උතුම් දළදා සමිඳු
පුද දුන්
අතීත රජ දවස
පෙරහර අසිරිය
සෝමවතිය රජමහා විහාරාධිපති
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ
ලේඛකාධිකාරි
පහමුණේ සුමංගල නා හිමි
සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරවීමේ දී පෙරහර
සම්බන්ධ වූ බව සඳහන් කර ඇත. එතැන් පටන් ලක්දිව පෙරහර ද ආරම්භ වන්නට ඇතයි සැලකේ.
ධර්‍මාශෝක අධිරාජයා ද පැලලුප්නුවර සිට බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය දක්වා මාර්ගය
සරසා පෙරහර පැවැත් වූ ආකාරයත් සඳහන්වේ.
දුටුගැමුණු රජතුමා ද ද්‍රෝණයක් ධාතූන් වහන්සේ ස්වර්ණමාලී මහසෑය තුළ නිදන් කරන
මොහොතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයම සියැසින් දැක අසීමිත බුද්ධාලම්භන
ප්‍රීතියට පත් වූ ආකාරය මහාවංශයේ සඳහන් වේ.
ඒ අනුවම පසුකාලීන කලාකරුවන් අනුරාධපුරයෙහි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළා නොයෙක්
පෙරහර ආදී උත්සව පැවැත් වූ ආකාරය ද සිතිය හැක. මේ අයුරින් පෙරහර බෞද්ධ සංස්කෘතියේ
අංගයක් බවට පත් විය.
අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩවසන වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන පෙරහර
සුවිශේෂී ය. එදා ගුහසීහ රජු මරණයට පත්වීමෙන් අනතුරුව හේමමලා දන්තකුමරු දෙපළ දළදා
වහන්සේ නොයෙක් උවදුරු මධ්‍යයේ ලංකාවට වැඩම කරවූහ. රා.ව. 301 දී කිත්සිරිමෙවන් රජුට
දළදා වහන්සේ භාරදීමෙන් අනතුරුව රජතුමාට ඇතිවූ සැකය දුරලමින් දළදා වහන්සේ අහසට පැන
නැඟ ප්‍රාතිහාර්යය පෑ ආකාරය දැකීමෙන් අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියට පත් රජතුමා දළදා
වහන්සේ රජ ගෙදරට වැඩමවා සිංහාසනයේ වඩා හිඳුවා නොයෙක් පුද පෙරහර පවත්වමින් මුළු
ලක්දිවම තුන්වතාවක් දළදා වහන්සේට පූජා කළ ආකාරය මහාවංසය ආදී ග්‍රන්ථයන් හි සඳහන්
වේ.
එතැන් පටන් අභයගිරියෙහි ද දළදා වහන්සේ වඩා හිඳුවමින් රාජ්‍ය සංකේතය බවට පත් කළහ.
සෑම රජ කෙනෙක් ම ස්වකීය මාලිගාවේ ම තබමින් පුද පූජා පවත්වමින් බුද්ධෝපස්ථානය කළ
ආකාරය සඳහන් වේ. අනුරාධපුර යුගයෙන් පසු පොළොන්නරු යුගයේ ද විජයබා, පරාක්‍රමබාහු හා
නිශ්ශංකමල්ල ආදී රජවරු ද ඒ ආකාරයෙන් ම දළදා වහන්සේ සඳහා පුද පෙරහර පැවැත් වූහ.
කාලිංග මාඝ චන්‍ද්‍රභාණු ආක්‍රමණ නිසා දඹදෙණියට රාජධානිය ගෙනගිය අතර, භික්‍ෂූන්
වහන්සේ ද දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ කොත්මලේ පුසුල්පිටිය සමීපයෙහි
සපුගහක සඟවා බුරුමයට ගියහ. 2 වන පරාක්‍රමබාහු රජතුමා ස්වකීය මාළිගාව සමීපටයහිම දළදා
මාළිගාවක් සාධා නොයෙක් පුද පූජා පැවැත් වීය.
පරසතුරු ආක්‍රමණ හා රාජ්‍ය තුළ ඇති වූ ගැටුම් නිසා දළදා වහන්සේ රැගෙන ගම්පොලට ද,
එයින් කෝට්ටේට ද ගෙනගිය අතර, සිතාවක රාජසිංහ රාජ්‍ය කාලය වන විට දළදා වහන්සේ
රත්නපුරය කුරුවිට දෙල්ගමුව රාජමහා විහාරයේ කුරහන්ගල යට සඟවා තබමින් රහසිගතව පුද
පූජා පැවැත් වීය.
පළමු රාජසිංහයන් නිසා ඇති වූ සම්බුද්ධ ශාසනයේ විනාශයත් නිසා එකදු උපසම්පදා
භික්‍ෂුවක්වත් නැති විය. ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ ද විනාශයට පත් විය. නැවත රා.ව.
1542 දී වික්‍රමබාහු රජතුමා කන්දඋඩරට සෙන්කඩගල රාජධානිය පිහිටුවාගෙන රජ ගේ සමීපයෙහි
දෙමහල් පෝය ගෙයක් බැඳවීය. ඒ සමීපයෙහි දාගැබෙහි පාත්‍රා ධාතූන් වහන්සේ නිදන් කොට
පෝයමලු විහාරය නමින් නම් තැබීය. ඒ අවට වෙහෙර විහාර 86 ක් සාදවා උපසම්පදා භික්‍ෂූන්
වහන්සේ 355 නමක් ඇති කොට ධර්‍මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධ ශාසනයෙහි
කටයුතු සැලැස් වීය. මේ පුවත මහාවංශයේ 92 පරිච්ඡේදයෙහි දැක්වේ.
පළමු විමලධර්මසූරිය රාජ්‍ය කාලයේ දී දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවා මාලිගාවක් සාදවා
එහි තැන්පත් කොට පෝයමළු විහාරයේ හා අස්ගිරි විහාරයේ භික්‍ෂූන් වැඩමවා පුදපූජා
පැවැත්වූ අකාරය ද මැනවින් සඳහන් වේ.
ධර්‍ම ශාස්ත්‍රීය අධ්‍යාපනය වැඩි දියුණු කළ වැලිවිට සරණංකර හිමියන් ඇතුළු මහා
විහාරයීය භික්‍ෂූන් වහන්සේ සියම් රටෙන් උපසම්පදාව වැඩම වූ උපාලි හිමියන් ඇතුළු
භික්‍ෂූන් වහන්සේත් සතර දේවාල පෙරහර බලන අවස්ථාවේ දී දළදා වහන්සේ උදෙසා ද මෙවන්
පෙරහරක් පැවැත්වීම සුදුසු යැයි යෝජනා කළහ.
ඒ අදහස් ද, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ඉදිරිපත් කළෙන් රජතුමා අසීමිත සතුටට පත්ව
පෙරහරක් සංවිධානය කරවා සතර දේවාල පෙරහරට පෙරටුව වීදි සංචාරය කිරීමට සැලැස් වීය.
දළදා වහන්සේ උදෙසා මෙවන් පෙරහරක් ක්‍රි.ව.112 දී ගජබා රජතුමා සොළීන් විසින්
පැහැරගෙන ගිය පාත්‍රා ධාතූන් වහන්සේ හා දේවාභරණත් සිංහලයන් 12000 ක් හා මැරූ අය
වෙනුවට ගෙනා සොළීන් 12000 යන 24000 ක් ගෙනවුත් පුද පෙරහැර පැවැත් වූ ආකාරය
පූජාවලිය, රාජාවලිය හා පැරකුම්බා සිරිතේ සඳහන් වේ.
එකී ගජබා රජතුමා විසින් ක්‍රි.ව. 112 දී සෝමාවතියේ පිහිටුවා ඇති සෙල්ලිපියේ සඳහන්
අයුරින් එම විජයග්‍රහණයෙන් සතුටු වූ භික්‍ෂූන් වහන්සේ “යුද්ධ ජයග්‍රාහක” යන ගෞරව
නාමය එකී රජතුමාට පිරිනැමූ ආකාරය එම සෙල්ලිපියේ සඳහන් විය. රජතුමා රාජකීය ඇළක්
කප්පවා එම ප්‍රදේශය මණිඅගිය හෙවත් සෝමවතී විහාරයට පිදූ බව සඳහන් වේ.
මේ අයුරින් වර්ෂ 1700 ක් පමණ කාලයක් මුළුල්ලෙහි පවත්වාගෙන ආ මෙම පෙරහර බ්‍රිතාන්‍ය
පාලකයන් නැවැත් වීය.
එකල දැඩි නියඟයක් ඇති විය. මෙයට හේතුව පෙරහර නොපැවැත් වීම නිසා යැයි භික්‍ෂූන්
වහන්සේ හා බෞද්ධ ජනතාව ප්‍රකාශ කළ බවත්, එසේ නම් පෙරහර පවත්වා වැසිවස්සන ලෙස
බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා අභියෝග කළේ ය. මල්වතු අස්ගිරි විහාරයීය භික්‍ෂූන්
වහන්සේත් බෞද්ධ පිරිසත් එකතුවී චාරිත්‍රානුකූලව පෙරහර පටන්ගෙන දෙවන දිනයේ ම දැඩි
නියඟය අවසන් කරමින් මහා වැසි ඇද හැලී මහා ගංවතුරක් ඇති වූ ආකාරය දළදා වතුර නම්
ග්‍රන්ථයේ සඳහන් වේ.
ඉංග්‍රීසීන්ට යටත් වීමෙන් පසු වසර කීපයක් පෙරහර නොපැවැත්වූ අතර, ක්‍රී.ව.1828 මැයි
29 වැනි දින සර් ඇඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමාගෙන් අවසර ලබාගත් රදලවරුන් විසින්
මුලපටන් ම පවත්වාගෙන ආ පැරැණි සම්ප්‍රදායනුකූලව ම පෙරහර පැවැත්වූ බව ඒ පිළිබඳ සඳහන්
විස්තරය තුළින් මනා අවබෝධයක් ලබා ගත හැක.
එම පෙරහරේ දී සංඝයා වහන්සේට වැඩ විසීමට දිග අඩි 239 හා පළලින් අඩි 60 ක මණ්ඩපයක් ද
තැනවූහ. ආණුඩකාරතුමා ඇතුලු ඉංගී‍්‍රසි මහත්වරුන්ට හිඳීමට දිග අඩි 30 හා පළල අඩි 08
ක් සහිත මණ්ඩපයක් තැනවීය. උඩ පාත දෙරට රඳලවරුන්ට සිටීමට දිග අඩි 100 ක් හා පළළ අඩි
30 ක් සහිත මණ්ඩපයක් ද පත්තිරිප්පුව ලග සාඳවා මණ්ඩප වටේ තොරන් 53 ක් බැඳ නොයෙක්
සැරසිලිවලින් අලංකාර කළහ. මහමලුවේ සතර කෝරළේ දිසාව, සත්කෝරළේ දිසාව, මාතලේ දිසාව
කොඩි හා ධජ පතාක නංවා සුදුවැලි ඉස සරසා වීදි ද සැරසූහ.
දර්ශනීය පෙරහරකින් ආණ්ඩුකාරතුමා මාලිගාවේ දළදා වහන්සේ වැඩවසන කුටියට පමුණුවා පෙරහරේ
වැඩමවන කරඬුව එතුමා අතට දී ගෙනවුත් සරසා ඇති ඇතාපිට රන්සිවිගෙහි තැන්පත් කරන ලදී.
ඊටපසු පල්ලෙ ගම්පහ නිලමේ සහ රදලවරුනුත් මලුවට අවුත් මහනිලමේ විසින් පෙරහර සූදානම්
කිරීමට උපදෙස් දුන් සැටි දැක්වේ. |