Print this Article


ඇල්ලේවෙල ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ විහාරය

ඇල්ලේවෙල ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ විහාරය

හක්මන ඇල්ලේවෙල ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ විහාරයේ අභිනව විහාර මන්දිරයේ පිළිම වහන්සේ සඳහා නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කොට සැදැහැවතුන්ගේ වන්දනාමාන සඳහා විවෘත කිරීම මෙම මස 12 වැනි දින සිදු කෙරේ.

මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩ පත්තුවට අයත් ඇල්ලේවෙල ග්‍රාමයේ පිහිටි පෞරාණික බෝධීන් වහන්සේ ඇසුරෙහි ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ විහාරය ආරම්භ වී ඇත.

දුරාතීතයේ ගැමියන්ගේ වන්දනාමාන, පුදපූජා හා බාරහාර කටයුතු සිදු කිරීමට යොදා ගත් මෙම ස්ථානයේ මහනුවර යුගයේ ගණින්නාන්සේලා වැඩ සිටි බව ජනප්‍රවාදගත ව පවතී.

ඇසතු බෝ රුක ඇසුරෙහි පිහිටි විහාරස්ථානය යන අරුත් දෙමින් අශ්වත්ථාරාමය වශයෙන් මෙම ස්ථානයේ විහාරස්ථානයක් ආරම්භ කරවන ලද්දේ මූලගිරි සඟ පරපුරට අයත් ඇල්ලේවෙල උපනන්ද මාහිමිපාණන් වහන්සේ විසිනි.

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් දල්වාලු ධර්ම ශාස්ත්‍රාලෝකයෙන් පහතරට ඒකාලෝක කිරීමට දායකත්වය ලබා දුන් මූලගිරි රාජමහා විහාරාධිපති වටරග්ගොඩ ධම්මපාල මාහිමිපාණන් වහන්සේ මූලගිරි සඟ පරපුරෙහි ආදි කර්තෘවරයාණන් වහන්සේ වෙති.

වටරග්ගොඩ මාහිමියන්ගේ සිව්වන ශිෂ්‍ය ගංගොඩගම දේවරක්ඛිත හිමියෝ ගුරු දේවයන් ඇවෑමෙන් මූලගිරි විහාරාධිපතීත්වයට පත් වූහ. හබරාදූවේ සෝභිත හිමියෝ ගංගොඩගම හිමියන්ගේ ද්විතීය ශිෂ්‍යවරයාණ වූ අතර කිරම සෝණුත්තර සහ කෝන්ගල සුමන හිමිවරුන්හට ආචාර්යවරයා වූහ. කිරමකෝන්ගල දෙහිමිවරුන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වූවෝ ඇල්ලේවෙල උපනන්ද හිමියෝ ය.

ඇල්ලේවෙල උපනන්ද මාහිමියන්ට පසු තත්ශිෂ්‍ය බෙරුවේවෙල සරණතිස්ස හිමියන් හා නාරන්දෙණියේ ධම්මරතන හිමියන් මෙහි වැඩ සිටිමින් කාලානුරූපීව විහාරාංග ඉදිකරමින් විහාරස්ථානයකින් ඉටු විය යුතු ශාසනික කටයුතු සිදු කළහ.

නාරන්දෙණියේ ධම්මරතන හිමියන්ගේ ශිෂ්‍ය වූ ශාස්ත්‍රාචාර්ය, පණ්ඩිත කෝංගල පඤ්ඤාතිස්ස හිමියන් විහාරස්ථානයේ නූතන නවෝදයේ ආදිකර්තෘවරයන් වහන්සේ වශයෙන් හඳුන්වා දිය හැකි ය.

මෙසේ සියලු විහාරාංග ඉදි කරවමින් විහාරස්ථානය සකලාංග පරිපූර්ණත්වයට පත් වෙමින් පැවතිය ද විහාර මන්දිරයක අඩුපාඩුව පැවතුණි.

පඤ්ඤාතිස්ස මාහිමියන්ගෙන් පසු අශ්වත්ථාරාම පුරාණ විහාරය, බෙරුවේවෙල සෞගතාරාම පුරාණ විහාරය හා දෙනගම මුණසිංහාරාමය යන විහාරයන්හි ආධිපත්‍යයට පත් වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති ධුරය හෙබවූ, දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති අතපත්තුකන්ගේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ කොළඹ 06 සාමවිහාරය ගොඩනංවන අතර, මෙම විහාරස්ථානයන්හි අභිවෘද්ධිය පිණිස ද ක්‍රියාත්මක වූහ.

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ වැඩ සිටිමින් ලද පන්නරය ඔස්සේ අතපත්තුකන්දේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ විසින් මුල් කාලයේ ප්‍රදේශවාසී සැදැහැති දායක කාරකාදීන්ගේ උපකාර මත ද ඉනික්බිතිව ස්වකීය හිතෛශී දායකවරයකු වූ ව්‍යාපාරික විරාජ් පෙරේරා මැතිතුමාගේ සහ මධුවන්ති පෙරේරා මැතිණියගේ ධනව්‍යයෙන් ශාන් ලියනගේ නම් වූ නිර්මාණ ශිල්පියාගේ දක්ෂතා උපයෝගී කර ගනිමින් ඇල්ලේවෙල මහා විහාර කර්මාන්තයෙහි වැඩ ආරම්භ කළහ.

විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී වඳුරඹ රතනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් පඤ්ඤාතිස්ස හිමියන් ඉදි කළ මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කරවා ඊට අතිරේක වශයෙන් මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක් ද, සම්බුද්ධ ශාසනයේ ප්‍රථමයෙන් මාර්ගඵලලාභී වූ, චිරරාත්‍රඥයන් අතර අගතැන් ලද අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාවක් ඉදි කොට විසිතුරු මල්කම්, ලියකම් හා සිතුවම් නිර්මාණය කරවා අලංකෘත කොට ඇත.

බෙල්ලන්විල රාජමහා විහාරයේ බිතුසිතුවම්වලට සමාන වූ ශෛලියකින් මෙහි සිතුවම් නිර්මාණය කොට තිබීම විශේෂත්වයකි.

අභිනව විහාර මන්දිරයේ ප්‍රතිමා වහන්සේලාගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කොට අගෝස්තු මස 12 වැනි දින සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, සාහිත්‍ය චක්‍රවර්තී, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ විසින් නිරාවරණය කොට සැදැහැවතුන්ගේ වන්දනාමාන සඳහා විවෘත කිරීමට නියමිත ය.