Print this Article


සරලව තේරුම්ගෙන ගැඹුරින් අවබෝධ කළ යුතු නිවැරැදි දැකීම

සරලව තේරුම්ගෙන ගැඹුරින් අවබෝධ කළ යුතු නිවැරැදි දැකීම

සම්මා දිට්ඨියට සරලව දිය යුතු තේරුම නම් යහපත් හෙවත් නිවැරැදි දැක්මයි. බුදු දහම සාරාංශ කොට ගන්නේ නම්, චතුරාර්ය සත්‍ය ධර්මය මුල්කොට ගත් සියලු ප්‍රතිපදාව ම සම්මා දිට්ඨියකි. සැබැවින් ම මෙම මඟ නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මේ මඟ ගැඹුරින් අවබෝධ කොට ගත යුත්තේ ය. එනමුත් සුන්දර සහ පහසු ලෙස තේරුම් ගත යුතු වන්නේ ය.

මහා චත්තාරිසක සූත්‍ර දේශනා මෙහි දී අපි ආශ්‍රය කර ගනිමු. සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට සම්මා සමාධිය හෙවත් යහපත් වූ ද, නිවැරැදි වූ ද කුසලාරම්මණයන්හි එකඟ බවක් අවශ්‍යයි.

මෙහි දී සම්මා දිට්ඨිය ප්‍රධාන කොට අංග හතක් දේශනා කොට ඇත. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති යනුවෙනි. මේ අංග සතෙන් යුතු යම් සිතක එක බවක් වේ ද මෙය ආර්ය සමාධිය නම් වේ ම ය.

මෙහි දී මූලික වන්නේ සම්මා දිට්ඨියයි. මේ අනුව සම්මා දිට්ඨිය ප්‍රධාන වන්නේ කොහොමද? මිථ්‍යා දෘෂ්ඨිය, මිථ්‍යා දෘෂ්ඨිය වශයෙන් අවබෝධ කර ගැනීමයි. සම්‍යක් දෘෂ්ඨිය සම්‍යක් දෘෂ්ඨිය වශයෙන් අවබෝධ කර ගැනීමයි. මිථ්‍යා දෘෂ්ඨිය නම් කුමක් ද? ඒ මෙසේයි.

දුන් දෙයෙහි විපාක නැත. පුද පූජාවන්හි විපාක නැත. සේවා උපස්ථානයන්හි විපාක නැත. පින්පව්වල විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මව යැයි විශේෂයෙන් සැලකිය යුතු අයෙක් නැත. පියා යැයි විශේෂයෙන් සැලකිය යුතු අයෙක් නැත. ඕපපාතික සත්වයෝ නැත. ලොව නිවැරැදි මඟ ගමන් කළ, යහපතෙහි පිළිපන්, මෙලොවත් පරලොවත් ස්වකීය ඥානයෙන් විශිෂ්ට ලෙස අවබෝධ කළ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත යන්නයි.

මෙම මිථ්‍යා දෘෂ්ඨික අදහස් ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් ධර්ම විනයෙන් යුතුව පරීක්ෂා කොට බලා තේරුම් ගත යුතු ය. ලෞකික සහ ලෝකෝත්තර දෙලොව යහපතට ම බාධා පමුණුවන බව අවබෝධ කොට ගත හැකි වන්නේ ය. මෙම මිථ්‍යා දෘෂ්ඨිය තේරුම් ගැනීම නම් සම්මා දිට්ඨියට සිත පිහිටුවීමයි.

සම්මා දිට්ඨිය ලෙස මෙහි ප්‍රතිපදා මාර්ගයට පිළිපන් ශ්‍රාවක, ශ්‍රාවිකාවක් වන්නේ කෙසේ ද? සම්මා දිට්ඨිය ආකාර දෙකකින් අවබෝධ කොට ගත යුතුවෙයි.

පළමුවැන්න නම්, ආශ්‍රව සහිත, පිනට යොමුවෙන, මතු සැපවිපාක ලබා දෙන සම්මා දිට්ඨියයි. එමෙන් ම ආර්ය වූ, ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨිය දෙවැන්නයි. මෙහි දී පළමුව වටහා ගත යුතු වන්නේ පිනට යොමු වන, මතු සැප විපාක ගෙන දෙන සම්මා දිට්ඨිය කුමක් ද යනුවෙනි. එනම් දුන් දෙයෙහි විපාක ඇත. පුද පූජාවන්හි විපාක ඇත. සේවා උපස්ථානයන්හි විපාක ඇත. පින් පව් කර්මවල විපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවක් ඇත. පියෙක් ඇත. ඕපපාතික සත්වයෝ ඇත. ලොව යහපත් මඟ ගමන් කරමින්, යහපත් වූ ප්‍රතිපදාවෙහි සමන්නාගත ස්වකීය විශිෂ්ට ඥානයෙන් මෙලොව පරලොව අවබෝධ කොට ගෙන දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත යනුවෙනි. මෙම කරුණු එකින් එක නුවණින් යුතුව විමසා බලන්නේ නම්, කවර නම් චර්යා රටාවක් තම තමන්ගේ ජීවිතවල සකස් වන්නේ දැයි තේරුම් ගත හැකිවනු ඇත. සැබැවින් ම එය ආධ්‍යාත්මික ජීවිතයේ සුන්දර බවකි.

මේ නිසා ඇසට රූප, කනට ශබ්ද, ලෙසින් සකස් වෙන බාහිර ආරම්මණ ලෝකය ද සුන්දර ය. දැඩි ආශාව සහ දොම්නසින් බැහැරව නිවුනු බවක් දැනෙන්නේ ය. මීළඟට අප විසින් තේරුම් ගත යුතු වන්නේ ආර්ය වූ, කෙලෙස් රහිත වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්මා දිට්ටියයි. එය මෙසේයි. ආර්ය වූ සිත් ඇති, කෙලෙස් බැහැර වූ සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනකුගේ යම් ප්‍රඥාවක් ඇත් ද, ප්‍රඥා ඉන්ද්‍රියයන් ඇත් ද, ප්‍රඥා බලයක් ඇත් ද, ස්කන්ධ ආදී ධර්මයන් තිලක්ඛණයට යටත් කොට දකින ධම්මවිචය සම්බොජ්ඣංගයක් වේ ද, සම්මා දිට්ඨි මාර්ගාංගයක් වේ ද එයම ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. මෙහි දී සම්මා දිට්ඨි මුල්කොටගෙන සුන්දර නිවන් මඟ ප්‍රතිපදාව මෙසේ සකස්වෙන බව පෙන්වා දෙයි.

මිථ්‍යා දෘෂ්ඨිය බැහැර කිරීම පිණිසත්, සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිසත් උත්සාහ කිරීමෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ සම්මා වායාමය සම්පූර්ණ වෙයි. මේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ සතියෙන් යුතුව මිථ්‍යා දෘෂ්ඨියෙන් බැහැර වන්නෝ ය. මනා වූ සිහියෙන් යුතුව සම්මා දිට්ඨිය උපදවාගෙන වාසය කරන්නෝ ය. එනම් ඒ උතුම් වූ සම්මා සතියයි. මේ ආකාරයට ඔවුන් කෙරේ ධර්ම තුනක් සකස් වී ඒ අනුව පවතිනු ලබන්නේ ය.

ඒ කවර නම් ධර්මතා තුනක් ද? සම්මා දිට්ඨියත්, සම්මා වායාමයත්, සම්මා සතියත් ය. මේ ආකාරයෙන් ම, සම්මා දිට්ඨිය මුල්කොටගෙන මාර්ගාංග සියල්ල ම තේරුම් ගනිමින් අවබෝධ කොට ගත යුතු වන්නේ ය. එනම් මිථ්‍යාේ සංකල්ප සහ සම්මා සංකල්පයයි.

මිථ්‍යා වාචා සහ සම්මා වාචායි. මිථ්‍යා කර්මාන්ත සහ සම්මා කර්මාන්තයි. මිථ්‍යා ආජීවය සහ සම්මා ආජීවයයි. මිථ්‍යා වායාමය සහ සම්මා වායාමයයි. මිථ්‍යා සතිය සහ සම්මා සතියයි. මිථ්‍යා සමාධිය සහ සම්මා සමාධියයි. මිථ්‍යා ඤාණය සහ සම්මා ඤාණයයි. මිථ්‍යා විමුක්තිය සහ සම්මා විමුක්තියයි.

මේ මඟට පිළිපන් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ මනා වූ ප්‍රඥාවෙන්, වායාමයෙන්, සතියෙන් යුතුව සම්මා දිට්ඨියට අනුගත වීම නිසා මෙවැනි චර්යාවන් හෙවත් ප්‍රතිපදා මාර්ගයක් ඔවුහු කෙරේ සකස් වෙයි.

ඒ කුමක් ද? යම් වූ, අනේක වූ පාපී අකුසල ධර්මයන් ඇත් ද ඔවුන් කෙරේ ඒවා විනාශ වී යයි. අනේක වූ කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම වශයෙන් පරිපූර්ණ බවට පත්වෙයි.

මෙම ධර්ම පරියාය සාමාන්‍ය ජනයාගේ දැනුම සහ අවබෝධය පිණිස මෙසේ කෙටි කොට පෙන්වා දිය හැකියි. එනම් කම්මස්සකතා සම්මා දිට්ඨි සහ විපස්සනා හෙවත් චතුසච්ච සම්මා දිට්ඨි යනුවෙනි. වඩා තේරුම් ගැනීමේ පහසුවට නැවත මෙසේ දක්වමි. කම්මස්සකතා සම්මා දිට්ඨි නම් කර්මඵල අවබෝධයෙන් යුතුව අදහාගෙන පුණ්‍ය වන්ත වීමයි. එනම් පින්කම්වල යෙදීමයි. මෙහි දී සිත, කය, වචනය නම් වූ ත්‍රිවිධ ද්වාරය ම එයට අනුගත විය යුතු වන්නේ ය.

එය දාන, සීල, භාවනා ලෙසින් නම් කළ හැකි වන්නේ ය. චතුසච්ච හෙවත් විපස්සනා සම්මා දිට්ඨියේ දී ප්‍රඥා, සීල, සමාධි ලෙසින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ම වැඩිය යුතු වන්නේ ය. මෙහි දී චතුරාර්ය සත්‍ය ධර්මය ම නුවණින් අවබෝධ කළ යුතු වන්නේ ය.

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පඤ්චකය ම අනිත්‍ය , දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛණයන්ට යටත් කොට අවබෝධ කොට ගන්නට හැකිවන්නේ ය. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් අවසන් වශයෙන් ද, දෙසූ “වය ධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ නම් වදන් පෙළ මනා ලෙස ගළපා ගත හැකි වන්නේ ය. සියලු සංස්කාර ධර්මයන් වහා නැසෙන සුළු ය. අප්‍රමාදී ව කුසල් සම්පාදනය කරන්න යනුවෙනි.

මජ්ක්‍ධිිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයට අනුව යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලයන් දනී ද අකුසල මූලයන් දනි ද, කුසලයන් දනී ද කුසල මූලයන් දනී ද මෙ පමණකින් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යකි දෘෂ්ඨික වෙයි. ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි.

ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ බවයි. මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්‍රාව දැන සමුදය, නිරෝධය, මාර්ග ප්‍රතිපදාව අනුගමනය කිරීම විමුක්තියේ කෙළවර වූ සම්මා දිට්ඨිය ම වෙයි.