Print this Article


ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයක් බිහිවීමේ උතුම් නිමිති

ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයක් බිහිවීමේ උතුම් නිමිති

වීදියගොඩ රාජමහා විහාරාධිකාරී,
හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ධර්මාචාර්ය,
වීදියගොඩ විජිතාලෝක හිමි

බුදුරජාණන් වහන්සේගේ උපත තුන් ලොවට ම ශාන්තියකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ උපත ලොව ම ප්‍රකම්පිත කරමින් දෙව් බඹුන්ගේ සාධු නාද මැද සිදුවන අසිරිමත් සිදුවීමකි. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීම සිදුහත් උපත නමින් ප්‍රකට ය. බෝසත් උපතට පෙර එයට සම්බන්ධ කතා වස්තුව තුසිත දෙව්ලොව දක්වා විහිද යයි.

බෞද්ධ ශාසන ඉතිහාසයට අනුව කල්ප කෝලාහලය, බුද්ධ කෝලාහලය චක්‍රවර්ති

කෝලාහලය යනුවෙන් තුන් කෝලාහලයක් පවතී. ලොව්තුරා බුදු උතුමෙක් ලොව පහළවන්නට වසර දහසක් තිබියදී ලෝක පාලක දෙවිවරු මිනිස් වෙස් ගෙන ලොව පුරා ගමන් කරති.

“ මෙයින් වසර දහසකට පසුව බුද්ධෝත්පාදය සිදුවන බැවින් එකල ඉපදී උන්වහන්සේ දැක ධර්මාවබෝධය ලබන්නට කැමැත්තක් ඇත්තවුන් විසින් අකුසලින් වැළකී කුසල් දහම් පුරන්නට ලබාදෙන පණිවුඩය” බුද්ධ කෝලාහලය නම් වෙයි.

අප මහ බෝසතාණෝ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමිතා ධර්ම පුරමින් වෙස්සන්තර භවයෙන් චුත ව තුසිත දෙව්ලොව සන්තුසිත දිව්‍යරාජයා ව ඉපදුණාහ. මේ අතර දිව්‍ය රාජයා මිනිස් ලොව ඉපදීමට අවුරුදු දහසක් තිබියදී බුද්ධ කෝලාහලය දෙව් මිනිස් බඹලෝක දක්වාම පැතිරිණි.

මින් අනතුරුව දෙව් බඹුන් මිනිස් ලොව පහළ වී ලොව්තුරා බුදුවන උතුමෝ කොහිදැයි සොයා බැලූහ. සන්තුසිත නමින් වැඩ වසන බෝධි සත්ත්වයන් වහන්සේ ඔවුන් විසින් හඳුනාගන්නා ලදුව අවුරුදු දහස සම්පූර්ණ වන්නට ළංවෙද් දී බෝධිසත්ව සන්තුසිත දිව්‍යරාජයා සමීපයට එළඹ මෙසේ පැවසූහ.

“ මහා වීරයාණෙනි දැන් ඔබට සම්බුද්ධත්වය ලැබීම පිණිස මව්කුස ඉපදීමට කාලය එළඹ ඇත” මේ ඇසූ බෝසතාණන් වහන්සේ දිවැසින් කාලය, දීපය, දේශය, කුලය, මව, යන පස්මහ බැලුම් බැලූහ. මෙසේ පස්මහ බැලුම් බැලුවේ ඇයි.....?

බමුණු මතයන්හි ගිලී පැවැති සමාජයක පහත් කුලයක ඉපිද නව චින්තනයක් සමාජගත කිරීමට නොහැකි බව වටහාගෙන උසස් යැයි සම්මත කුලයක ඉපිද “කිං සච්ච ගවේෂි” නම් ආර්ය පර්යේෂණය සිදුකිරීමට හැකි බව පූර්ව විමර්ශනයෙන් පසක් කරගති.

උසස් කුලයක උගත් කුමාරයෙක්, කාමභෝගී ජිවිතයෙන් බැහැරව, විරාගී සහ අල්පේච්ඡතා මඟක ගමන් කිරීම සියලු දෙනාට ම ආශ්චර්යයක් වනු ඇත. මෙවැනි වූ උතුමෙක් අපිස් ජීවිතයක් පවත්වන්නේ නම්, අපි ද ඒ මඟ යා යුතු නොවේ දැයි සියලු කුලවලට අයත් වූවෝ හිතන්නට පෙළඹෙනු ඇත.

සන්තුසිතයාණෝ දිවැසින් මව් පිළිබඳ ව බලන විට ගුණයෙන් හා සීලයෙන් පිරිපුන් මහාමායා දේවීන් දක්නාහ. ඇයට තව ආයු කාලය ඇත්තේ දස මසකුත් සත්දිනක් පමණක් බව දැන මිනිස් ලොව ඉපදීමට සුදුසු ම කාලය මේ යැයි වටහා ගත්හ. තුසිතයේ නන්දන උයනට පැමිණි පිරිවර දෙවියන්ගේ ආරාධනා වාක්‍ය නැවත ශ්‍රවණය කොට “ දැන්ම මින් චුත ව මිනිස් ලොව මව්කුස උපදිමියි ” අප බෝධිසත්වයෝ අධිෂ්ඨාන කළහ.

මෙලෙස බෝසතාණන් වහන්සේ ඉන් චුතවීමට සතියකට පෙරාතුව දඹදිව වාර්ෂික ඇසළ මහෝත්සවය ආරම්භ වී තිබිණි.

මහාමායා බිසව එදින පෙහෙවස් සමාදන් ව සිටියදී රාත්‍රී කාලයේ සිහිනයක් දුටුවා ය. සුදු ඇත් පැටවකු නෙලුම් මලක් සොඬින් ගෙන තම යහන වටා තුන් වටක් පැදකුණු කොට දකුණු ඇලයෙන් මව් කුසට ඇතුළුවීමයි.

තුන් ලොව ම සුවපත් කරන දුර්ලභ උතුම් බුදුරජාණන් වහන්සේ නමකගේ මිනිස් ලොව පහළ වීමේ පළමු ආගමනය මෙසේ සිදුවිය.

සුව සේ වෙසෙන දේවියගේ ගැබට දස මසක් පිරෙන්නට සමීපවත් ම මව්පියන් දැකීමට දෙව්දහනුවර බලා යෑමට සිත්විය. උදාවන පසළොස්වක දා මහාමායා දේවිය පැමණෙන බව අංජන රජුට සුදොවුන් රජු දන්වා යවන ලදී. මෙසේ ගමන් කරවන රාජකීය පෙරහර රෝහිණී නදිය තරණය කර ලුම්බිණී උයනට සැපැමිණියහ.

තුන්ලොව සුවපත් කරන ආශ්චර්යවත් යමක් සිදුවීමට ආසන්න බව පරිසරය තුළින් දැනෙමින් පැවතිණි. ලුම්බිණි උයන මලින් සැරසී, සුවඳින් පිරී වෘක්ෂ ලතාවන්ගෙන් ශෝභමාන වී, සියතුන්ගේ නාදය පරිසරය පුරා මිහිරක් මවා තිබුණි. හිරුගේ පායා ඒම මුලු ලොවටම සිසිලසක් ලබා දෙන්නාක් මෙන් දැනෙන්නට විය. මහාමායා දේවිය උයනෙහි අසිරිය බලමින් සිටින විට මලින් පිරුණු සාල වෘක්ෂයක් දැක අත්තක් අල්ලා ගැනීමට දකුණු අත දිගු කරන්නී ය. සල් අත්ත දේවියගේ දෙසට නැමුණි. මේ මොහොතේ තමාට ප්‍රසව වේදනා පැමිණි බව නැඟණියට දැන්වූවා ය. ඉනික්බිති වටතිර ඇද්දාහ. සවල්ප වෙලාවකින් අප මහ බෝසතාණෝ ශාක්‍ය ජනපදයේ ලුම්බිණි සල් උයනේ දී ආශ්චර්යවත් ලෙස උපත ලද්දාහ. මේ අවස්ථාවේ දී බොහෝ පෙරනිමිති පහළ විය. මහ පොළොව කම්පා වී, හිරු වටා වර්ණවත් චක්‍රයක් කැරකුණි. ලොවෙහි දුක් කරදර, වද වේදනා, විපත් සියල්ල නැති වී ගියේ ය. අපායෙහි දොරටු වැසී ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයක් බිහිවීමේ උතුම් නිමිති කියාපෑහ.

මෙම මහා පුරිසොත්තමයාණන් වහන්සේගේ උපත සිදුවූයේ කලියුග වර්ෂයෙන් 2478 වැන්නෙහි වෙසක්

පුර පසළොස්වක පොහෝ දා උදෑසන කාලයේ දී ය. කාලුදායී ඇමැති, අජානීය ඇත් රජු, කන්ථක අසු, ශ්‍රී මහා බෝධිය මෙ දිනම බෝසතාණන් වහන්සේ සමඟ බිහි වූ සතර මහා නිධානයි.

දෙව් බඹුන් විසින් රන්දැලකින් අප මහ බෝසතාණන් පිළිගන්නා ලදී. බෝසත් කුමරු බිමට බැස පා තබත්ම පොළොවෙන් සත් පියුම් හටගන්නට විය. පොළොව සනහමින් ඉදිරියට වැඩි අප මහ බෝසතාණෝ මෙසේ සිංහනාද කළහ.

“අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්ති මා ජාති නත්‍ථිදානි පුනබ්බවෝ”

මම ලොවට අග්‍රවෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රෙෂ්ඨ වෙමි. මින් මතු මගේ ඉපදීමක් නැත.

හැම කල්හිම, හැම තන්හි ම සිදුනොවන දුලබ බෝසත් උපත මහා කරුණාවෙන් දස දහසක් ලෝක සත්වයාට හිතසුව පිණිස ම, සෙත පිණිස ම සිදුවන්නකි. මෙතෙක් අඳුරෙහි උන් සත්වයෝ, මෙම සත්‍යය වූ ධර්මතාව කෙරෙහි විශ්වාසය තැබීමට හැකි ශ්‍රද්ධාවන්තයෝ බුද්ධොත්පත්තියෙන් ලත් සුවය සැනසීම අත්විඳීති.