කුරුන්දි විහාරයේ සංරක්ෂණයට යළි මඟ විවර කෙරේ
කුරුන්දි අටුවාව ලියූ ස්ථානය කුරුඳුමලේ එහෙමත් නැත්නම් කුරින්දි විහාරය යි.
කුරුන්දි විහාරයේ වටිනාකම නිසාම එහි විනාශ වී ගිය උරුමය යළිත් නඟා සිටුවීමට කටයුතු
කෙරුණා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එම කටයුතු සිදු කරන්නට මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි
නොමැතිවීම නිසා සංරක්ෂණ කටයුතු අඩපණ වන ලකුණු පෙනෙන්නට වුණා. එහෙත් අපේ දහම රැක
ගන්නට වෙහෙසෙන බොහෝ පිරිස් අදත් අප අතර වනවා. එවන් පින් කැමැත්තෙක් මේ කාර්යයට
දායකත්වය ලබා දුන්නා. ඒ අනුව කුරින්දි විහාරයේ සංරක්ෂණ කටයුතු සිදු කෙරුණත්, අපට
පසුගිය දිනවල අසන්නට දකින්නට ලැබුණේ දුක සන්තාපය උපදවනා සිදුවීම් කිහිපයක්.
පසුගිය පොසොන් පුර පසළොස්වක පොහෝ දින කුරුන්දි විහාරයේ ධාතු නිදානෝත්සවය යෙදී
තිබුණු දින යි. එදින මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සෙත් පිරිත් සඡ්ඣායනා සිදු කර ධාතු
නිධන් කිරීමට කටයුතු යොදා තිබුණේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු රාජ්‍ය
නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන්. එහෙත් එම කටයුතු සිදු කිරීමට පිරිසක් බාධා සිදු කළා.
ධාතු නිදානෝත්සවයෙන් බලාපොරොත්තු වූයේ වැළලී ගිය හෙළ උරුමය යළි ගොඩ නැංවීමයි. ආගමික
වශයෙන් වන්දනා මාන කරන්නේ එක් ආගමිකයන් පිරිසක් වුව ද එම ස්ථාන රැක ගැනීම සියලු
ජාතිකයන්ගේ ම වගකීමකි.
කුරුන්දි රාජමහා විහාරාධිපති
ගල්ගමුවේ ශාන්තබෝධි හිමි |
එහෙත් පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කළ පිරිසක් නිසා එම අවස්ථාවේ ඇති වූ
දැඩි උණුසුම් තත්ත්වය මත පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංගයන්
විසින් අදාළ පින්කම නවත්වා දැමීමට කටයුතු කළා.
අධිකරණ නියෝගයකට අනුව වසර දහස් ගණනක් පැරැණි කුරින්දි විහාරය ඩෝසර් කළ යුතුව
තිබුණා. එහෙත් පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග නීතිපතිවරයා හමු
වී සිදුවීම පැහැදිලි කළා. පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පුරාවිද්‍යා
කොමසාරිස් ජෙනරාල් අනුර මනතුංගයන් ද සමඟ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් ජූලි
20 වැනිදා මහේස්ත්‍රාත්වරයා හමුවේ කුරින්දි විහාරයේ පුරාවිද්‍යාත්මක කරුණු ගෙන හැර
දැක්වූවා. එම කරුණු දැක්වීමෙන් පසුව මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සරවනරාජා මහතා
විසින් තීරණය කෙළේ අදාළ ඉදිකිරීම් පරීක්ෂා කළ යුතු බවයි.
|
|
පුරාවිද්‍යා කොමසාරිස්
ජෙනරාල් මහාචාර්ය
අනුර මනතුංග මහතා |
බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා |
කුරුන්දි පුරාවිද්‍යා සංරක්ෂණ වැඩබිම හා අවට පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා විසින්
පසුව එහි ඇති නටබුන් මෙන්ම අනෙකුත් පුරාවිද්‍යා ස්මාරක ද හොඳීන් පරීක්ෂා කළා.
පුරාවිද්‍යා නිර්දේශ ද සලකා බැලුවා.
ඒ අනුව තමන් විසින් පෙර නිකුත් කර තිබූ කුරුන්දි විහාරයේ ඉදිකිරීම් නවතා එය කඩා
ඉවත් කිරීමේ නියෝගය බලරහිත කරන්නට විනිසුරුවරයා කටයුතු කළා. එපමණක් නොව එහි කටයුතු
පෙර පරිදි සිදු කරන්නට ද අවශ්‍ය කටයුතු සලසා දුන්නා.
අධිකරණ තීන්දුව ලැබුණේ ඉදිරි පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු නිසි ලෙසින් කරගෙන යාමට
හැකිවන පරිදි යි.
පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංගයන් පවසන්නේ කලකට පෙර ගොනු කළ
නඩුවකට අනුව එහි ඉදිකිරීම් ඉවත් කරන්නට අධිකරණ නියෝගයක් ලැබුණ ද දෙපාර්තමේන්තුව
කටයුතු කරන්නේ පුරාවිද්‍යා පනතට අනුව බවයි. කුමන බාධා පැමිණියත් පුරාවිද්‍යා
සංවර්ධන කටයුතු නොනවත්වන බවද ඔහු පැවසුවා.
කුරුඳුමලේ විහාරයේ සංරක්ෂණයට වැඩි දායකත්වයක් ලබා දුන් බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත්
සුමතිපාල මහතා ද පැවසුවේ සමස්ත ජාතියම වෙනුවෙන් කුරින්දි විහාරය යළි පණ ගන්වන්නට
ලැබීම සතුටක් බවයි. අධිකරණය විසින් ලබා දුන් තීන්දුව අධිකරණය විසින් ම වෙනස් කළේ ද
පුරාවිද්‍යා පනතට අනුව සියලු ඉදිකිරීම් කර තිබූ නිසා බව ද ඔහු පෙන්වා දුන්නා.
කුරින්දි රාජමහා විහාරාධිපති ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් පවසන්නේ කුරින්දි යනු
සමස්ත ජනතාවගේ ම උරුමයක් බවයි. මෙරට එකම කබොක් ස්තූපය වන කුරින්දි රැක ගැනීම අප
හැමගේ උරුමයක් බවත් උන් වහන්සේ පෙන්වා දෙනවා.
කුරුන්දි විහාරය
රැක ගත යුතු ඇයි?
මීට පෙර හමුව නැති පද්මාකාර හැඩයෙන් යුත් කබොක් ගලින් නිම කරන ලද කුරුඳු විහාරයීය
දාගැබ අක්කර 75ක් වන භූමියක ස්ථාපිත ය.
ජනප්‍රවාදවලට අනුව බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය වූ නාගදීපයට වැඩම කළ
අවස්ථාවේ දී කුරුඳුමලේ විහාරය පිහිටි කඳු සහිත භූමියට වැඩම කොට ඇත. ඛල්ලාටනාග රජු
විසින් ක්‍රි.ව. 100 -103 අතර කාලයේ දී කුරුන්දාවශෝක විහාරය තනා ඇති බවට
පුරාවිද්‍යා සාක්ෂ්‍ය තිබෙන බව පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ
පවසති.
කුරුන්දාවශෝක විහාරය කුරුන්දපාසක විහාරය නමින් ද මහා වංශයේ සඳහන් වන බවත්, පසුකලෙක
පළමුවැනි අග්බෝ රජු හා පළමුවැනි විජයබාහු රජු එහි සංවර්ධන කටයුතු සිදු කර ඇති බවත්
උන් වහන්සේ පවසති.
අඩි 68ක් දිගකින් හා අඩි 64ක් පළනින් යුක්ත ප්‍රාකාරයකින් වට වූ ස්තූපයේ උස අඩි
45කි. එහි විෂ්කම්භය අඩි 42කි. මේ සිද්ධස්ථානයට පිළිම ගෙයක්, උපෝසථාගාරයක්, සදකඩපහන
ආදිය ඇතුළත් වන අතර, ජල අවශ්‍යතා සපුරා ගැනීම පිණිස පහළින් පිහිටි වැවට අමතරව කඳු
මුදුනේ විශාල පොකුණක් ද ඉදි කර තිබේ.
සිවුවැනි උදය රජතුමා විසින් මේ සම්බන්ධව සොයා බැලූ බවට පැරැණි සාධක තිබෙන අතර
ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ක්‍රිස්තු වර්ෂ 10 හෝ 11 පමණ දක්වා සංවර්ධනය වෙමින්
පැවති ආගමික ස්ථානයක් ලෙස කුරින්දි විහාරය හඳුන්වා දිය හැකි ය.
මේධානන්ද හිමියන්ගේ මතයට අනුව අටුවා ලියන සමයේ කුරින්දි අටුවාව ලියූ ස්ථානය
කුරින්දි විහාරය ලෙසින් හඳුන්වා ඇත. මෙහි රහතන් වහන්සේ මෙන්ම ත්‍රිපිටකධර ස්වාමීන්
වහන්සේ වැඩ සිටි ස්ථානයක් බවට බොහෝ සාධක ඇති බව ද උන් වහන්සේ පවසති.
මෙවන් සාධක රැසකින් යුත් කුරුන්දි විහාරය ඉතා සුළු පිරිසකගේ උසි ගැන්වීම මත
අකර්මන්‍ය වීමට සැලැස්වීම කිසිසේත් ම සුදුසු නොවේ. ඉදිරියේ දී පුරාවිද්‍යා පනතට
අනුව එම භූමියේ සංරක්ෂණ කටයුතුවලට බාධා කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු
ය. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළ යුතුම කාර්යයකි. එසේ නොවුණහොත් ඉදිරියේ
දී මේ ජාතිවාදී පිරිස් විසින් තම තමන්ට අවශ්‍ය පරිදි ඉතිහාසය ද වෙනස් කරමින් ජනතාව
අතර වෛරය පැතිරවීමට කටයුතු කරනු ඇත. එය නැවත ජනතා අසමඟියක් ඇති කරවන්නක් විය හැකි
ය.
|
- තාරක වික්‍රමසේකර
|