Print this Article


අල්ප සැපය නම් වූ මුළාවෙන් මිදෙන්නට වීරිය වඩන්න

අල්ප සැපය නම් වූ මුළාවෙන් මිදෙන්නට වීරිය වඩන්න

තමන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රාවකයා වෙත දේශනා කිරීමේ දී තථාගතයන් වහන්සේ අනුගමනය කළ පිළිවෙත පිළිවෙළ කතා නම් වේ. එම පිළිවෙළ කථාවන්හි පළමුවැන්න දාන කතාව යි. ඇසළ පුර අටවක පෝදා (20) අපි ඒ ගැන කතා කළෙමු.

පිළිවෙළ කථාවේ දෙවැන්න ශීල කථාව යි. ශීලය නම් ඉන්ද්‍රිය සංවරය යි. ඉන්ද්‍රිය සංවරය නම් කය වචනය හික්මවා ගැනීම යි. අල්ප සැපය නමැති මුළාවෙන් බේරා ගැනීමට වීර්යය කිරීමයි.

ශීල සමදානය මනාව සිදු කළ හැකි දන් දෙන අයට ය. ජීවිතයේ රැකවරණය, ආරක්ෂාව පතා අපි ආරක්ෂිත තැන් සොයමු. ඒ ආරක්ෂාව ලැබෙන හොඳම තැන ශීලය යි. ශීලයෙහි පිහිටා සිටින්නේ එය ආරක්ෂා ස්ථානයකි.

ශීලයෙහි අරමුණ නම් රකින්නා හට පිහිට ලබා දීමයි. ශීලයෙහි පිහිටා සිටින්නේ, පහසු ස්ථානයක (බැඳීම් නැති) සිටින්නා වැනි ය. ශීලයෙහි පිහිටා සිටින්නේ, අව්, වැසි, සුළං ආදියෙන් ආරක්ෂා වන නිහඬ ලෙනක සිටින්නා වැනි ය. ශීලය ආරක්ෂා කිරීම මෙලොවට හා පරලොවට යහපතකි.

“මහණෙනි, ශීලය මාගේ වංශය”යි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ශීලයෙහි සංවරව පිඬු සිඟා වැඩි බුදුරජාණන් වහන්සේ දුටු බිම්බිසාර රජතුමා හා සුද්දෝදන රජු කළ විමසීමකට පිළිතුරු දෙන්නේ, මහරජ, ඒ ඔබේ රාජ වංශය යි. මේ මගේ බුද්ධ වංශය යි” යනුවෙන් දේශනා කළ සේක. බුදුරජාණන් වහන්සේ ශීලයෙහි අනුසස් දේශනා කරන්නේ, “මහණෙනි, මා තිරිසන් ආත්මභව ලබා සිටියදී සංඛපාල නාගරාජව, භූරිදත්ත නා රජව, වම්ප්‍යෙය නම් නාගරාජ කාලයෙහි, ශීලව නාග රාජව සිටියදී, මාතුපෝෂක හස්තිරාජ කාලයෙහි ඡද්න්ත හස්තිරාජ කාලයෙහි යන නොයෙක් ආත්ම භාවයන් හි ශීලය පිරුවෙමි. මෙලොව පරලොව සැප අතරෙන් ශීලය හා සමාන සැපතක් තවත් නැත. යනුවෙනි.

එදා රජව සිටි බොහෝ රජවරු, රාජ කුමාරවරු හා සිටුවරු පැවිදිව ශීලයෙහි පිහිටීමෙන් පසු රජ යහනට, සිටු යහනට වඩා සැපෙන් ගල්තලාවේ, ආරණ්‍යයේ, ලෙන් තුළ හා වනයේ සැතපෙන බව උදාන වාක්‍ය දේශනා කර ඇත.

ශීලාලංකාරය සමාන අලංකාරයක් වෙනත් නැත. නොපැහැදුණ අය පැහැදෙන ලෙසත්, පැහැදුණු අය වඩාත් පහදින ලෙසත් හැසිරීමට බුද්ධානුශාසනාව වූයේ භික්ෂූන් වහන්සේට සිල්වත්කම අලංකාරයක් සේ සලකමිනි.

ශීලය මලක් නම්, ඒ මල හා සමාන වෙනත් මලක් නැත. සිල් සුවඳ සමාන සුවඳක් නැත. තුවරලා සමන් හා සඳුන් සුවඳ යටි සුළඟට පමණි. සිල් සුවඳ උඩු සුළඟට ද හමයි. දස දිග පතුරුවයි. සිල් නමැති සුවඳ ආලේප වූයේ ලෝ වැස්සෝ ද, දෙවියෝ ද, තෘප්තියෙන් බලන්නේ මුත් සෑහීමකට පත් නොවෙති.

මේ, ශීලය දිව්‍ය ලෝක සම්පත් ලබා දෙන්නේ ය. පිළිවෙළ කථාහි තෙවැන්න සග්ග කථා ය. සග්ග කථා යනු දිව්‍ය ලෝක සම්පත් කථා ය.ශීලය නිසාම දෙව්ලොව සැප ලබන්නේ ය. මේ දෙව්ලොව සම්පත් ඉෂ්ටය. එනම් පි‍්‍රය මනාප, රුචි ඇති තැනකි.

මේ ස්වර්ගයෙහි නිතර ඇත්තේ ක්‍රීඩාවෝ ය. වරක් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා ගිය සක්දෙවිඳු කෙළින්ම ගියේ උයන් ක්‍රීඩාවට ය. පසුපස ගිය මුගලන් හිමි සක් දෙවිඳුට ධර්මය සිහි කළේ සත්මහල් වෛජයන්ති ප්‍රාසාදය මහපටැඟිල්ලෙන් සෙළවීමෙන් පසුව ය.

ස්වර්ග සම්පත්ති කෙතෙක් දැයි දේශනාවෙන් නිමකළ නොහැකි ය.

මෙසේ බුදුරජාණන් වහන්සේ අලංකාර කොට දිව්‍ය ලෝක සම්පත් වදාළ නමුත් ස්වර්ණාභරණයෙන් සැරසූ ඇතාගේ සොඬ කපා හෙළන්නා සේ මේ ස්වර්ගය ද අනිත්‍ය ය, අස්ථිරය ආදී වශයෙන් දේශනා කොට මේ ස්ථානය පිළිබඳ බලවත් රාගය නොකට යුතු යැයි දැක්වීම පිණිස මේ සියලු කම් සැප අල්ප වූ ආශ්වාද ඇත්තේ ය. බොහෝ දුක් ඇත්තේ ය. බොහෝ උපායාස (දැඩි ශෝකය) ඇත්තේ ය. මෙහි බොහෝ ආදීනව ඇත්තේ යැයි මේ ආදී ක්‍රමයෙන් කාමයන්ගේ ආදීනව ද, පහත් බව ද, කිළිටි සහිත බව ද දේශනා කළ සේක.

ස්වර්ග සම්පත් බුද්ධ ශ්‍රාවකයකු ලබනුයේ නම් සෝවාන්, සකෘදාගාමී, ඵලයක් සහිතව ලැබීම බුද්ධ දේශනාවට අනුගත ය. එවන් උපතක් සම්බෝධි පරායන එනම් නියතව නිවනට සුදුසුකම් ලැබීම වූ හෙයින් ම ය.

මීළඟට එන්නේ ආදීනව කථා ය. ආදීනව නම් දෝෂය යි. පහත් බව යි. ළාමක බව යි. කාමයෝ සත්ත්වයා කිළිටි කරයි. කාමයෙහි හැසිරීම නිසා ලැබෙන අල්ප ආශ්වාදයනට තැති ගන්වන ආදීනව ලැබෙන අයුරු දේශනා කළ සේක.

මනුෂ්‍ය ලෝකයෙත්, දිව්‍ය ලෝකයන්හි හා සතර අපායන්හිත් කම් සැප ඇති බව බුදුදහම පිළිගනී. අපිදූ ස්වල්ප ආස්වාද ඇති කම් සැප සැපක් සේ සිතන්නාක් මෙන්, සතර අපායන්හි නිරි සත්ත්වයෝ ද තමාට හුරු වූ දුක් රැසක් සැප සේ ගෙන සතර අපායෙන් පවා මිදීමට අකැමැත්තෝ ය. එනිසා සතර අපාය ද කාම ලෝකයන්හිලා ගැනේ.

මේ ආශ්වාදය බොළඳ හා ළාමක වූවක් බවත්, අස්ථීර හා අල්ප බවත් දේශනා කරනු ලබන්නේ මෙසේ ය.

මනුලොව පංච ඉන්ද්‍රියයන් පිනවීම හා දෙව්ලොව දෙව් සැප යනු කම් සැප විඳීම ය. කාමයෝ ඇට සැකිල්ලකට බඳු උපමා වේ. (මස්, ලේ නැති ඇට පමණි) කාමයෝ මස් වැදැල්ලක් බඳු ය. ලත් ලත් තැන ලගී කාමයෝ තණ හුලක් බඳු ය. එනම් උඩු සුළඟට අල්ලාගෙන යන වියළි තණ යොදා සෑදූ දැවෙන පන්දමක් බඳු ය.

කාමයෝ ගිනි අඟුරු වළකට බඳු උපමා ඇත. දැවෙන ගිනි අඟුරු වලක් දෑතින් හා දෙපයින් දෙදෙනකු ඔසවා අල්ලා සිටින්නාක් මෙනි.

කාමයෝ සිහිනයක් බඳු ය. සිහිනෙන් දුටු සම්පත් කිසිවක් අවධි වූ විට නැත. කාමයෝ පිරුවටයක් බඳු ය. ණයට, කුලියට ඉල්ලා ගත් පිරුවටය ආපසු දිය යුතු ය. කාමයෝ රුක් පල බඳු ය. ඉදුණු පලය කොයි වේලේ වැටේ දැයි කිව නොහැක.

මෙසේ දාන කථා, ශීල කථා හා සග්ග කථා දේශනා කළ තථාගතයන් වහන්සේ මෙසේ ද දේශනා කළ සේක. යම් සේ අල්පමාත්‍ර අසුචී දුගඳ වේ ද මහණෙනි, මම භව ප්‍රතිසන්ධිය ඇඟිලිපොලන කල් (ඇඟිල්ලෙන් ඇඟිල්ල ගසන කාලයක්) පමණකුදු වර්ණනා නොකරමි. මුත්‍රා, කෙළ, සැරව, ලේ මදකදු දුගඳ වේ ද එසේ මම භවය වර්ණනා නොකරමි. එහෙයින් නෙක්ඛම්ම හා සාමුක්කංසික දේශනාවන් ම බුදුදහම වෙති. අනෙකුත් කථා සියල්ල ධර්මයට නැඹුරු කිරීමේ පරමාර්ථ කොටගත් සම්මුති දේශනා වේ.

පස්වැන්න නෙක්ඛම්ම කථා යි. එනම් කාමයෙන් වෙන්වීමේ කථාව යි. ඉහත දැක් වූ කාමයන්ගේ අල්ප ආස්වාදයෝ නිසා සත්ත්වයෝ සසර පුරා ඉපදෙමින්, මියයමින් දීර්ඝ ගමනක නිරතව සිටින හෙයින් කාමයන්ගෙන් වෙන්ව සිටීමේ ආනිශංස දේශනාව නෙක්ඛම්ම කථා නම් වේ.

මේ ලෝකයෙහි කිසිදු කාම වස්තුවක් නැත. කිසියම් වස්තුවක් කාම බවට පත්වනුයේ, වස්තුකාම බවට පත්කරගනුයේ තම තමාගේ සිතින් ම ය. මේ බව යමෙක් දනි ද, දකී ද, ඔහු කාම වස්තූන්ගෙන් වෙන්ව යාම මේ නික්මීම යි. අනාගාමී මාර්ගයේ දී කාම රාගයෙන් මුළුමනින් මිදේ.

සයවැන්න සාමුක්කංසික (උත්කෘෂ්ට) ධම්ම දේශනාව යි. එනම් තමා ම මතු කොටගත් ධර්මය දෙසීම යි. ‘සාමුක්කංසික’ යනු තමා ම මතු කොට ගත යුතු, තමා ම ඇති කර ගත යුතු, ස්වයම්භූ ඥානයෙන් දක්නා ලද, දැකිය යුතු, අනුන්ට අසාධාරණ වූ ධම්මතාවය සඳහා ශාස්තෘන් වහන්සේ අනුගාමිකයාට කරන අනුශාසනාව යි. අවවාදය යි.

මේ කුමක් ද? ආර්ය සත්‍ය දේශනාව යි. ඒ, දුක්ඛ, සමුදය, නිරෝධ හා මග්ග නම් වූ චතුරාර්ය සත්‍යය දේශනාව යි. පටිච්චසමුප්පාද හේතු ප්‍රත්‍යය) දේශනාව යි.

නිවන යනු කුමක්ද? සියල්ල අත් හැරියේ නිවන යි. මෙහි පුද්ගල, සත්ත්ව හෝ සංස්කාර නැත. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සියල්ල සංස්කාරයි. සංස්කාරයන්ගේ නිත්‍ය ස්වභාවය වෙනස්වීමයි. හටගැන්මත්, විනාශයත් හේතු ප්‍රත්‍ය වන හෙයින් හට ගැන්මත් විනාශයත් අතර ඇත්තේ වෙනස්වීමයි. මෙසේ හටගැන්මක්, වෙනස්වීමක්, හා විනාශයක් යන සංඛත ධර්මතා නැත්තේ නිවනෙහි ය. නිවන අසංඛතය. නිවනෙහි හේතු ප්‍රත්‍ය හටගැන්මක් නැත. හට ගැන්මක් නැති තැන පැවත්මක් හෝ වෙනස්වීමක් නැත.

හටගැන්මක් නැත්තේ විනාශයක් හෝ මරණයක් නැත. මේ නිවන යි. අල්ලා ගැනීම දුකට හේතු වේ. අත්හැරීම සැපයට හේතුවේ. සුඛය නම් අත්හැරීම යි. චේතනා මුල්කොටගත් කර්ම (ක්‍රියා) නූපදවා ගන්නේ ඊළඟ භව උප්පත්තිය සඳහා විඤ්ඤාණයක් නොමැත. විඤ්ඤාණය නැත්තේ පුනර්භවයක් නැත. නිවීගිය පහන් දැල්ල සේ භවකිස නිම කරන අයුරු කියා දෙන දේශනාව මේ සාමුක්කංසික දේශනාව යි.