[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝ අම්බලමේ ඉඳලා එනවා - මේ ජීවිතයේ කෝ ස්ථිරතා

ලෝ අම්බලමේ ඉඳලා එනවා - මේ ජීවිතයේ කෝ ස්ථිරතා

ලෝකයේ බිහිවූ සත්වයින් අතර මිනිසාට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. එයට හේතු වී ඇත්තේ අන් සත්වයින්ට වඩා දියුණු වූ ප්‍රඥාවක් හා සුවිශේෂ චින්තන හැකියාවක් මිනිසාට තිබෙන හෙයිනි.

ලෝකයේ ප්‍රඥාවන්තයින් අතර ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ බුදුන් වහන්සේ ය. සත්වයාගේ සසර ගමන පිළිබඳ නිවැරැදි චින්තනයක් ඇති කළේ ද බුදුන් වහන්සේ ය. උන්වහන්සේ අවබෝධ කොට ගත් ඥාන අතර පුබ්බේනිවාසානුස්සති, චුතූපපාත හා ආසවක්ඛය යන ඥානයන් විශේෂ වේ.

සත්ත්වයාගේ පූර්ව භවයන් පිළිබඳ ඥානයත්, මරණින් පසු නැවත භවයක සම්භවය වීම පිළිබඳ ඥානයත්, ආශ්‍රවයන් ප්‍රහීණ කිරීමෙන් සසර ගමන නවතින බව දත් ඥානයත් යන ලෝකෝත්තර ඥාන ලබා ගත් බුදුන් වහන්සේ ඒ පිළිබඳ ලෝක සත්වයාට මැනවින් අවබෝධ කරමින් දේශනා පැවැත්වූහ. ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ අපි මේ රැඳී සිටින්නේ එක් නවාතැන් පළක ය.

එය වරෙක අම්බලමක් සේ ය. අම්බලමක නවාතැන් ගත් මිනිසා තම බඩු බාහිරාදිය රැගෙන නැවතත් අම්බලමකට ගමන් කරයි. සසර ගමනෙහි යෙදී සිටින මිනිසා මේ ලබා ගත් මිනිසත් භවය එක්තරා අම්බලමකි. මෙම ලෝක යථාර්ථය සැමවිට ම සාහිත්‍යකරුවන් සිය නිර්මාණයන් සඳහා වස්තු විෂයය කොට ගෙන ඇත.

1957 දී ජීවිත සටන චිත්‍රපටයට ඩී. ටී. ප්‍රනාන්දු විසින් රචිත ඉන්දියානු ගායිකාවක වන ජික්කි විසින් ගායනා කරන ලද පහත ගී පදවැල මෙම යථාර්ථය මැනවින් කියා පායි.

ලෝ අම්බලමේ ඉඳලා එනවා
නිසි පාර සොයා ආගන්තුකයා
දෙයි මාන බලා කරුමේ පහරා
මේ ජීවිතයේ කෝ ස්ථිරතා

එහි දී කවියා මිනිස් ජීවිතයෙහි ඇති අස්ථිර භාවය පිළිබඳ තම ශ්‍රාවකයාගේ අවධානය යොමු කරවයි.

ජීවිතය නම් අම්බලමට පැමිණි මිනිසා සැමවිට ම යා යුතු මාර්ගය විමසමින් සිටියි. කෙසේ වෙතත් තමා අතීත භවයන්හි රැස්කර ගත් කර්ම ශක්තිය මඟහැර යන්නට කිසිවකුටත් නොහැකි ය. එම නිසා කර්මයට අනුව ජීවිතය ඉදිරියට සසර ගමනෙහි ගලාගෙන යන අයුරු කවියා මැනවින් ඉදිරිපත් කරයි.

පිනි බිංදු වගේ බිඳී යාවි සැනින්
මේ නිසරු කලේ අපි ආලේ කළා
කරුමේ කළේ මේ කිමදෝ අනේ..... අහෝ...
කරුමේ කළේ මේ කිමදෝ අනේ
මේ මාව දමාලා යන්නේ කොහේ

ජීවිතය නම් තණ අග පිනි බිඳුවක් වැනි ය. එය කොයි මොහොතක ගිලිහී බිමට වැටේ දැයි කිසිවකුටත් කිව නොහැකි ය. එහෙත් සැණෙකින් බිම ඇද වැටීම නම් ස්ථිර ය. ජීවිතයක ස්වභාවයත් එසේ ය.

මෙම පද පේළි ජීවිත සටන සිනමාපටයේ කතාවට අදාළව රචනා වුව ද සමස්තයක් වශයෙන් පාඨක අවධානය යොමු වී ඇත්තේ ජීවිතයේ අස්ථිර භාවයට ය.

ගිනි දැල්ල නඟින්නා සොහොන පුරා
ගිනි කන්ද නඟී ආකාසෙ පුරා
ගිනි දැල්වීලා ආවේ හර්දේ පලා
පව්කාර මගේ පව් පල දේ අහෝ
පව්කාර මගේ පව් පල දේ අහෝ
මේ ජීවිතයේ කෝ ස්ථිරතා

ජීවිතයක අවසානය සොහොන් කොතේ දී හෝ සොහොන් බිමේ දී හෝ සිදු වන ලෝකයේ හැම විටම පොදු සංසිද්ධියකි. එහිදී භෞතික සියල්ල ම සොහොන් කොතේ ගිනිසිළුවෙන් හළු වී යයි. එසේම තවත් වරෙක සොහොන් බිමේ පස්වලට හසුවී භෞතික සියල්ල ම පස් බවට පත්වෙයි .

එසේ වුව ද සොහොන් කොතේ ගිනිවලට අළු කළ නොහැකි යමක් සෑම මානවයකු ම තම ජීවිතයේ එක් රැස් කොට ගෙන ඇත. එය සොහොන් බිමේ පස්වලට ද යට කළ නොහැකි ය.

එනම් තමා සිය ජීවිත කාලය තුළ රැස් කොට ගත් පින් -පව් දෙක ය. ඒවා මරණින් පසු කාටවත් පැටවිය නොහැකි ය. තමා පසුපස ගමන් කරන කර්ම ශක්තිය බවට පත්වේ. ගොනා පසුපස ගමන් කරන කරත්ත රෝදය සේ රැස්කර ගත් පවත්, තමා අත් නොහැර යන සෙවණැල්ල මෙන් රැස්කර ගත් පිනත් පසුපසින් එන බව ධම්මපද පාලියේ යමක වග්ගයේ මුල්ම ගාථා දෙකෙන් බුදුන් වහන්සේ දේශනා කළහ

සංසාර දුකින් මිරිකීම තමා
ලෝකේහි සොබා ධර්මේ නියමා
මරණෙට ආ දා යා යුතුයි..... ඔව්
මරණෙට ආ දා යායුතුයි
ධර්මේ නමුත් සැනසෙන්නේ කෙසේ

කවියා තම සදාදරණීය ශ්‍රාවකයාට එම ගීත පාදයෙන් අවබෝධ කිරීමට මහන්සි ගන්නේ සසර යනු දුකින් පිරුණු මාවතක් බව ය. එසේ වීමට හේතු වන්නේ සසර ගමනේ තමා සිදුකර ගත් අකුසල පාප කර්මයන් ය. එසේ අකුසල පාපකර්ම සිදු කළහොත් සසර ගමන හැමවිට ම දුක්ඛාන්තයක් බවට පරිවර්තනය වේ. මෙහිදී කවියා ධ්වනිත කරන සමුදයාර්ථය වන්නේ ජීවිත කාලය තුළ පුණ්‍ය කර්ම -කුසල කර්ම සිදුකළ හොත් ඔවුන්ගේ සාංසාරික ගමන් මඟ සුවදායක වන බව ය. මානව ජීවිතයක් ලැබීම යනු පූර්ව ජන්මවල සිදු කළ කුසල කර්මවල ඵලවිපාකයන් ය.

එකී පුණ්‍ය කර්මවල විපාක වශයෙන් ලබා ගත් මානව ජීවිතය තුළ උදාර සැප සම්පත් ළඟා කර ගත හැකි ය. එසේ මානව ජීවිතයේ මිහිර විඳීමින් ජීවත්වන මිනිසුන් අප සමාජය තුළ කොතෙකුත් දැකිය හැකි ය. එසේම සසර කළ අකුසල කර්ම හේතුවෙන් අතිශය දුක්ඛ දෝමනස්සයන්ට හසුවන අවාසනාවන්ත චරිත ද බහුල වශයෙන් වර්තමාන සමාජය තුළ දැකිය හැකි ය.

කෙසේ වෙතත් මෙවැනි ගීත සම්පාදනය කිරීමෙන් බලාපොරොත්තු වූයේ සසර ගමනෙහි දුක්ඛ දෝමනස්සයන් මෙන් ම සුඛ සෝමනස්සයන් පිළිබඳ අවධානය යොමු කොට එයින් යහපත් මානව ජීවිතයට අදාළ කුසල පක්ෂය කෙරෙහි අවධානය යොමු කරවීමයි.

එබැවින්, මෙම සමාජය සාධු සම්මත යහපත් සමාජයක් බවට පත් කිරීම කවියාගේ ඒකායන පරමාර්ථය වී ඇති බව පෙනේ .

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]