Print this Article


තමන් නොදැවී අනුන්ට ද සිසිලක් වන හැටි

තමන් නොදැවී අනුන්ට ද සිසිලක් වන හැටි

අප කැමැති දේ සේ ම අකැමැති දේ ද වටපිටාවේ සිදුවේ. විටෙක කෙනකුගේ වචන සේ ම ක්‍රියාවන් ද අපගේ සිත දවන්නට තරම් බලවත් ය. එපමණක් නොවේ අපගේ සිතිවිලි, වචන හැසිරීම් නිසා අනුන් ද එසේ දැවෙන්නට පුළුවන. තැවෙන්නට පුළුවන.

එහෙත් අප නිසා අනුන් නොදැවිය යුතු සේ ම අනුන් නිසා අප ද නොතැවිය යුතු ය. නොදැවිය යුතු ය. පළමුව තමන් තමන්ට මෙත් වඩන්න. අනුන්ට ද මෙත් වඩන්න. ඒ සඳහා පළමුව තමන් සෘජු ප්‍රතිපත්තියක පිහිටිය යුතු ම ය. තමන්, තමන්ට අවංකව, අනුන්ට ද අවංක විය යුතු ය. මැනවින් අවංක විය යුතු ය. එවිට තමන්ගේ සිතිවිලි නිවෙනු ඇත. වචන ද, හැසිරීම් ද නිවෙනු ඇත. ඒ අනුව තමන් නිසා අනුන් ද නොතැවෙනු ඇත.

තරහවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් පිරුණු සිතක් මෙත් සිසිලෙන් නිවා සනසන්නට මෛත්‍රී භාවනාව මාහැඟි ඔසුවකි. මෙත් වඩන්නකු කෙරෙහි පුරුදු පුහුණු කළ යුතු ගුණ සමුදායකි. කරණීය මෙත්ත සූත්‍රයේ ඉගැන්වෙන ‘උජු ච සුජූච’ ආදී ගුණ ඉන් ප්‍රධාන ය. එනම් අවංක වීම ය. මැනවින් අවංක වීමය.

අවංක වූ පුද්ගලයා සාධාරණයට මිස අසාධාරණයට පක්ෂ නොවේ. ඇත්තට ගරු කරයි. සත්‍ය නොසඟවයි. බුද්ධියෙන් කරුණු දෙස බලනවා මිස කෙනෙක් කී දේ අසා තීරණ නොගනියි. ඇසෙන දේ ත්, දකින දේ ත් හමුවේ ඉක්මන් තීරණවලට එළඹෙන්නේ නැත. අසන දකින දේ වුව ද ඇතැම්විට වරදින්නට, වරදවා තේරුම් ගන්නට ඉඩ ඇති බැවිනි.

සෘජු ගුණ ඇති කෙනෙක් වේ නම්, ඔහු යමක් සිතුවේ ද එයම කියන්නේ ය. යමක් කීවේ ද එය ම කරන්නේ ය. ඇත්තට සමීප විය හැකි වන්නේ අවංක වූ තරමට ය. එහෙත් ඇතැම් උඩු යටිකුරු වූ සිතැඟි ඇත්තෝ සත්‍ය දේ උඩුයටිකුරු කරනු පෙනේ. කෙනෙක් නිවැරැදිකරුවන් වැරැදිකරුවන් කරති. වැරැදිකරුවන් නිවැරැදි අය කරති. වැරැදි වැඩ අනුමත කරති. හරි දේ යටපත් කරති. අවංක අයට ගරහති. වංක වූ අයම අගයති. සමාජයේ නොසතුට, අසහනය, පීඩනය වැඩි වන්නට මේ තත්ත්වය ප්‍රබල සාධකයකි.

තමන් උපමාවට ගනිමින් අනුන් ගැන ද සිතනවා නම් කිසිවෙක් ලෝකයට වංක වන්නේ නැත. හෙතෙම පළමුව තමන්ට අවංක වෙයි. දෙවනුව ලෝකයට ද අවංක වෙයි. එවැනි පුද්ගලයාගේ සිතිවිලි පිරිසුදු ය. ක්‍රියාවන් ද පිරිසුදු ය. සමාජයට ද සහනශීලී ය.

මේ සමාජය විවිධ ය. විෂම ය. එහෙයින් ම බොහෝ රැවටීම්වලට හසුවිය හැකි ය. එම රැවටීම ම ජීවිතය කනගාටුදායක තත්ත්වයකට පත්කළ හැකි ය. එහෙයින් ජීවත්වීමේ දී අවංක පුද්ගලයාත්, වංක පුද්ගලයාත් හඳුනා ගැනීම වැදගත් ය.

සිඟාලෝවාද සූත්‍රයේ දී එසේ දුරුකළ යුතු එවැනි වංක මිතුරන් ගැන අපූර්ව විස්තරයක් කෙරේ. පළමුවැන්නා අඤ්ඤදත්ථුහර ය. ඔහු, යම් දෙයක් බලාපොරොත්තුවෙන්, එය අරමුණු කර ගනිමින් ඇසුරට සමීප වේ. ප්‍රති උපකාරයක් නැත. දෙවැන්නා වචීපරමය . ඔහුගෙන් ලැබෙන්නේ වචනය පමණ ය. ක්‍රියාවෙන් නිහඬ ය.

“මට පුළුවන්කමක් තිබුණා නම් කොහොම හරි උදව්වට එනවා. හදිසියේ ලෙඩ වුණා නේ තරහ වෙන්න නම් එපා.”

මේ හා සමාන වදන් ඔබගේ ජීවිතයේ මොන තරම් ඇසී තිබෙනවා දැයි සිතා බලන්න. තෙවැන්නා අනුප්පියභාණී ය. ඇති තැන ගුණ කීමත්, නැති තැන ගැරහීමත්, නින්දා ගෙනදීම මත් මෙවැන්නන්ගේ පුරුදු ය.

අපාය සහාය මිතුරෝ ද සිටිති. ඔවුහු නරකට අනුබල දෙති. මෙවැනි ගති ඇති අය වංචනිකයෝ ය. ප්‍රයෝගකාරී ස්වභාවය ඇත්තෝ ය. එවැනි අය ඇසුරු කරන්නේ නම්, ළඟා වන්නේ අයහපත ය. විනාශය ය. එහෙයින් එවැනි අය දුරින් දුරු කළ යුතු සේ ම තමන් වෙත එවැනි දුර්ගුණ වේ නම්, හිරු දුටු පිනි දියවී යන්නා සේ ඉන් මිදෙන්නට වෑයම් කළ යුතු ය.

තමන් තමන්ට, අනුන්ට අවංක වන්නා සේ ඇසුරට තෝරා ගත යුතු ද එවැනි කලණ මිතුරන් ය. එවිට ජීවිතය පහසු ය. එවැන්නෝ ඔබගේ ප්‍රශ්න, ගැටලුවල දී, දුකේ දී, අසහනයේ දී ළඟින් සිටිති. උදව් උපකාර කරති. සතුටේ දී අවංකව ම සතුටු වෙති. වරදින් මුදවති. යහපතෙහි යොදවති. රහස් සඟවති.

ඡන්දය, ද්වේෂය, භය හා මෝහය සතර අගතියයි. සෘජු ගුණ ඇති පුද්ගලයා සතර අගතියෙන් තොර ය. ඔහු, ඥාති හිතවතුන් වූ පමණින්, සම්බන්ධකම් තිබූ පමණින් ඒ කවරකු හෝ වෙනුවෙන් අසාධාරණ තීරණ නොගන්නේ ය. එමෙන්ම ඔවුන් කී පමණින් දෙයක් පිළිනොගන්නේ ය. තීරණවලට එළැඹෙන්නේ වැරැද්ද, නිවැරැද්ද දැකීමෙනි. සෘජු ගුණ ඇත්තා තරහ අයට ද, විරුද්ධ අයට ද අසාධාරණයක් නොකරයි. තනතුරට, ධනයට, බලයට, නිලයට, කුලයට, ලොකුකමට වෙනසක් නැත. ගුණවතුන්ගේ ගුණ අගයයි. ඕනෑම සභාවකට නොබියව මුහුණ දෙයි. මුලු ගැන්වෙන්නේ ද නැත. එහෙත් වංක පුද්ගලයා කතාවට බිය ය. ප්‍රශ්නවලට බිය ය. සභාවකට මුහුණ දෙන්නට මැළි ය.

අවංක චරිතයකට තවත් වටිනාකමක් එක් කරන්නේ ප්‍රතිපත්තිගරුක බවයි. ඒ පුද්ගලයා නින්දා ප්‍රශංසා හමුවේ ද, ලැබීම් නොලැබීම් හමුවේ ද ප්‍රතිපත්ති පාවා නොදෙන්නේ ය. එහෙත් එවැනි චරිත විරල ය.

මුඛං පද්ම දලාකාරං
වාචා චන්දන සීතලං
මධු තිෂ්ඨති ජිව්හාග්‍රෝ
හෘදයෙතු හලා හලං

මේ පැරැණි සංස්කෘත කාව්‍යයකි. එයින් කියැවෙන්නේ, සමහර අයගේ මුහුණ නෙලුම් මලක් වැනි ය. වදන් සඳුන් සේ සීතල ය.

දිවග මී පැණි වැටෙන්නා සේ මිහිරි වචන ය. එහෙත් හදවත හලාහල විෂය යනුවෙනි.

මෙවැනි පුද්ගලයින් සිතේ යම් සිතිවිල්ලක් සිරකරගෙන අනෙකක් පෙන්වති. අනෙකක් ම කරති. ප්‍රතිපත්ති නොරකිති. එවැනි කෙනෙක් පවුලක ප්‍රධානියා වුව ද, ආයතනයක ප්‍රධානියා වුව ද ගැටලු ය. හරි වැරැද්ද නොසොයා වැරැදිම දකිති. අසල්වැසි නිවැසියන් හොඳින් නම් නැති අඩුපාඩු සොයති.

ඔබත් එවැනි ගති ඇති අයෙක් නම් මේ දුර්වලකම් මඟහරවා ගත යුතු ය. අනුන් ගැන සෙවීම නොව වැදගත් වන්නේ තමන් ගැන සෙවීම ය. අනුන් වෙනුවෙන් මෙත් වඩන්නට හැකි වන්නේ එවැනි සෘජු ගුණ ජීවිතයට පුරුදු පුහුණු කරන කෙනාට ය.

මඝ මානවක පන්සිල් සිය ජීවිතයට ප්‍රතිපත්තියක් ලෙස පුරුදු කළ තරුණයෙකි. කවර ප්‍රශ්නයක් හමුවේ වුව ද ඔහු සෘජු තීරණ ගත්තේ ය. කිසිදු විටෙක ප්‍රතිපත්ති පාවා නොදුන්නේ ය. රජු විසින් ඔහු ඇතකු ලවා පාගා මැරවීමට අණ කරනු ලැබූව ද ඇතා ඔහුට සමීප නොවූයේ ය. ඒ ප්‍රතිපත්තිගරුක බවේ අනුසස් ය.