Print this Article


සසරට නිවන මනහරය

සසරට නිවන මනහරය

වෙහෙසට, විඩාවට සිසිල් දිය අගනේ ය. දුකට, වේදනාවට සතුට කදිම ය. සසරට නිවන මනහර ය.

සුවසු දහසක් සදහම් වැනු බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දස දහසක් සක්වලටම බුද්ධ ආඥාව පැතිරවූයේ මඟුල් දම් දෙසුමෙනි. ධර්මය යනු නිවන් මඟ සාක්ෂාත් කරලීමට ඇති උතුම් මාර්ගය යි.

කලණ මිත්‍ර ඇසුර ළඟාවීම මඟින් ධර්මය අවබෝධකර ගැනීමට හැකි ය. මෙහිදී මිත්‍ර ඇසුර තුළින් අවබෝධය ඇති කර ගත් තැනැත්තාට ප්‍රඥාව අවදිකරලීමට හැකි ය.

චත්තාරෝ මේභික්ඛවේ ධම්මා භාවිතා බහුලීකතා සෝතාපත්තිඵලසච්චිකිරියාය සංවත්තතී. කතමේ චත්තාරෝ, සප්පුරිසසංසේවෝ,සද්ධම්මසවණං යෝනිසෝමනසිකාරෝ, ධම්මානුධම්මපටිපත්තියා

* ධර්මය අවබෝධ කරගත් අති දුර්ලභ උතුම් කල්‍යාණ මිත්‍රයකු මුණ ගැසීම.

* ඔවුනොවුන්ගෙන් ශ්‍රී සද්ධර්මය අසා දැන ගැනීම.

* අසා දැනගත් කරුණු තමාගේ නුවණින් විග්‍රහ කිරිම

* නුවණින් තේරුම් ගත් දේ ප්‍රායෝගිකව පිළිපැදීම.

යන මේ කරුණු සතර භාවිත කිරීමෙන් ,බහුල වශයෙන් වැඩිමෙන් නුවණැත්තෝ මේ ආත්මයේ දී ම උතුම් සෝතාපත්ති ඵලයට පත් වන්නේ ය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සිට පිරිනිවීම දක්වා වූ පන්සාළිස් කාලයක් මුළුල්ලේ ලෝකාර්ථ චර්යාවෙන් දේශනා කරන ලද සම්බුදු වදන වර්තමානය වන විට විවිධ වූ පුද්ගලයන් විසින් දේශනා කරනු ඇත.

එහෙත් බුදු හිමියන් දෙසූ නිවැරැදි ධර්මය තෝරා ගැනීමට නම්, ඒ ධර්මයට විනයට ගැළපෙන්නේ නම්, එම දහම ඇසීමෙන් රාගය, ද්වේශය, මෝහය යන අකුසලයන් චිත්ත සන්තානය තුළ ජනිත නොවන්නේ නම්, එය මැනවින් ශ්‍රවණය කළ යුතු දහමක් බව පෙන්වා දී ඇත. එපමණක් නොව උන්වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ධම්මකථික සුත්‍ර දේශනයේ දී දේශනා කරන්නේ.

මහණෙනි, මේ ධර්මකථිකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද යත්, මහණෙනි. මේ ලොව ඇතැම් ධර්ම කථිකයෙක් අල්ප කොට ද අර්ථයෙන් අසංයුක්ත කොට ද කියයි. එය හරයක් නැති ප්‍රලාප ය. එය අසන පිරිස ද අර්ථවවත් වු හෝ අනර්ථවත් හෝ බසට අදක්ෂ වේ. මහණෙනි මෙබඳු ධර්ම කථික අදක්ෂ පිරිසෙහි ධර්ම කථිකයෙක් ම යැයි ගණනට යේ.

මහණෙනි, මෙලොව ඇතැම් ධර්ම කථිකයෙක් අල්ප කොට ද, අර්ථයෙන් සංයුක්ත කොට ද කියයි. එය හරවත් ය. එය අසන පිරිස ද අර්ථවත් වූ හෝ අනර්ථවත් හෝ බසට දක්ෂ වේ. මහණෙනි මෙබඳු ධර්ම කථික දක්ෂ පිරිසෙහි ධර්ම කථිකයෙක් ම යැයි ගණනට යේ.

මහණෙනි, මෙලොව ධර්ම කථිකයෙක් බොහෝ කොටද අර්ථයෙන්, අසංයුක්ත කොට ද කියයි. එය හරයක් නැති ප්‍රලාප ය. එය අසන පිරිස ද අර්ථවත් හෝ අනර්ථවත් හෝ බසට අදක්ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්ම කථික අදක්ෂ පිරිසෙහි ධර්ම කථිකයෙක් ම යැයි ගණනට යේ.

මහණෙනි, මෙලොව ඇතැම් ධර්ම කථිකයෙක් බොහෝ කොට ද, අර්ථයෙන් අසංයුක්ත කොට ද කියයි. එය හරයක් නැති ප්‍රලාප ය. එය අසන පිරිස ද අර්ථවත් වූ හෝ අනර්ථවත් හෝ, බසට අදක්ෂ වේ. මහණෙනි. මෙබඳු ධර්ම කථික අදක්ෂ පිරිසෙහි ධර්ම කථිකයෙක් ම යැයි ගණනට යේ.

මහණෙනි, මෙලොව ඇතැම් ධර්මකථිකයෙක් බොහෝ කොට ද අර්ථයෙන් සංයුක්ත කොට ද කියයි.එය හරවත් ය. එය අසන පිරිස් ද අර්ථවත් ද හෝ් අනර්ථවත් හෝ බසට දක්ෂ වේ. මහණෙනි මෙබඳු ධර්මකථික දක්ෂ පිරිසෙහි ධර්ම කථිකයෙක් ම යැයි ගණනට යේ.

මහණෙනි, මෙම සතර ධර්ම කථිකයෝ ය යනුයි

මෙම සූත්‍ර දේශනයේ දී බෞද්ධ මිනිස් ප්‍රජාවට අතරමං නොවී නිවැරැදි බුදු දහම තෝරා ගැනීමට නැණ පමණට ම හැකියාව උදා වී ඇත. කාලාම සූත්‍ර දේශනයේ දී බුදුන් වහන්සේ පෙන්වා දෙනුයේ මා කියු පමණින් නොව, පොතපතින් ආවා කියා හෝ, පරම්පරාවෙන් ආවා කියා හෝ පිළිගත යුතු නැති බව එම දේශනයේ දී පෙන්වා දෙනු ඇත.

තමන්ගේ නුවණ මෙහෙයවා අවබෝධ කර ගැනීම යහපත්. එමනිසා ධර්මය ශාක්ෂාත් කිරීමට නම් නිවැරැදි අයුරින් ශ්‍රවණය කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් මිනිස් සත්ත්වයාට උතුම් නිවනට පත්වීමටත්, සසර දුකෙන් නිදහස් වීමටත් මෙම ධර්මයෝ ප්‍රගුණ කළ යුත්තේ ය. එහෙයින් උන්වහන්සේ දේශනා කරන ලද ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ නිසි අවබෝධයක් ඇතිවිය යුතු ය. පෘතග්ජන ස්වභාවය ඉක්ම වූ ප්‍රඥාවන්තයන්ට දායාද වන ආර්ය දහමකි අරි අටඟි මඟ. මිච්ජාචිදිඨි සූත්‍රයේ දී බුදුන් වහන්සේ දේශනා කරනුයේ,

මහණෙනි, කුමක් ඇසුරු කොට මිථ්‍යා දෘෂ්ටිය උපන්නේ වේ ද?

මහණෙනි, රූපය ඇති කල්හි, රූපය ඇසුරු කොට, රූපය ප්‍රත්‍ය කොට මිථ්‍යා දෘෂ්ඨිය උපදි.

වේදනාව ඇති කල්හි වේදනාව ඇසුරු කොට රූපය ප්‍රත්‍ය කොට මිථ්‍යා දෘෂ්ඨිය උපදී.

සංඥාව ඇති කල්හි සංඥාව ඇසුරු කොට සංඥාව ප්‍රත්‍ය කොට මිථ්‍යා දෘෂ්ඨිය උපදී.

සංස්කාර ඇති කල්හි සංස්කාර ඇසුරු කොට, සංස්කාර ප්‍රත්‍ය කොට මිථ්‍යා දෘෂ්ඨිය උපදී. විඤ්ඤාණය ඇති කල්හි, විඤ්ඤාණය ඇසුරු කොට, විඤ්ඤාණය ප්‍රත්‍ය කොට මිථ්‍යා දෘෂ්ඨිය උපදී යනාදි වශයෙනි.

මෙම සූත්‍ර දේශනයේ සඳහන් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන ස්කන්ධයෝ මුල් කොට ගෙන තමන් විසින් කරන කියන සිතන ක්‍රියාවන් පදනම් වී මිථ්‍යා දෘෂ්ඨිය උපදී.

ආර්ය අෂ්ඨාංගික මර්ගයෙහි මාර්ග අංගය නම් සම්මා දිට්ඨිය යි.

මෙහි විරුද්ධ ක්‍රියාවලිය මිථ්‍යා දෘෂ්ඨිය යි. වැරැදි දැකීමෙන් වෙන්ව, වැරැදි ලෙස දැකීමේ ක්‍රියා පටිපාටියෙන් වෙන්ව නිවැරැදිව දැකීමේ මාර්ගයට පැමිණීම සම්මා දිට්ඨිය යි.

මෙහිදී නිවැරැදිව දැකිය යුතු කරුණ නම් ලෝක සම්මතයේ භාවිත කරනු ලබන යහපත් කටයුතු මෙන්ම අයහපත් කටයුතු කෙරෙහි අපගේ අවධානය යොමුවිය යුතු ය.

යමෙක් ප්‍රාණඝ්‍රාත අකුසලය කරන්නේ වේ නම් ඒ තෙමේ වැරැදි කටයුත්තක නියැළී. එයට හේතුව නම් ලෝකය තුළ එම හිංසනය පිටුදකින නිසයි. එවිට එය මිච්චාදිට්ඨිය යැයි සැලකීමට හැකි ය. යමෙක් සත්ත්වයන්ට අභය දානය ලබා දෙන්නේ වී නම් එබඳු පුද්ගලයා ලෝකය තුළ ප්‍රශංසා කරන කටයුත්තක් කරන ලදී. එය සම්මා දිට්ඨිය යැයි සැලකීමට හැකි ය.

බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ සියලු සත්ත්වයන්ට යහපත් වන, හිංසා නොවන වැඩ කටයුතු මිනිස් සත්ත්වයා විසින් සිදු කළ යුතු බව ය. එය පුණ්‍ය ක්‍රියාවක් බව බුදු දහම තුළ සඳහන් වේ.

මහණෙනි මේ කාලයෝ සතර දෙනෙකි.. කවර සතර දෙනෙකු ද යත්.

නිසි කාලයේ ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, නිසි කාලයේ සමථය, විදර්ශනායි. මහණෙනි සම්මා දිට්ඨියට පත් වූ පුද්ගලයා නිසි කාලයේ ධර්මය ශ්‍රවණය කරනු ඇත. නිසි කාලයේ ධර්මය සාකච්ඡා කරනු ඇත. නිසි කාලයේ විදර්ශනා වඩනු ඇත. නිසි කාලයේ සමථය වඩනු ඇත. මිථ්‍යා දෘෂ්ඨියෙන් කටයුතු කරන ඇත්තන් හට මේ කිසිවක් නොලැබෙනු ඇත. යහපත් පුද්ගලයකු සේ වටිනා කාලය අපතේ නොයවා එයින් උපරිම ප්‍රයෝජනය ලබමින් තමනුත් අනෙක් පිරිසත් යහපත් මාවතට ගැනීමට උනන්දු විය යුතු ය.