Print this Article


ජීවිතයට හිමි නියත කෙළවර

ජීවිතයට හිමි නියත කෙළවර

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් මහා වෙහෙරෙහි වැඩ වසන සේක. දවල් කාලයේ කොසොල් මහ රජතුමා භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණ වැඳ නමස්කාර දක්වා පසෙකින් අසුන් ගත්තේ ය.

එවිට භාග්‍යවතුන් වහන්සේ,

“මහරජ” ඔබ කොහේ සිට පැමිණියේ දැයි විමසූ සේක.

එවිට රජතුමා භාග්‍යවතුන් වහන්ස “මාගේ මිත්තණිය වර්ෂ එකසිය විස්සක් ආයුෂ භුක්ති වින්දා ය. ඇය මට ඉතා පි‍්‍රය විය. කුඩා කල මා ආදරයෙන් බලා ගත්තා ය. එහෙත් ඇය මිය ගියා ය. ඉතින් භාග්‍යවතුන් වහන්ස මම ඉතා කනගාටුවෙන් සිටිමි. ඇයට නැවත ප්‍රාණය ලැබෙනවා නම් මාගේ ඇත් රුවන්, නැත්තම් අශ්වරුවන් නැති නම් ගම්වරයක් නැති නම්, ජනපදයක් වූවත් දෙන්නම්.” යනුවෙන් කඳුළු පිරි දෙනෙතින් යුතුව පැවසුවේ ය.

එවිට භාග්‍යවතුන් වහන්සේ, “රජතුමනි,” දුක් වීමෙන් පලක් නැත. සියලු සත්වයෝ මරණය ස්වභාවය කොටගෙන පවතී. ඔවුන් මරණයෙන් මේ ආත්මය අවසන් කරයි. උපන් සියල්ලෝ ම මිය යති.

සබ්බේ සත්තා මරිස්සන්ති
මරණං තං හි ජීවිතං
යථා කම්මං ගමිස්සන්ති
පුඤ්ඤ පාප එලු පගා
නිරයං පාප කම්මන්තා
පුඤ්ඤ කම්මාච සුග්ගතිං

සියලු සත්වයෝ මිය යති. ජීවිතය මරණය කෙළවර කොට ඇත. එහෙයින් පින් පව් අනුව ගියාහු, පින්කළ ඇත්තෝ සුගතියට ද, පව් කළ ඇත්තෝ දුගතියට ද යන්නාහ.