Print this Article


ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට පෙර තමන් කවුදැයි හඳුනා ගන්න

ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට පෙර තමන් කවුදැයි හඳුනා ගන්න

යහපත් වූ ගුණධර්ම ඇසුරෙන් සකස් කරගත් පුද්ගල සබඳතා සමාජය බැබළීමට හේතු වේ. ස්වකීය ශ්‍රාවකයන් මුණගැසුණු අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ පිළිසඳර කතාව ආරම්භ කෙළේ ඇවැත්නි, කෙසේ ද? ඔබ වහන්සේ සමගියෙන්, සතුටින්, විවාදයකින් තොරව කිරිත් දියත් මුසු වූවා සේ ඔවුනොවුන් දෙස ප්‍රියමනාප බැල්මෙන් බලමින් වසන්නාහුදැ”යි, අසමිනි.

ඒ තුළින් ම උන්වහන්සේ කලබලකාරිත්වයෙන් තොර ප්‍රියමනාප වාසය අගය කර ඇති බව අපට පැහැදිලි වෙයි.

“කලහකාරී” “ප්‍රචණ්ඩකාරී” යන වචන නිතර භාවිත වනු අසන්නට ලැබෙයි. එම වචන අප සිත් තුළ ජනිත කරවනුයේ අප්‍රසාදයකි. ප්‍රචණ්ඩකාරී යන වදන ඇසූ සැණින් ම අප දුටු ගැටුමක් හෝ ඒ ආශ්‍රිත විනාශයක් පිළිබඳ මතකයට නැඟෙයි.

ඒ ඒ පුද්ගලයන් සතු ප්‍රශ්නවලට මුහුණදීමේ ශක්තිය මත ප්‍රචණ්ඩකාරී අවස්ථාවන් ඇතිවීම බොහෝ ස්ථානවල දැකිය හැකි දෙයකි. ප්‍රචණ්ඩත්වය ඇතිවනුයේ සිතට නැඟෙන ද්වේශ සහගත වු අදහස් නිසා ය. යම් විටෙක එවැනි අදහසක් සිතට නැඟුණු විට අප ක්‍රියා කළ යුත්තේ කෙසේ දැයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

ඒ අනුව අපට යම් විටෙක ද්වේෂ සහගත චේතනාවක් පහළ වූයේ යැයි සිතමු. එම ද්වේෂය අපට දුක් පිණිස පවත්නා බව පළමුව හොඳීන් වටහා ගත යුතු ය. දෙවනුව, එය බාහිර සමාජයට ද අවැඩක් අහිතක් පිණිස ම හේතු වන බව තේරුම් ගැනීම අපහසු නොවනු ඇත. අපටත්, පොදුවේ සමාජයටත් අවැඩක් වන දෙයක් කොට අවසානයේ සිදුවන්නේ කුමක්ද? මානසික වශයෙන් පසුබෑමකටත්, පීඩනයකටත් පත්වීම යි. එය දිගින් දිගට ම මනසට වද දෙන සිදුවීමක් වනු ඇත.

එබැවින් අපටත්, සමාජයටත් දුක් පිණිස, අවැඩ පිණිස, මානසික පීඩනය පිණිස හේතු වන එම ද්වේෂ සහගත චේතනා විනාශ කර දැමිය යුතු ය. එසේ හටගන්නා වූ ත්, අනාගතයේ හටගැන්මට ඉඩ ඇත්තා වූත් ද්වේෂය මුළුමනින් ම බැහැර කිරීම අප මෙහි දී ගත යුතු බුද්ධිමත් ම ක්‍රියා මාර්ගය යි. ඕනෑම ප්‍රශ්නයකට මනා ඉවසීමකින් අවධානය යොමු කරවීමේ පුරුද්ද එයින් අපට ලැබේ. ස්වභාවයෙන් ම අපට ප්‍රශ්නවලට මුහුණදීමේ හැකියාවක් තිබේ. එහෙත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය.

අද බොහෝ දෙනකු තුළ හැඟීම්වලට වහල්වීමේ ස්වභාවයක් පෙන්නුම් කෙරේ. එය ප්‍රචණ්ඩත්වය කරා පුද්ගලයා යොමු කරවන මාවතක් වැනි ය. ඉවසීමේ ශක්තිය ඇති කෙනකුට ගැටලුවක් ඇති වූ අවස්ථාවක දී එම ගැටලුවෙන් මිදී අලුත් තත්ත්වයකට හැඩ ගැසීමට හැකියාව තිබේ. ගැටලුව සඳහා හේතුසාධක වූ දේ අවබෝධ වීමෙන් මානසික පීඩාකාරී තත්වයෙන් තුරන් වීමට හැකියාව ලැබේ.

එහෙත් සමහරුන් ගේ මෙම ඉවසීමේ ශක්තිය ඉතා දුර්වල ය. එවැන්නෝ හැමවිට ම ප්‍රශ්නවලට ලෙහෙසි හා ක්ෂණික විසඳුම් සොයති. විටෙක ප්‍රශ්නවල දී ලබා ගත හැකි ක්ෂණික විසඳුමක් ලෙසට ප්‍රචණ්ඩකාරීව හැසිරෙති.

මෙම ප්‍රචණ්ඩකාරිත්වය නම් වූ නොමනා පිළිවෙත පාසල් සිසුන් අතරට පවා දැන් දැන් පැමිණ තිබේ. සන්නිවේදන මාධ්‍ය තුළින් වරින්වර අපි ඒ පිළිබඳ දැක ඇත්තෙමු. ප්‍රචණ්ඩ ක්‍රියා නිසා පොදු දේපළ විනාශ කළ, අංග විකල තත්ත්වයට පත් වූ සහ ජීවිත අහිමි කර ගත් අය පිළිබඳ වූ වාර්තා ද ඒ අතර වෙයි. මෙහි දී අප හොඳීන් වටහා ගත යුත්තක් තිබේ. එනම් මිනිසා, තිරිසන් සතුන්ගෙන් වෙන් වී ඇත්තේ බුද්ධිය හා ක්‍රියාකාරිත්වය මත බවයි. එකී අංශ දෙක ම අන්තයට ම පිරිහී ගිය හොත් මිනිස්-තිරිසන් භේදයක් ඇති නො වේ. ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කරන තිරිසන් සතුන් අපි කොතෙකුත් දැක ඇත්තෙමු. ඔවුන්ට ඉවසීම හෝ ප්‍රශ්න දෙස බුද්ධිමත් ව බැලීම හුරු කළ නොහැකි ය. එබැවින් දිගින් දිගට ම ඔවුහු ප්‍රචණ්ඩත්වය පෙන්නුම් කරති. මිනිසා ද එම තත්ත්වයට පත් වුවහොත් සිදුවන්නේ කුමක්ද?

අප ගේ සෑම හැසිරීමක දී ම තම තත්ත්වය පිළිබඳව ද මනා විමසිලිමත් භාවයකින් සිටිය යුතු ය. නූගතුන් සේ අනවශ්‍ය වාද භේද ආදියට සම්බන්ධ වී ප්‍රචණ්ඩ ලෙස සමාජයේ හැසිරුණ හොත් පළමු ව අප සමාජයේ කොන් වු තත්වයකට පත්වනු ඇත. ඒ නිසා මව්පියන්ට ද සහෝදර සහෝදරියන්ට මෙන් ම ඥාති හිතමිත්‍රාදීන්ට ද අප නිසා පසුතැවීමට සිදුවනවා නොවේ ද?

ඇතැම්විට මවුපියන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට විරුද්ධව ප්‍රචණ්ඩකාරී ව ක්‍රියා කරන අය ද අද සමාජය තුළ දැකගත හැකි ය. එයට හේතුව තමා වෙනුවෙන් ඔවුන් කළ කැපකිරීම හඳුනාගෙන නොතිබීමයි. මෙය මුල අමතකවීම” ලෙස ද භාවිතයේ පවතියි.

එහෙත් අප එවන් ගුණමකු තත්ත්වයකට පත් නොවිය යුතු ය.

නූතන සමාජය තුළ ඉගෙනීමෙන් තොර ව, ප්‍රචණ්ඩකාරිත්වය කරා බාල පරපුර ඇද දමන බලවේග බහුලව පවත්නා බව වටහා ගත යුතු ය. විවිධාකාර පුද්ගලයන් ආශ්‍රයේ දී කල්පනාකාරී වීම මෙහි දී ඉතා වැදගත් ය. බාල අවධියේ සිට ම සියලු ම දෙනා කණ්ඩායම් වශයෙන් හැසිරීමට දැඩි කැමැත්තක් දක්වති. කණ්ඩායම් ලැදියාව වැරැදි ලෙස යොදා නොගෙන, වගකීම් මනාව තේරුම් ගෙන, ක්‍රියා කිරීමට ඔවුන් යොමු කරවීම අප සතු කාර්යයකි. මක් නිසාද යත් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන සිසුහූ තමන් ළඟා විය යුතු යහපත් අරමුණු කරා ළඟා වන්නෝ නොවෙති. තමත් ජීවත් වන සමාජ වටපිටාවට ද ඔවුන්ගෙන් සිදුවනුයේ බලවත් අසාධාරණයකි.

පළමු ව ඔවුන් තමා කෙරෙහි තබා ඇති අනාගත අපේක්‍ෂාවන් බිඳ දමනු ඇත. අනාගත අපේක්‍ෂාවන් බිඳ වැටුණු, අපේක්‍ෂා භංගත්වයට පත්වුණු සමාජ කණ්ඩායමකට ඔවුහු ඇතුළත් වෙති.

අප එකිනෙකා කෙරෙහි සහජීවනයෙන් බැඳී සිටින තාක් කල් ගැටුම් ඇති නො වේ.

මනා හැකියාවකින් යුක්ත ව ප්‍රශ්න දෙස බැලීමට බුදු දහම අපට උගන්වා තිබේ. ඒ සඳහා සමාජය හා ලෝකය පිළිබඳ ව ලබා ගන්නා දැනුම අත්‍යවශ්‍ය ය.

ලෝක ධර්මය පිළිබඳ කම්පා නොවීම උතුම් මංගල කරුණක් ලෙස ධර්මයේ දක්වා ඇත. මෙහි දී අප ගේ සිත මුල්තැන ගනී. වහ වහා නොයෙක් අරමුණු කරා දිවෙන සිත සන්සුන් කර ගත යුතු ය. ඒ සඳහා සීලයත්, භාවනාවත් හොඳ ම ප්‍රතිපත්තිය වේ.

සිත සන්සුන් කර ගැනීමෙන් ප්‍රශ්න දෙස නිදහස් ව බැලීමටත්, සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් පෙළඹෙයි. ඒ නිසා ප්‍රචණ්ඩකාරී අදහස්වලට යොමු නොවන අතර, උපේක්‍ෂා සහගත ව ප්‍රශ්නවලට මුහුණදීමේ හැකියාව ලැබේ.