මෙන් ම සෝවාන් මාර්ගය. සකදාගාමී හා අනාගාමි මාර්ගයට හා අරහත්
මාර්ග ඤාණයට ද බලපවතින්නේ ය. එමෙන්ම අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන ත්‍රිවිධ
ශික්ෂාවෙන් පරිභාවිතව සක්කාය දිට්ඨි ආදී සංයෝජන පිළිවෙළින් මාර්ගාංග අනුව සිඳ බිඳ
දමා අමා මහ නිවන් ප්‍රත්‍යක්ෂ කරන්නේ ය. |