Print this Article


පරිත්‍යාගයෙන් හා අවබෝධයෙන් රැකිය යුතු සීලය

පරිත්‍යාගයෙන් හා අවබෝධයෙන් රැකිය යුතු සීලය

ඔහුගේ අතේ තිබුණ පිහිය ගෙන පිඹුරාට පහර දීමට සූදානම් විය. එහෙත් ඔහුට සමාදන් වූ ශීලය සිහි විය. සිල්පද කැඩීමෙන් සිදුවන ආදීනව මතක් විය. එනිසා පිඹුරා ඝාතනය කිරීමේ අදහස ඔහු අත්හැරීය.

සිල්වත් ගුණවත් බ්‍රාහ්මණ පඬිවරයෙක් සැවත් නුවර වාසය කළේ ය. තෙරුවන් සරණ ගිය මේ බ්‍රාහ්මණතුමා නොකඩවා පන්සිල් රකින, වේදත්‍රය ද උගත් අයෙකි. කෙසොල් රජු මොහුට පි‍්‍රය කළේ ය. ගරු කළේ ය. හොඳම කල්‍යාණ මිත්‍රයකු ලෙස බ්‍රාහ්මණ තුමා ඇසුරු කළේ ය.

මෙසේ කාලයක් ගෙවුණි. දිනක් බ්‍රාහ්මණතුමාට මෙවැනි සිතිවිල්ලක් පහළ විය. “මට රජතුමා මෙතරම් සලකන්නේ ඇයි? මාගේ ජාතිය නිසා ද? කුලය නිසා ද? උගත් නිසා ද? එසේත් නැතිනම් මගේ සිල්වත්කම හා ගුණ යහපත්කම නිසා ද? මේ ගැන හොයා බලන්න ඕනෑ කියල පරීක්ෂණයක් කළේ ය.

දිනක් මේ බ්‍රාහ්මණයා රජ ගෙදරට යන ගමනේ රාජ භාණ්ඩාගාරයට ගොස් එහි භාණ්ඩාගාරිකවරයා ඉදිරිපිට කහවනුවක් රැගෙන ගියේ ය. භාණ්ඩාගාර නිලධාරියා ඒ ගැන සිතුවේ මෙලෙස ය. “අපගේ රජු පමණක් නොවේ, අපි සියලුම දෙනා මේ බ්‍රාහ්මණතුමාට ගරු සැලකිලි“ දක්වනවා. අපේ රජතුමාගේ හොඳම මිත්‍රයා තමයි මේ බ්‍රාහ්මණතුමා. ඒ නිසා මේ ගැන කිසිවක්, කිසිවකුටත් නොකියා නිශ්ශබ්දව ඉන්න ඕනෑ” කියලා හිතුවා.

මේ සිද්ධිය වූ දිනට පසු දින නැවත වරක් බ්‍රාහ්මණයා රාජ භාණ්ඩාගාරයට පැමිණ කහවනු දෙකක් රැගෙන ගියේ භාණ්ඩාගාර නිලධාරියා බලා සිටියදී ය. එදිනත් බමුණාගේ ගුණයහපත්කම ගැන සිහිකොට නිශ්ශබ්ද විය. කිසිවක් කිවේ ද නැත.

තුන්වැනි දිනයේ බමුණා පෙර පරිදිම භාණ්ඩාගාරයට පැමිණ කහවනු අහුරක් රැගෙන ගියේ ය. මේ මොහොතේ දී භාණ්ඩාගාර නිලධාරිවරයාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේ ය.

බොල බමුණෝ, නුඹ සිල්වත් ගුණවත් උගත් කෙනෙක් කියල රජතුමා ඇතුළු අපි හැමෝම හිතාගෙනයි හිටියේ. නුඹ වංචා කාරයෙක්, හොරෙක්, නුඹ දුශ්ශීලයෙක්, අද තමයි නුඹේ හැටි තේරුනේ".

කියමින් භාණ්ඩාගාරවරයා පහර කීපයක් බ්‍රාහ්මණයාට එල්ල කළේ ය . මේ ශබ්දයෙන් කලබල වූ අවට සිටි පිරිස් එම ස්ථානයට දිව ආහ. සිද්ධිය අසා දැනගත් ඔවුහු බමුණාට හොඳටම තැලූහ. අවසානයේ අත්පා බැඳ රජු වෙතට රැගෙන ගියේ ය.

රජු කරුණු විමසීය. සිද්ධිය පිළිබඳ රජු පුදුමයෙන් පුදුමයට පත්විය. ගුණයහපත් වූ, සිල්වත් වූ මාගේ උගත් මිත්‍රයා මෙහෙම දෙයක් කළේ ඇයි දැයි රජුට අදහාගත නොහැකි විය. රජු සිද්ධිය පිළිබඳ බමුණාගෙන් කරුණු විමසීය. “අනේ දේවයන් වහන්ස මම හොරෙක් නෙවෙයි. ඔබ තුමාත් අනෙකුත් අයත් මට සලකන්නේ මගේ ජාතිය, කුලය, ගෝත්‍රයට ද? නැතිනම් උගත්කමට ද? එසේත් නැතිනම් මගේ සිල්වත්කම, සංවරකම, ගුණ යහපත් කම් ආදිය සලකලා ද කියල මට හොයා බලන්න හිතුණා.

දැන් මම දැන ගත්තා මේ හැමෝම මට සැලැකුවේ, ගරු කළේ ් මගේ සිල්වත්කමටත්, ගුණයහපත්කමටත් බව. ඒ සිල්වත්කම නැතිවුණාම සලකන හැටි මට දැන් අවබෝධ වුණා රජතුමනි.

මුළු ලෝකයම සලකන මේ උතුම් සීලය මම මැරෙන තෙක් ආරක්ෂා කරන්න ඕනෑ. ඒ නිසා රජතුමනි, මට මේ උතුම් සීලය ගිහිගෙයි ඉඳලා කවදාවත් නිවැරැදිව ආරක්ෂා කරන්න බැහැ. ඒ නිසා මේ දඬුවමින් මා නිදහස් කරන්න. මට මහණ වෙන්න අවසර දෙන්නයි, ඔහු ඉල්ලා සිටියේ ය.

සියල්ල තේරුම් ගත් කොසොල් රජතුමා ඔහු නිදහස් කළේ ය. බ්‍රාහ්මණ තුමා රජුගෙන් අවසරය ගෙන ජේතවනාරාමයට ගොස් පැවදිව උපසම්පන්න වී නොබෝ කලකින් මහරහත් භාවයට ද පත්විය.

ධම්ම පදයේ සහශ්‍ර වර්ගයේ එන පහත සඳහන් ගාථා රත්නයෙන් කියැවෙන්නේ සීලයේ අනුසස් ගැනයි.

යෝ ච වස්සසතං ජීවේ දුස්ශීලෝ අසමාහිතො”

සිල්වත් නොවී අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා සිල්වත්ව එක දවසක් ජීවත්වීම උතුම් බව සඳහන් කරයි.

මෙය සනාථ කරන පුංචි කතාවක් ශ්‍රී ලංකාවේ රුහුණු රටින් වාර්තා වේ.

දිනක් රුහුණු ප්‍රදේශයේ පදිංචි ගොවි මහතකු වැල් සහ කෝටු කපා ගැනීම සඳහා වනයකට වැදුණේ ය. ඔහු පංච ශීල ප්‍රතිපදාවේ නියැළෙන සිල්වත් පුද්ගලයෙකි. හදිසියේ ම ඔහු නොදැනුවත්වම විශාල පිඹුරකු ඔහුව වෙළා ගත්තේ ය. ඔහුගේ අතේ තිබුණ පිහිය ගෙන පිඹුරාට පහර දීමට සූදානම් විය. එහෙත් ඔහුට සමාදන් වූ ශීලය සිහි විය. සිල්පද කැඩීමෙන් සිදුවන ආදීනව මතක් විය. එනිසා පිඹුරා ඝාතනය කිරීමේ අදහස ඔහු අත්හැරීය. නමුත් තම ජීවිතයට හානියක් සිදුවන බව ඔහුට දැනෙන්නට විය.

නැවත පිහිය ගෙන පිඹුරාට පහර දීමට උත්සාහ දැරීය. එහෙත් සියල්ල අභිබවා ඔහුගේ සිතට ශීලයේ ආනිශංස ගලා එන්නට විය. ඒ නිසා දෙවැනි වර ද ඔහු ඉවසීය. එහෙත් පිඹුරාගේ පීඩනය එන්න එන්නම වැඩි විය. මරණ බිය ද ඇති විය. ඒ නිසා තුන්වැනි වතාවට ද පිහිය ගෙන පිඹුරා කපා කොටා මරා දැමීමට සූදානම් විය. එහෙත් ඔහුගේ සිහිය නැවත අවධි විය. මම උතුම් ශීලයක් රකින්නෙමි. මම දිවි හිමියෙන් ප්‍රාණඝාතය දැන දැන නොකරමි. ඔහු අධිෂ්ඨාන කළේ ය. පිහිය ළඟ තියෙන නිසා මැරීමේ සිතක් ඇති වෙන්නේ යැයි සිතූ ඔහු පිහිය ඈතට විසි කළේ ය.

අහෝ පුදුමයකි. උතුම් ශීලයක් දිවි හිමියෙන් ආරක්ෂා කරන ඔහුගේ සිරුර පිඹුරාට දැනුනේ ගිනියම් වූ යකඩ කඳක් වෙළා සිටිනවාක් මෙන් ය. පිඹුරාගේ දරන ලිහිල් වී ගොස් ගොවි මහතා නිදහස් විය.

ධර්මයේ පිහිටි පුද්ගලයා ධර්මය විසින් ආරක්ෂා කරන බව මෙම සිද්ධීන්වලින් අපට තහවුරුවේ.

කය, වචනය, සංවර කර ගන්නා සිල්වත් පුද්ගලයා ද, මරණයෙන් පසු සුගතියක ප්‍රතිසන්ධි ලබන බව ධර්මයේ සඳහන් වේ. සිල් ආරක්ෂා කරන පුද්ගලයාට එලොව මෙලොව වශයෙන් බොහෝ ආනිසංස ලැබෙන නිසා සීලය ජීවිත පරිත්‍යාගයෙන් හා අවබෝධයෙන් යුතුව සුරැකීම වටින්නේ ය.