[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 75 කොටස: දුටුගැමුණු රජතුමා ආරම්භ කර තිබෙන්නේ ඓතිහාසික ගමනක්

දුටුගැමුණු මහ රජතුමා - 75 කොටස:

දුටුගැමුණු රජතුමා ආරම්භ කර තිබෙන්නේ ඓතිහාසික ගමනක්

අමිතා පැමිණ සමන්තී, බෝධිනාග දෙදෙනාට වැඳ පිළිගත්තා ය. සිරිනාගට ආචාර කර සිනාවෙන් සංග්‍රහ කළා ය. කවුරුත් ඇගේ රූපලාවණ්‍යයෙහි පැහැදුණහ.

ශාලාවෙහි අසුන්ගත් පිරිස සිරිනාගට ඇහුන්කන් දීමේ කැමැත්ත පළකළහ.

“එළාර රජතුමාගේ ධර්මිෂ්ට පාලනය නිසා දැන් සිංහල මිනිස්සු හරිම පැහැදීමකින් ඉන්නේ. ඔවුන්ට දැන් ඉතිහාසයත් අමතක වෙලා. මහා විහාරයට රහතන් වහන්සේ මහ පෙරහරකින් වැඩම කරලා. එළාර රජතුමාගේ සාධාරණ පාලනයට කැමැත්තෙන් පැමිණි බවටයි ආරංචිය පැතිර ගොස් තිබෙන්නේ. ඒත් එදා විහාරස්ථානවල තිබූ ශ්‍රී විභූතිය දැන් නැහැ. විහාර කුටි කඩාවැටිලා. ලෙන් ජරාවාස වෙලා. මේවා නැවත නගාසිටුවන්නට සිංහල බෞද්ධ රජ කෙනකුම එන්නට ඕනෑ.”

“දුටුගැමුණු රජතුමා ආරම්භ කර තිබෙන්නේ ඓතිහාසික ගමනක්. ඒ ගමන් මාර්ගයේ මාර්ග සටහන් තමයි මහා සංඝරත්නයට පිරිනැමෙන විහාරස්ථාන, මහජනතාවට පිරිනැමෙන පූජ්‍යස්ථාන, විහාරමහා දේවිය පෙරමුණේ ගමන් කරමින් සංඝයා වහන්සේ වැඳ පුදා ගනිමින් එන මේ ගමන වන්දනා ගමනක් මිස යුද්ධයක් නොවෙයි. මහියංගනයේ දී වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය සඳහා ටික කාලයක් රැඳී සිටිනවාලු.”

“එය යුද්ධ උපායක් විය හැකියි.”

“බෝධිනාගත් තානායමේ වැඩට අමතරව දැන් මහා පින්කමක යෙදෙනවා. වෙනම ආහාර ගබඩාවක් සූදානම් කරනවා. කාගේත් අවධානය යොමු වූයේ බෝධිනාග දෙසට ය. ජයනාථ මහ සිටුතුමා මේ කියන්නට යන්නේ කුමක් ගැන ද? බෝධිනාගගේ සිතට ඉවසිල්ලක් නැත”.

බෝධිනාගට අපේ කුඹුරුවල ගොවියන් ඉතාම කැමැතියි. ඔහු සතියකට වතාවක් ගොවියන් හමුවෙනවා. ඔවුන්ට උපදෙස් දෙනවා. බෝධිනාග නිසා ඔවුන්ගේ ගොවිතැන් සරුසාර වෙලා. මෙවර නියමිත කාලයට අස්වැන්න ලබාගෙන පිරිසුදුව ගබඩා කළා. ගොවියන්ට අපේ භාණ්ඩාගාරයෙන් වියදම් ගෙව්වා. මේ පිරවූ ගබඩා සියල්ල හිස් කරන්නේ දුටුගැමුණු රජතුමා යුද්ධයෙන් දිනුවාම මඟුල් කන්න.”

“සමන්තී ද පුරවාගත් සතුටින් සිටුදේවිය දෙස බැලුවා ය. ඇයගේ මුහුණේ බියට පත් වූ බවක් පෙනිණි.

“සමන්තී මේ අයට දැන් රහස් කථා නැහැ. මිත්‍ර මහ සෙනෙවි සිටියා නම් මෙහෙම කතා ප්‍රසිද්ධියේ අසන්නට ලැබෙන්නේ නැහැ. ඇය කීවේ සිය බියට හේතු දක්වමිනි.”

“ඒ වෙනුවට දැන් සිරිනාග ඉන්නවා.”

බෝධිනාග කීවේ විහිළුවට මෙනි.

සමන්තී සිරිනාග ළඟට ගොස් ඔහුගේ හිස අතගෑවා ය.

“මගේ පුතා ඊට වඩා වෙනස් කෙනෙක්.”

සමන්තී පැවසූ දෙයින් වඩාත් සතුටට පත්වූයේ අමිතා ය. ඇය දීප්තිමත් දෙනෙතින් සිරිනාග දෙස බලා සිටියේ ය.

“අපි අතර කිසිම රහසක් නැහැ. ඒත් අපේ රහස් තව ටික කලක් රැක ගන්නට ඕනෑ. මහ සිටුතුමා කීය.”

“අමුත්තන් වෙනුවෙන් ම සැකසූ තල කැරලි සහ මී පැණි දිවුල් යුෂ තිබෙනවා. කැමැති ආකාරයකින් සංග්‍රහය භුක්ති විඳීමට පුළුවන්.” සිටු දේවියට කීවා ය.

සංග්‍රහය උද්‍යානයේ එළිමහනේ පැවැත්විණි. තිසා වැව දෙසින් හමා එන මඳ සුළඟ නිසා පරිසරය සිසිල් විය. පරිසරය විඳ ගැනීමේ ආසාවෙන් කවුරුත් නැඟී සිටියහ.

සේවිකාවෝ දෙදෙනෙක් කිරිගරුඬ පලකයක් මත කැවිලි බඳුනක් ගෙනත් තැබූහ. පලකය වටා තිබුණු අසුන්වල කවුරුත් හිඳ ගත්හ. තල කැරැල්ලක් අතට ගත් සිරිනාග දිවුල් යුෂ බඳුනක් අනික් අතට ගත්තේ ය.

“මහ සිටුතුමනි, අද මාගමින් රහස් තල්පතක් ලැබුණා. දුටුගැමුණු සේනාව ළඟදීම මහියංගන බලකොටුවට පහරදීමට ගමන් අරඹන බව කියා තිබුණා. කසාතොටින් ගඟ තරණය කර එන්නේ විජිතපුරයට. ජය ගැනීමට අමාරු බලකොටුවක්. ඉන්පසු තිබෙන්නේ මහේල, ගිරිලක බලකොටු දෙක එළාර සහෝදරයන් දෙදෙනකුගේ බලකොටු”

“විජිතපුර බලකොටුව බිඳ ගත්තොත් අනුරාධපුර රාජධානිය ජය ගත්තා හා සමානයි.”

මේ සඳහා අපට කළ හැක්කේ උපායන් කිහිපයක් යෙදීම පමණයි. දීඝාභය, උපතිස්ස දෙදෙනා විජිතපුර බලකොටුවෙන් පිටතට ගත හැකි නම් අපට ලොකු ජයක් අත්පත් කර ගත හැකියි.

“අද රාත්‍රී භෝජන සංග්‍රහයට මම කුණ්ඩල බ්‍රාහ්මණතුමාටත් ආරාධනා කළා. ප්‍රමාද වී හෝ පැමිණෙන බව කීවා. මේ ගැන අපි ඔහුත් සමඟ කතා කරමු.

“අනුරාධපුර ආහාර ගබඩාවල වගකීම මහ සිටුතුමාට පවරන්නට අද රාජ සභාව තීරණය කළා. එය ප්‍රතික්ෂේප නොකර බාරගන්න. මම ආයුධ ගබඩා භාරකරු.

“හැමදේම වෙන්නේ හොඳටයි” කියමින් සිරිනාග සිනාසුණේ ය.

“රට පුරාම විසිරී සිටි භික්ෂුන් වහන්සේ දැන් අනුරාධපුරයට වැඩම කරලා. අතීතයේ තිබූ ආගමික ශ්‍රී විභූතිය නැවතත් මතු වෙමින් තිබෙනවා. මේ වාසිය තමන්ට ඈඳාගන්නට තරම් එළාර රජු කපටියි.”

අපිත් ළඟදීම තුන්දහසක පමණ භික්ෂූන් වහන්සේ වැඩම කරවා සාංඝික දානයක් පිරිනැමීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා. භික්ෂූන් වහන්සේ ටික දෙනයි රජගෙදර දානයට වඩින්නේ. බොහෝ භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයට වඩිනවා. ආරාධනාවක් ලැබුණොත් ගෙවල්වලට යනවා. සාංඝික දානය අවසානයේ සිදුකරනු ලබන පුණ්‍යානුමෝදනාව ගැන එළාර රජුට භයක් ඇතිවෙලාලු.

සිරිනාග නැඟී සිටියේ ය.

“කුණ්ඩල බ්‍රහ්මණතුමා එන්නට තව පැයක්වත් ගතවේවි. මම කැමතියි පුස්තකාලයට ගොස් පොත් කියවන්න. බෝධිවංශ කාව්‍යයෙහි බුද්ධ චරිතය ඇතුළත් කවි පන්තිය හරිම රසවත්. ආධ්‍යාත්මික ගුණයන් ඇති කරන එබඳු කවි සමාජ යහපත සඳහා යොදා ගන්නට පුළුවන්.”

“සිරිනාග හෙළඅටුවා පොතක් දෙකක් කියවන්න. ඒවාත් කවි. එම ගී අසා අපේ භික්ෂූන් වහන්සේ හැට නමක් රහත් වූ බව අටුවා පොත්වල සඳහන් වෙනවා.

මහ සිටුතුමාගේ කියමනෙන් ඉඩ ලද සිරිනාග සිටු මැදුරට පැමිණ පුස්තකාල කුටියට ඇතුළු විය.

අමිතා මුළුතැන් ගෙට ගියා ය. ඇය පිළිබඳ කතාව ඇරැඹුවේ සමන්තී ය.

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]