Print this Article


දානය පුරුදු කරන්න මේ හොඳම කාලය යි අළුදෙණියේ සුබෝධි හිමි

දානය පුරුදු කරන්න මේ හොඳම කාලය යි - අළුදෙණියේ සුබෝධි හිමි

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුළ ආර්ය සත්‍යය අවබෝධය වෙත ගමන් කරන ශ්‍රාවකයා තමා තුළ අනිවාර්යයෙන් ම ප්‍රගුණ කළ යුතු ධර්මයන් ලෙසයි දානය හෙවත් චාගය හඳුන්වා දී තිබෙන්නේ.

ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පවා හේතුවන දස පාරමී ධර්මයන් ආරම්භ වන්නේ දාන පාරමිතාවෙන්. ධර්මය තුළ හික්මෙන ශ්‍රාවකයා අත්හැරීම හෙවත් දන් දීම කියන ගුණාංගය ඉතාමත් හොඳින් ප්‍රගුණ කළ යුතු බව අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

අත්හැරීම පුරුදු කරන ශ්‍රාවකයා පළමුව භෞතික සම්පත් මුල්කරගෙන දානය පුරුදු කරනවා. මහා සංඝරත්නය, අසරණ මිනිසුන්,අසරණ සත්ත්වයන් ආදීන්ට වර්ග කරමින් දානය පූජා කරනවා. මේ ආකාරයට තමන් ආශා කරන ලෞකික භෝග සම්පත් දන් දීමට පටන්ගෙන අවසානයේ දී එය ලෝකෝත්තර තත්ත්වයට වර්ධනය කරද්දී ඇස, කන, නාසය. දිව, කය, මනස කියන අභ්‍යන්තර ආයතන පවා අත්හරින, මට්ටමකට මනස දියුණු කරනවා. ඒ ශ්‍රාවකයායි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය කරා යන්නේ.

අපි සියලු දෙනාට ම ඉතාමත් දුෂ්කර කාලයක් උදා වී තිබෙන්නේ. මේ දුෂ්කර කාලයේ දානය එසේත් නැතිනම් අත්හැරීමේ ගුණයන් ප්‍රගුණ කරන්නට පුළුවන් මහඟු අවස්ථාවක් දැන් උදාවී තිබෙන්නේ.

ධර්මයේ සඳහන් වෙනවා යම් කෙනකු දුර්භික්ෂ කාලයක නැතිනම් මෙවන් ආහාර හිඟ කාලයක ආහාර දන් දෙනවා නම් ඔහුට මහත්ඵල මහා පිනක් රැස්වන බව. එය ධර්මය තුළ කාල දානය ලෙස හඳුන්වනවා. මේ කාල දානයේ විශේෂත්වය තමා එය සාමාන්‍ය දානයට වඩා මහත්ඵල මහානිශංස වෙනවා. ඒ වගේම එහි ආනිශංස ලෙස සුදුසු කාලයේ සුදුසු දේ ලැබෙනවා.

අපි දන්නවා ඇතැම් කෙනකුට තරුණ කාලයේ ලැබිය යුතු දේ ලැබෙන්නේ වයසට ගිය විට යි. ඇතැමුන්ට යහපත් ළමා කාලයක් අහිමි වෙනවා. අද සමාජයේ තරුණ පිරිසෙන් අපට අහන්න ලැබෙන දේ තමා අපේ බලාපොරොත්තු ඉටුකර ගන්න බැරි වී තිබෙනවා කියන කාරණය. ඔවුන්ට සුදුසු කාලයේ තමාට අවශ්‍ය සුදුසු දේ ලැබෙන්නේ නැත්තේ ඇයි? සුදුසු දේ සුදුසු මොහොතේ දන් දීලා නැති නිස යි. එනමුත් කෙනකු ධර්මයේ සඳහන් ආකාරයට කාල දානය අනුව අවස්ථාවේ දී දන් දී තිබෙනවා නම් ඔහුට කර්මානුරූපීව සකස් වෙනවා සුදුසු කාලයේ සුදුසු දේ ලැබීමේ පින.

එනිසා පින් රැස්කර ගැනීමට කැමැති කෙනාට බොහෝ පින් රැස්කර ගන්න සුදුසු කාලයක් තමා දැන් උදා වී තිබෙන්නේ. බොහෝ දෙනා ඉතාම දුක් සේ සිටින අවස්ථාවක්. බොහෝ දෙනා අසීරුවෙන් ජීවත් වෙන්නේ.

අපේ සමාජයේ මේ වන විට එදිනෙදා ආහාර වේලක් සපයා ගත නොහැකි පවුල් සිටිනවා. එවන් පිරිසකට අපට පිළිසරණ වෙන්න පුළුවන් නම් ඒ තුළින් රැස්වෙන පින මහානිශංස යි.

සේරුවිල රාජමහා විහාරය පිහිටා තිබෙන්නේ නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ. බොහෝම දුෂ්කර ප්‍රදේශයක්. බොහෝ දෙනෙක් කෘෂි කර්මාන්තයෙන් ජීවිතය ගත කරනවා. නමුත් බොහෝ දෙනකු නොදන්නා දේ වන්නේ කුඹුරු හෝ ඉඩම් නොමැති හා වගාවක් හෝ කරගත නොහැකි පිරිසකුත් මේ ප්‍රදේශයේ වාසය කරන බවයි.

ඒ පිරිස තමන්ගේ ජීවිකාව ගත කළේ වැලි ගොඩ දැමීමෙන්, කුලීවැඩ කිරීම ආදියෙන්. නමුත් මේ වන විට ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදය, ඉදිකිරීම් අංශයේ තිබෙන අර්බුද ආදිය නිසා මිනිසුන්ගේ ජීවිත කඩා වැටී තිබෙනවා. අගනුවර වගේම මේ වගේ දුෂ්කර ප්‍රදේශවලත් ඒ ඒ ක්ෂේත්‍රවලට සම්බන්ධ විවිධ වෘත්තීන්ගේ නියැළුණ අයත් අද බොහෝකොට අසරණ වෙලා. ඒ ආකාරයට දවසේ දෛනික චේතනයක් ලබපු බොහෝ දෙනකුට අද ඒ වේතනය ලැබෙන්නේ නැහැ. එනිසා ඔවුන්ගේ දරු පවුල ඉතා අසරණ වෙලා සිටිනවා. ඒ මව්පියන් දරුවන්ට කන්න දෙන්න දෙයක් නැතුව දුක් විඳිනවා. මේක ගෝචනීය තත්ත්වයක්.

එනිසා මෙවැනි ගම්බද විහාරස්ථානයක වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක් ලෙස අපට මේ තත්ත්වය ඉතා හොඳින් නිරීක්ෂණය වුණා. එනිසාම අපි කල්පනා කළා සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය මුල්වෙලා විහාරස්ථානයේ දායක ගම්මානවල මේ ආකාරයට අසරණ වෙලා සිටින ජනතාවට පිළිසරණ වෙන්න ඕනෑ කියලා.

ඒ අතර සේරුවිල ප්‍රාදේශීය ලේකම්තුමා අප අමතා කියා සිටියා ස්වාමීන් වහන්ස, සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පමණක් පවුල් 3500 ක් පමණ මේ වන විට අසරණ වෙලා සිටින බව. එනිසා අප විහාරස්ථ දායක සභාව ගමේ මරණාධාර සමිතිය හා තවත් සමිති සමාගම් කැඳවලා ගමක් ලෙස එකතු වෙලා ගමේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන කතා කළා. එහිදී අපට දැන ගන්නට ලැබුණා ගමේ සමහර පවුල් බොහෝම දුක සේ කාලය ගතකරන බව. අප එකතු වෙලා ඒ පිරිසගේ කුසගිනි නිවීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම පිණිස අවශ්‍ය සමීක්ෂණයක් කිරීමට කමිටුවක් පත් කළා. ඒ ගමේ ග්‍රාම නිලධාරි මහතා සහ අපේ දායක සභාව නියෝජනය කරන වැදගත් පිරිසක් සම්බන්ධ කරලා ඒ ඒ ගමට අවශ්‍ය කමිටු පිහිටුවා ගත්තා.

ඒ කමිටුවලින් නිවසක් ගානේ ගොස් කුඹුරු නැති, මේ කාලයේ දැඩි ආර්ථික අභියෝගයන්ට ලක් වූ පිරිස තෝරා ගත්තා. ගම්මාන පහ තුළ 1044ක පිරිසක් මේ අභියෝගයට මුහුණ දී ඇති බව අප හඳුනා ගත්තා.

ඉන්පසු අපට ඇතිවූයේ මූල්‍යමය ප්‍රශ්නය විසඳා ගැනීම යි. ඒ සඳහා මේ පිළිබඳ ව දැනගත් බොහෝ දෙනා අපට ආධාර කළා. ඉන්පසු ඇති වූ ප්‍රශ්නය මේ කෑම වේල සකසා ගන්නේ කෙසේද, කියන එක. ඒ සඳහා අපි ශ්‍රී ලංකා යුද හමුදාවේ නැඟෙනහිර පළාතේ ආඥාපතිතුමාට දැන්වූ පසු එතුමා බොහෝම සතුටින් අපට සූපවේදියෙක් සහිත හමුදා නිලධාරින් 6 දෙනකු ලබා දුන්නා.

අප මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. සවස 4 සිට 6 දක්වා අප කෑම වේල ඔවුන්ට ලබා දෙනවා. අප ලබා දුන් කූපන් පත රැගෙන ඔවුන් විහාරස්ථානයට පැමිණ කෑමවේල ලබා ගන්නවා. දවස පුරා කුසගින්නේ සිට මෙම ආහාර වේල රාත්‍රියට ලබාගන්නා බවත් සමහර අය අප සමඟ පැවසුවා.” ඒ අතර විහාරස්ථානයේ දහම් පාසලට පැමිණෙන දරුවන්ට දහවල් ආහාර වේල ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. ඒ මේ ප්‍රදේශයේ බොහෝ දරුවන් මන්දපෝෂණයට ගොදුරු වෙමින් සිටින නිසා. ඒ වගේම මෙම ගම්මානයේ පාසල් දෙකක් තිබෙනවා. එහි දරුවන් 400 පමණ අධ්‍යාපනය හදාරනවා. ඒ දරුවන්ටත් දිනපතා දවල් ආහාරය ලබා දෙන වැඩසටහනක් අප විහාරස්ථානයේ ක්‍රියාත්මක වෙනවා.

එනිසා මෙම දුර්ලභ අවස්ථාවේ අපට පුළුවන් නම් යම් කෙනකුට පිහිටවන්න එය කාල දානයට අයිතියි. එයින් අත්වන පිනත්, එයින් ඔප්නංවන මනුෂ්‍යත්වයත් ඉහළයි. කෙනකුගේ දුක හඳුනන, කරුණාව ආදී උතුම් ගුණාංග අපගේ ජීවිතයට ගලපාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ඒ දානය නම් වූ උතුම් ගුණ ජීවිතයට ප්‍රගුණ කරමින් තවත් අසරණ දරු පවුලකට දුෂ්කර කාලයක දී නැඟී සිටීමට උපකාරයක් කිරීමට අප සියලු දෙනාම අධිෂ්ඨානයක් ඇතිකර ගනිමු.