Print this Article


අසාධාරණයට වෛර කළත් විපාකය තමන්ට ම යි

අසාධාරණයට වෛර කළත් විපාකය තමන්ට ම යි

සමහර අවස්ථාවක කෙනෙක් අපේ යහපත වෙනුවෙන් දෙයක් කීවත් අපිට හිතෙන්නේ බැන්නා කියලා. ඒ දේ නැවත නැවත මෙනෙහි කරද්දී අපිට තේරෙන්නෙ නෑ හිතේ වෛරයක් පිහිටනවා කියලා. බද්ධ වෛරය කියන්නේ වෛරයට සිත බැඳෙනවා කියන එකයි.

වෛරී සිත බැඳුනට පස්සේ සිතේ ස්වභාවය අඳුනා ගන්න බෑ. ඒ සිත හඳුනා නොගත්තොත් අපිට ජීවත් වීමට වෙන්නේ අකුසල් ගොඩක් සමඟ. එවිට කුසලයට කුසලයක් උපදවන්න බැරිවෙනවා.

සමහර දෙනා වෛර බඳීනවා පුංචි දේටත්. සමහර දෙනා වෛර බඳීනවා ලොකු ලොකු දේට. පුංචි වේවා, විශාල වේවා යමක් කෙරෙහි සිතේ ඇතිවන වෛරය නම් යහපත පිණිස පවතින්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වෛරයට උපමාවක් වදාළා. ඒතමා ගසක සියලු සාරය උරා ගන්නේ ගසේ මුලයි. එහි කඳ, කොළ, පොතු, මුල්, ගෙඩි සියල්ලට ම ඒ සාරය අවශ්‍යයි. ඒ වගේ ම කෙනෙක් තුළ හට ගන්නා ක්‍රෝධය මුල් ඇදලා නම් ඔහුගෙ ක්‍රියාවේ වචනයේ සිතිවිලිවල තියෙන්නෙ ක්‍රෝධය පළිගැනීම නැමැති අකුසලයයි. කුසල් සිතක මාත්‍රයක්වත් ඔහු තුළ නැති බව ඒකාන්තයි.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සැවැත්නුවර එක් පුරුෂයෙක් ජීවත් වුණා. ඔහුගේ බිරිඳට දරුවන් නැති නිසා තවත් බිරිඳක් කැන්දාගෙන ආවා. ඇයට දරුවන් ලැබුණොත් දේපළ අයිති වේ යැයි ඉරිසියාවෙන් පළමු බිරිඳ දෙපාරක් ම දෙවැනි බිරිඳ ගේ කුස පිළිසිඳ ගත් දරුවන් ගබ්සා කර දැමීමට බෙහෙත් දුන්නා. තුන්වැනි දරුවාට බෙහෙත් දෙන විට දරුවා හොඳීන් වැඩිලා හිටියේ. ඒ දරුවත් සමඟ ම ඒ මව මරණයට පත්වුණා. ඒ අහිංසක මව මහා වේදනාවක් විඳ මරණයට පත්වුණා. ඇගේ මොනයම්වත් වරදක්, තිබුණේ නෑ. නිරපරාදේ දරුවන් තුන් දෙනත් ඇයත් මරණයට පත්වුණා.

සැබෑවට ම ඇයටයි අසාධාරණය සිදුවූයේ. මේ සසරේ අපට කිසි විට සාධාරණය නම් වන්නේ නෑ. සසර පුරාවට අප අසාධාරණයට ලක් වෙමින් අනන්ත දුක් විඳීමින් යා යුතුව පවතිනවා.

ඉතින් ඇගේ සිතේ වෛරයක් හටගත්තා. මම මැරිලා යක්ෂණියක් ව ඉපදී නුඹේ දරුවන් සහ නුඹ මරනවා කියලා හිත පිහිටුවා ගත්තා . මරණයට පත්වූ ඇය ඒ නිවසේ ම බැළලියක ව උපන්නා. පළමු බිරිඳගේ ස්වාමියා ඇය කළ දේ දැනගෙන පහර දුන්නා. එයින් ආබාධයට පත්ව ඇය මියගොස් එම නිවසේ ම කිකිළියක් ව ඉපදුණා.

බැළලිය, කිකිළිය දමන දමන බිත්තර කා දමනවා. කිකිළියත් කා දමන්න මාන බලනවා. ඉතිං කිකිළිය හිතනවා "මා දමන දමන බිත්තර කා දමන නුඹවත් නුඹගේ දරුවනුත් මට කන්න ලැබේවා" කියලා කිකිළිය මියගොස් දිවිදෙනකට දාව උපන්නා. බැළලිය මියගොස් මුව දෙනකට දාව උපන්නා. මුව දෙන දරුවන් වදන විට දිවිදෙන ඇගේ පැටවුන් කා දමනවා. මුවදෙන වෛරය පිහිටුවා ගත්තා මගේ දරුවන් කා දමන මැයවත් මැයගේ දරුවනුත් මට කන්න ලැබේවා" යැයි ප්‍රාර්ථනා කළා.

මුවදෙන යක්ෂ කුලයේ උපන්නා. දිවිදෙන මියගොස් සැවැත් නුවර කුල දුවක ව උපන්නා. ඇයට උපන් දරුවන් දෙපාරක් ම යක්ෂණිය විසින් කා දැමුවා. මේ සිද්ධි දාමයේ පළමුවෙන් දරුවන් සමඟ මරණයට පත් වූ අහිංසක මවයි මෙසේ යක්ෂණියක් ව උපන්නේ. ඉරිසියාවෙන් මත්වී ඇයත් දරුවනුත් මරා දැමූ දුෂ්ට කාන්තාව මිනිස් ලෝකයේ ඉපදී සිටිනවා. තුන්වැනි දරුවත් කා දමන්නට යද්දි තමයි ඒ දරුවා රැගෙන මව ජේතවනාරාමයට දිව ගියේ. එදා බුදු සමිඳුන්ගේ වදන් ඇසූ යක්ෂණිය වෛරය අත්හැර සැනසීමට පත් වුණා. සතර අපායෙන් මිදී ගිය ඔවුන් දෙදෙනා ම වෛරය නිසා ඇවිලී ගිය චිත්ත සන්තාන දහම් සිසිලසෙන් නිවා ගත්තා. නමුත් මෙසේ වෛරය හැරදා සැනසිල්ලට පත්වන්නට හැම දෙනාට ම අවස්ථාව ලැබෙන්නේ නෑ.

එක්තරා සිටු පුත්‍රයන් හතර දෙනෙක් හිටියා. ඔවුන් සල්ලාල ජීවිතයක් ගත කළේ. දවසක් මේ හතර දෙනාම එකතුව මුදල් දී ගණිකාවක් එක් දිනකට වෙන් කර ගත්තා. එක්තරා උයනකට රැගෙන ගියා. කාමයෙන් මත්වී දවස පුරාම හැසිරුණා. මිනිසුන්ගෙන් තොර උයන දකිද්දී ඔවුන්ට මෙවැනි අදහසක් ඇති වුණා. "ඇය ව මරා අප දුන් කහවණු සහ ඇගේ රන් පළඳනා පැහැර ගමු" කියා. හතර දෙනාම එයට එකඟ වුණා. කතිකා කරගත් දේ කාන්තාවට හොඳීන් ඇසුණා. ඇයට තරහ සිතක් හටගත්තා. අසරණ ඇය කල්පනා කළා මොවුන් කිසි ලජ්ජාවක් නැති අය යි. දවස පුරාම මා සමඟ සිට දැන් මා මරා දමන්නට සූදානම් වන්නේ. මරණයට පත්වෙද්දි ඇය සිතුවා මම යක්ෂණියක් ව ඉපදී මොවුන්ව මරනවා කියා හිතේ වෛරය පිහිටුවා ගත්තා. මරණයට පත්ව යක්ෂණියක් ව උපන් ඇය සියක් වතාවක් ආත්මවල දී ගව දෙනකට ආවේශ වී ඔවුන්ගේ දිවි තොර කළා. ඇත්තෙන් ම අසාධාරණය සිදුවූයේ ඇයටම යි. සසර පුරා නැවත නැවත අසාධාරණයට බඳුන් වූයෙත් ඇගේ හිතේ පිහිටුවා ගත් වෛරයට යි. දුස්සීල වූ මිනිසුන් හතර දෙනාත් සසරේ දිගටම පැමිණියා. ඈ බද්ධ වෛරය හිත තුළ පිහිටුවා ගෙන එද්දී ඔවුන් වරදට විපාක විඳීන අතරම කුසලයක සිත පිහිටුවා ගැනීමට වුණා. සාධාරණය , යුක්තිය ඉටුවිය යුත්තේ ඇයට යි. එනමුදු හොඳීන් විමසා බලන්න ඇය පිහිටුවාගත් වෛරය අවසන් වූයේ කොතැනින් ද? කියා සිතා බලන්න.

ක්‍රෝධය නමැති විෂ මූලය සිතේ පිහිටුවා ගත්තාට පස්සේ ඇය සතුටු වූයේ පළි ගැනීමෙන් ඇය මරා දැමුවේ ඇය අතවරයට ලක් වූයේ ඇයගේ ආභරණ පැහැර ගත්තේ එක් වතාවක් පමණ යි. එහෙත් වෛරය විසින් ඔවුන් සියක් වාරයක් මරා දැමුවා. ඇගේ වෛරය සංසිඳුනේ නැහැ. වෛරය කිසිදින වෛරයෙන් සංසිඳෙන්නේ නෑ. තම සිතේ පිහිටුවා ගත් වෛරය විසින් මෙවර මරා දැමුවේ කවරෙක් ද? සියලු කෙලෙසුන් ගෙවා දමා සැනසිල්ලට පත් වූ පරම පිවිතුරු හද මඬලක් දරා වැඩසිටින බාහිය නම් උත්තම මහරහතන් වහන්සේ යි. සිත පිහිටුවාගත් වෛරය ඇයටත් නොදැනීම කල්පයක් පුරාම දුක් විඳවන ආනන්තරීය පාප කර්මයක් කරා ඇයව ගෙන ගියා

වෛරය කියන දේ මොන ආකාරයකින් විමසා බැලූව ද එය විෂම යි. මේ සසරේ නිතර ම පවතින්නේ අසාධාරණය පමණ යි. ඒ නිසා ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත පහදවා ගෙන නිසැක බවට පත් වෙන තුරුම වරදට සමාව ගැනීම කළ යුතුයි. වෛරය සිතේ පිහිටුවා ගෙන නො සිට වරදට සමාව දීම කළ යුතුයි. යමෙක් තව කෙනෙක් ගැන වෛරය පිහිටුවා ගනී නම් පළමුව අ සාධාරණය වන්නේ තමාට ම යි. ඔහු අන් අය නැසීමට පෙර තමා වම නසා ගන්නවා