Print this Article


උතුම් ධාතුන් වහන්සේ සැදැහැ සිතින් නමදිමු

උතුම් ධාතුන් වහන්සේ සැදැහැ සිතින් නමදිමු

ධාතූන් වහන්සේලා ශාරීරික ධාතු, පාරිභෝගික ධාතු හා උද්දේසික ධාතු යනුවෙන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැකි ය. මින් ශාරීරික ධාතුන් වහන්සේ යනු ලොව්තුරා බුදුරදුන්ගේ කෙස්, දත්, අස්ථි, නිය ආදී ශරීර කොටස් ය. බුදුරදුන් පරිභෝග කළ පාත්‍ර, සිවුරු, ජල සාටක, පීඨාදිය පාරිභෝගික ධාතූහු වෙති.

සමන්තකූට පර්වත මස්තකයේ පිහිටා ඇති ශ්‍රී පාද පද්මය ද පාරිභෝගික ධාතුවකි. මීට අමතරව බුදුරදුන් අධිෂ්ඨාන බලයෙන් පිහිට වූ තවත් ශ්‍රී පාද තුනක් පිළිබඳව, පුරාවෘත්ත හා ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. ඒවා නර්මදා නදී තීරයේත්, සච්චබද්ධ පර්වතයේත් සුනාපරන්ත ජනපදයේ (අරාබියේ) මකුලකාරාම මහා විහාරයේත් (වර්තමානයේ මක්කම) පිහිටා ඇත.

ලොව්තුරා බුදුරදුන්ට උතුම් වූ බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමට පිහිටාධාර වූ විජය ශ්‍රී බෝධි රාජයා ද, ලක්දිව මහමෙව්නාවේ රෝපණය කොට ඇති එහි දක්ෂිණ ශාඛාව ද, ඉන්දියාවේ සැවැත්නුවර දෙව්රමෙහි රෝපණය කොට ඇති ආනන්ද බෝධිය ද පාරිභෝගික ධාතු කොටසට ම අයත් වේ. බුදුරජාණන් වහන්සේ උදෙසා සකස් කොට ඇති ප්‍රතිමාදිය උද්දේසික ධාතු කොටසට අයත් වේ.

ලෝකයේ බොහෝ රටවල සර්වඥ ධාතූන් වහන්සේ විසිරී පැවතුණ ද ඉන් බොහෝ ධාතුන් වහන්සේ ප්‍රමාණයක් වැඩ සිටින්නේ අප ශ්‍රී ලංකා ධරණී තලයේ වීම ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අමන්දානන්දයට හේතු විය යුතු ය. එමතු නොව සාරිපුත්ත, මෞද්ගල්‍යායන, මහාකාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා කිහිප නමකගේ ශාරීරික ධාතූහු ද ලංකාවේ වැඩ සිටිති.

ධාතු යන පදය දැරීම් අර්ථයේ යෙදෙන අතර මෙහි කුමක් දරා ද යත්? පූජනීයත්වය, විචිත්‍රත්වය, ශ්‍රේෂ්ඨ තත්ත්වය දැරීම ධාතු නම් වේ. තිලොවට ම එකම අසහාය නායක වූ ලොව්තුරා බුදුරදුන්ගේ උතුම් වූ ශ්‍රී ශාරීරික ධාතු වන්දනා මාන කිරීම ලෝක සත්ත්වයාට මෙලොව පරලොව අභිවෘද්ධිය සලසා ගත හැකි යනු ඒකාන්ත සත්‍යයකි. එහි කිසිදු සැකයක් තබා නොගත යුතු ය.

මහාවංශ වැනි ලක්දිව ඓතිහාසික මූලාශ්‍රය පරීක්ෂා කිරීමේ දී පෙනී යනුයේ දුරාතීතයේ පටන් ලක්දිව වැඩ සිටි භික්‍ෂූන් වහන්සේ, රාජ රාජමහාමාත්‍යාදීන් මෙන් ම සාමාන්‍ය ජනතාව ද ධාතු වන්දනාව කෙරෙහි ඉමහත් සැලකිල්ලක් දක්වා ඇති බවයි. මහාවංශයේ සඳහන් වන අන්දමට වරක් මිහිදු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුට පවසා ඇත්තේ හුඟ දවසකින් බුදුරදුන් නොදුටු බවයි.

ඒ අවස්ථාවේ දී විස්මයට පත් මහරජු ‘බුදුරදුන් පිරිනිවි ඇති හෙයින් කෙසේ නම් දකිම් ද’? යනුවෙන් විමසා ඇත. එවිට මිහිඳු හිමියන් පවසා ඇත්තේ “ධාතූන් වහන්සේ දුටු කල්හි බුදුරජාණන් වහන්සේ දුටුවා නම් වේ” යනුවෙනි. දීර්ඝායුෂ ඇති බුදුවරුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කළ කල්හි ධාතු නොවිසිරී රන් කඳක් මෙන් ඒකඝනව පවතී.

ඊට හේතුව එවැනි බුද්ධ ශාසනයක දී බොහෝ පිරිසකට ඉතා සුව සේ නිර්වාණාධිගමය කිරීමට හැකි වීමයි. මෙතෙක් ලොව පහළ වූ පස්විසි බුදුවරුන් අතරින් සොළොස් නමකගේ ම ශ්‍රී දේහයට එසේ සිදු වී ඇත. මෙම මහා භද්‍ර කල්පයේ සිව්වැනිව ලොව පහළ වූ අප තථාගත ගෞතම බුදුරදුන් අල්ප ආයු ඇති හෙයින් පිරිනිවන් පෑමට පෙර “මාගේ ශාසනය තවමත් සෑම තැනක ම

පැතිරී නැත. බොහෝ සත්ත්වයන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසු ශාරීරික ධාතූන් ගෙන ස්තූප කරවා වන්දනාමාන කොට මරණින් පසු සුගතිගාමී වන්නේ ය”යි සිතා ධාතු විසිරීමට අදිටන් කළ සේක.

ඒ අනුව ලලාට ධාතුව, අකු ධාතු දෙක, සතර දළදාවන් යන මෙම ධාතු සත හැර ඉතිරි සියලු අස්ථි ධාතුන් වහන්සේ කුඩා කුඩා කොටස්වලට බෙදී වෙන් වී ගියහ. ඒවා ප්‍රමාණයෙන් අබ ඇටයක් තරම් වන අතර දීප්තියෙන් මුතුවන් පැහයෙන් යුක්ත වේ.

තථාගත ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ධාතූන් වහන්සේ ලබා ගැනීමට කුසිනාරා නුවර මල්ල රජදරුවෝ, විශාලා මහනුවර ලිච්ඡවී රජදරුවෝ, කිඹුල්වත්පුර ශාක්‍යයෝ, අල්ලකප්පරට බුලයෝ, රාම ග්‍රාමයේ කෝලියෝ, වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණයා හා පාවා නුවරවැසි මල්ල රජදරුවෝ ඉදිරිපත් වූ අතර පසුව මෙය කෝලාහලයක් බවට පත්විය.

ඉන්පසු එම කෝලාහලය සන්සිඳුවා ද්‍රෝණ බමුණා සියලු දෙනාට ම සම සේ ධාතු බෙදා දීමට ඉදිරිපත් විය.

ඔහු විසින් ධාතු බෙදා දෙන ලදුව ඒවා ලබා ගත් ඒ සියල්ලෝ ම තම තමන්ගේ නගරවලට ගෙන ගොස් ධාතුන් වහන්සේ තැන්පත් කොට ස්තූප ඉදි කොට වන්දනාමාන කළහ.

පසුව මහාකාශ්‍යප මහරහතන් වහන්සේට ධ්‍යානයට සමවැදී මත්තෙහි ශාසනයට සිදුවන සතුරු ආක්‍රමණ දැක ඒ හේතුවෙන් ධාතුන් වහන්සේ වන විනාශය දැක ඒ ඒ තැන්වල ඉදි කොට තිබූ ස්තූපවල ධාතු කොටසක් පමණක් ඉතිරි කොට අනෙක් සියලුම ධාතු ඍද්ධි බලයෙන් ලබාගෙන ඒවා සුරක්ෂිතව තැන්පත් කොට ආරක්ෂාව ද සපයා තැබූහ.

පසුව ධර්මාශෝක මහාධිරාජයා ධාතුන් වහන්සේ නැවතත් ලබාගෙන දඹදිව කර වූ අසූහාරදහසක් වෙහෙර විහාරයන්හි ධාතුන් වහන්සේ තැන්පත් කළ අතර, වරින් වර ලක්දිවට ද ඉන් බොහෝ ධාතුන් වහන්සේ ප්‍රමාණයක් වැඩම කරවූහ. මුළු ලක්දිවටම සිළුමිණක් බඳු වූ රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කොට ඇති බව ථූපවංසය. මහාවංසය වැනි මූලාශ්‍රයන්හි පැහැදිලිව ම දක්වා ඇත.

නොවිසිරුණු ධාතු අතරින් ලලාට ධාතුන් වහන්සේ ප්‍රමාණයෙන් විශාල ම ධාතුන් වහන්සේයි. ධාතුන් වහන්සේ බෙදීමේ දී ලලාට ධාතුව මල්ල රජ දරුවන්ගේ ධාතු කොටසට අයත් වූ අතර මහාවංශයේ දැක්වෙන අන්දමට පසුව බුදුරදුන් ජීවමාන සමයෙහි ම “මාගේ ලලාට ධාතුව ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිටුවන්නැ”යි කර තිබූ අනුදැනීමට අනුව මහකසුප් මහරහත් හිමියෝ එය මල්ල රජ දරුවන්ගෙන් ලබා ගෙන එය සද්ධිවිහාරික නන්ද හිමියන්ට භාර කොට ඇත.

ඉන්පසු මෙය දඹදිව ආරක්ෂිතව තිබී පසුව මහානාග රජු දවස මහාදේව මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කර වූහ. ලක්දිව රජදරුවන් විසින් මැනවින් ආරක්ෂා කරන ලදුව පසුව කාවන්තිස්ස රජු දවස බුදුරදුන්ගේ ශ්‍රී ශරීරයේ ප්‍රමාණයට සත් රුවනින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් කරවා එහි නළල් තලයේ ලලාට ධාතුව තැන්පත් කොට එම බුද්ධ ප්‍රතිමාව නිදන් කොට සේරුවිල මංගල මහා සෑයේ තැන්පත් කොට ඇත.

දකුණු අකු ධාතුන් වහන්සේ මුලින් තව්තිසා දෙව්ලොව වැඩි සිටි අතර පසුව මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ ඍද්ධියෙන් තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කොට ශක්‍රදේවේන්ද්‍රයාගෙන් එය ලබාගෙන දේවානම්පියතිස්ස රජුට භාර කළ අතර පසුව එය තැන්පත් කොට අනුරාධපුරයේ සෑයක් කළ අතර එය ථූපාරාම මහා සෑය ලෙස හැඳීන්වේ.

මිහින්දාගමනයෙන් පසුව ලක්දිව ඉදි වූ පළමු සෑය ද මෙය වේ. වම් අකු ධාතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩ සිටින බව බුද්ධවංස පාළියේ සඳහන් වන අතර ඊට වැඩි තොරතුරක් එහි ඇතුළත් නොවේ. සතර දළදා අතරින් දකුණු යටි දළදාවහන්සේ පොළොන්නරුවේ සෝමවතී සෑයේ ද, වම් යටි දළදාවහන්සේ ශ්‍රී සෙංකඩගලපුර උතුම් වූ දළදා මන්දිරයේ ද තැන්පත් කොට ඇත.

තවත් දළදාවක් තව්තිසා දිව්‍ය ලෝකයේ සිළුමිණිසෑයේ තැන්පත් කොට ඇති අතර, අනෙක් දළදාවහන්සේ ධාතු බෙදා දීමේ උත්සවයට ගන්ධාරයෙන් (පකිස්ථානය) පැමිණි මහානුභාව සම්පන්න පුද්ගලයකුගේ අතට පත්ව ගන්ධාරයට ගෙන ගොස් ඇති අතර වර්තමානයේ එය කොහේ ඇත්දැයි වැඩිදුර තොරතුරක් මූලාශ්‍රවල සඳහන් නොවේ.

නොවිසිරුණු මේ සප්ත ධාතූන් වහන්සේට අමතරව බුදුරදුන්ගේ අනෙක් තිස් හයක් වූ දළදාවන් ද, කේස ධාතුන් වහන්සේ ද ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ඇතුළු රෝම ධාතූන් වහන්සේ ද තථාගත ශ්‍රී දේහයට ගිනි දැල්වීමට පෙර මහානුභාව සම්පන්න දෙවියන් විසින් ගත් බව සඳහන් වේ. ඒ පිළිබඳ සවිස්තර තොරතුරු මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.

අප ගෞතම බුදුරදුන්ගේ මේ බුද්ධ ශාසනය විනාශ වීමට මත්තෙන් නොයෙක් රටවල විසිරී ඇති සියලු ධාතුන් වහන්සේ ඒකරාශී වී දඹදිව වජ්‍රාසනය අසල දී නිර්මිත බුදුරුවක් නිර්මාණය වී සියලු ධාතූහු අතුදහන් වෙති. එය ‘ධාතුපරිනිර්වාණය’ ලෙස හැඳීන්වේ.