Print this Article


ඉරණමට පිටුපා සතුට ලුහුබඳින වා ද?

ඉරණමට පිටුපා සතුට ලුහුබඳින වා ද?

අපේ තිබුණ ශක්තිමත් ශරීරය කාලයා විසින් ටික ටික උදුරා ගනිමින් සිටිනවා. “ඉස්සර වගේ දැන් මොනවත් කරන්න බැහැ” නිතරම කියනවා. ගෙවී ගිය ශරීර ශක්තිය වමාරා නැවත නැවත තව එකෙකු හා කතා කරමින් අද අපි කරන්නෙත් මේ සිත සතුටු කිරීම පමණක් නොවේ ද?

හැමෝගෙම ජීවිතයේ බොහෝ සැලසුම් තිබෙනවා. සැලසුම් මත පිහිටා ජීවිතය ගත කරන්නට අප පුරුදු පුහුණු වූයේ ළමා වියේ සිටම යි. කාලයත් සමඟ අපගේ සිතත් ගතත් මෝරා යද්දී ඒ සැලසුම් ඉලක්ක කරා ගෙන යන්නට අපි පුරුදු වුණා. මරණය තෙක්ම එය එසේ ම යි.

මේ මොහොතේ මිය යන සියලු දෙනා ද ජීවිත ඉලක්ක ඇතිව ඒවා අත්පත් කර ගන්නට මහත් වූ වෙහෙසක් ගත් පිරිසක්. ඒවා එසේ තිබිය දී ම ඔවුන්ට ජීවිතය අතහැර යන්නට සිදු වුණා. අපට උරුම ඊට වඩා වෙනස් ඉරණමක් නොවේ. නමුත් ඉරණම වසාගෙන සතුට ලුහුබඳිමින් අපි ජීවත් වෙනවා.

ජීවිතයේ ඇතැම් කල කළ කී දේ අපට මතක යි. සමහර දේ කොහෙත්ම මතක නැහැ. ජීවිතයේ ගෙවුණු සමහර කාල අපි දන්නවා. අප ගෙවා දැමූ, එහෙත් අපට මතක නැති ඇතැම් කාලත් අපගේ ජීවිත වටා තිබෙනවා.

හීන ගොඩක්

අම්මාගේ කුසේ කළලයක් විදිහට අපි මෝරා ගියපු කාලයක් තිබුණා. එතකොට අපට අපේක්ෂා නැහැ. අපි ඉපදුණාට පස්සේ ඇස විවර වුණා. අපේ ඇස්වලට එබිලා අම්මා, තාත්තා ලොකු ලොකු හීන දැක්කා. ඒත් අපට ඒ කාලයේ ඒ කිසි දෙයක ඕනෑකමක් තිබුණේ ම නැහැ. මළ මුත්‍රා ගොඩේ හඬ හඬා අපි සිටියා. යන්තමට හිනා වුණා. පැත්තට පෙරළුණා. මුනින් අතට පෙරළුණා. බඩ ගෑවා. දත් ආවා. වචනය වචනය කියන්න පටන් ගත්තා. ටික ටික ලොකු වෙනකොට අපි කාටත් අපි කැමැති දේ තෝරා ගන්න සිදු වුණා. පි‍්‍රය, අපි‍්‍රය විදිහට කෑම බීම, ඇඳුම් පැළඳුම් , සෙල්ලම් බඩු, වෙන් කර ගත්තා. කැමැත්ත වගේම අකැමැත්ත ප්‍රකාශ කරන්නට අපි පුරුදු වුණා.

තරඟයක හැටි

අපි අකුරු ඉගෙන ගත්තා. පෙර පාසල්, පාසල් ගියා. ඔන්න අපට ඇසෙන්නට ගන්නා පන්තියේ පළමුවැනියා වෙන්න කියලා. අපි ඒ වෙනුවෙන් මහන්සි වුණා. එදා ඉඳලා මේ ජීවිතයට තිබුණේ ඉලක්ක පමණ යි. කයට, සිතට කෙතරම් වෙහෙස දැනුණත් සිහින තරගය කරා යන්න අපට තිබුණේ නොතිත් ආශාවක්. ඉලක්ක බොහෝ විට අපගේ ඉදිරියෙනුත්, තව විටෙක පිටුපසිනුත් සිට අප තල්ලු කළා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, අපේ ජීවිතයේ කඩඉම්. පිරිසක් උසස් පෙළ සමත් ව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ගියා. කොටසක් රැකියාවක් කළා. තව සමහරු රට අතහැර ගියා. ඉතිරි කොටස ඒ කාලයේ දී ම විවාහ වුණා.

දැන් ජීවිතයේ තවත් ඉලක්ක ගොඩක් අපි ඉදිරියේ. ඉඩමක් ගන්න, ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න සිතේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ගොඩක්. දිවා රෑ නොබලා මහන්සි වෙන්නේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නට, ලස්සනට අඳින්නට, හොඳට කන්න බොන්න සිත කැමැති වුණා. සිත ඉල්ලන ඉල්ලන තැන්වල අපේ ඉලක්ක නතර වුණා. එකක් අත්පත් කර ගන්නත් කලින් තව තවත් ඉලක්ක අපේ ජීවිතයට එකතු වුණා.

මේ අතරේ අපේ දරුවන්ගේ දෑසට එබිලා අපි ඒ අයගෙන් මහා දැවැන්තයෝ සෙව්වා. ප්‍රතිරූප ගොඩනඟා ගත්තා. හරියට ඒ කාලයේ අපි වගේම යි. නිතරම සිත ඉල්ලන දේ පස්සේ අපි හති දාගෙන දිව්වා. ජීවිතයේ වැඩිම වාර ගණනක් අප කළේ සිත කැමැති දේ යි.

ජීවිතේ දිරනවා

අපේ තිබුණ ශක්තිමත් ශරීරය කාලයා විසින් ටික ටික උදුරා ගනිමින් සිටිනවා. “ඉස්සර වගේ දැන් මොනවත් කරන්න බැහැ” නිතරම කියනවා. ගෙවී ගිය ශරීර ශක්තිය වමාරා නැවත නැවත තව එකෙකු හා කතා කරමින් අද අපි කරන්නෙත් මේ සිත සතුටු කිරීම පමණක් නොවේ ද?

තව ටික කාලයක් යද්දී විනාඩියක් දෙකක් අරගෙන හෙමින් සිරූවේ අතගාලා පුටුවක වාඩිවෙන්න සිදුවෙනවා. පුටුවෙන් නැගිටිද්දීත් කිසිම පැකිළීමක් නැතිව නැඟිට ගන්න මේ ශරීර ශක්තිය නැති වෙලා යනවා. කාගේ හරි උදව්වක් ලැබෙන තුරු අපි බලාගෙන ඉන්නවා.

ටික ටික ඇස් පෙනීම දුබල වෙනවා. රස නොදැනී යනවා. දෙයක් පැවසුවොත් “ ඒ දේ නැවත අහනවා. දැන් කියපු දේ දැන් මතක නැහැ. සියලු ඉන්ද්‍රියයන් අඩපණ වේගෙන එනවා. දරුවන්ගේ නොරුස්සන වචන අහන්න සිදු වෙනවා. ඒවා දරාගන්නත් වෙනවා. රූරා වැටෙන කඳුළු තමන්ට ම පිස ගන්නටත් සිදු වෙනවා.

මේ කය තරම් ආදරයෙන් රැක බලා ගන්නා වෙනත් දෙයක් නැති තරම්. වෙලාවට කවනවා. පොවනවා. සතපවනවා. ඉලීම්, පිරිමැදීම් ආදියෙන් පෝෂණය කරනවා. බොහොම පරිස්සම් කරනවා. එහෙම කයේ සිදුවෙන වෙනස අපට පෙනුණේ නැහැ. ඇයි එහෙම වුණේ.......? ඒ දේ හඳුනාගන්නට ඇයි බැරි වුණේ. ?

ඇත්ත නොපෙනෙන හැටි

මේ සිදුවීම බුද්ධ කාලයේ වුණේ. සුන්දර රූපයක් තිබූ සමිද්ද තෙරුන් වහන්සේ එදා තපෝදා නදියට උදේම වැඩම කොට ස්නානය කළා. සිරුරේ තෙත වියළවමින් ගං ඉවුරේ වැඩ සිටිද්දී එක් දෙව්දුවක් එතැනට පැමිණියා. තපෝදාව ආලෝකවත් කරගෙන එතැනට පැමිණ දෙව්දුව සමිද්ධ තෙරුන්ට මෙහෙම කිව්වා.

“පින්වත් භික්ෂුව කම් සැප නොවළඳා පිණ්ඩපාතය පමණක් වළඳනවා නේද? කම් සැපත් වළඳලා පිණ්ඩපාතයත් වැළඳුවොත් නරක ද? කම් සැපත් වළඳලා ම පිණ්ඩපාතයත් වළඳන්න. මේ වටිනා අවස්ථාව මඟහැර ගන්න එපා.”

සමිද්ධ තෙරුන් වහන්සේ මෙහෙම වදාළා. “අවස්ථාව" මට ඒක තේරෙන්නේ නෑ. කාලය ආශාවෙන් වැසුණාම ඇත්ත පෙනෙන්නේ නෑ. ඒ නිසාම කම්සැප වළඳන්නේ නැතිව පිණ්ඩපාත විතරක් වළඳනවා. මට මේ උතුම් අවස්ථාව ඉක්ම වන්න එපා.” (සමිද්ධ සූත්‍රය – සං. නි. 01)

අද අපට සිදු වූ දේයි, ඒ තෙරුන් වහන්සේ එදා පෙන්වා දුන්නේ. කාලය ආශාවෙන් වැහුණාම ඇත්ත පෙනෙන්නේ නැහැ.

ජීවිතයේ යථාර්ථය දවසින් දවස දිරායන, දවසින් දවස දුබල වන දෙයක්. එදත්, අදත් සිදු වන්නේ ඒ දේම යි. නමුත් අපට එය නොපෙනුනේ අපේ ජීවිත ආශාවන්ගෙන් වැහිලා තිබූ නිසයි. අපට අප ගැනත්, අපේ ජීවිතය හා බැඳුණු අනෙක් අය හා අනෙක් දේ ගැනත් තිබුණ හීනවලින් ජීවිතයේ ඇත්ත වැහිලා ගියා. අපි අපේක්ෂා සහිත වෙමින් සොයා යන්නේ ම ජරාවටත්, මරණයටත් අයිති දේ නොවේ ද? තමා උපදින ස්වභාවයෙන් සිට උපදින දේටත්, ජරාවට, පත්වෙන ස්වභාවයෙන් සිට ජරාවට පත්වෙන දේටත්, ලෙඩවෙන ස්වභාවයෙන් සිට ලෙඩවෙන දේටත්, මරණයට පත්වෙන ස්වභාවයේ සිට මරණයට පත්වන දේටත් ආශා කරනවා. එයම සොයනවා.

දුක තුළ ම සිට දුකට අයත් දේ සොයනවා. ඒ නිසාම තමාට සිදුවන දේ තමාට පෙනෙන්නේ නැහැ. මොහොතක් ජීවිතය දෙස නැවතී බලන්න. අපි වයසට ගිහිං. දිරා ගිහින් .දැන් මනුස්ස ලෝකයෙන් යන්න ළංවෙලා. දැන් තව උපතක් කරා යා යුතු වෙනවා. ඒ උපත සැපවත් උපතක් කරා ගෙන යන්න ඉලක්ක සම්පූර්ණ කර ගත්තා ද කියා අපි තනි තනිවම කල්පනා කළ යුතු වෙනවා.