Print this Article


උතුම් දම්සක් පැවතුම් සුතුර

උතුම් දම්සක් පැවතුම් සුතුර

ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බ ජිතේන න සේවිතබ්බා යනුවෙන් ඒ උත්තරීතර දේශනාව ආරම්භ විය.

“මහණෙනි. පැවිද්දකු විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකකි.

කාම සුඛල්ලිකානුයෝගය

යෝචායං කාමේසු කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ් අනත්ථ සංහිතෝ

පළමුවැන්න – ලාමක වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන් විසින් ඇලුණු ගැලුණු, ආර්ය උතුමන් විසින් සේවනය නොකරන, අවැඩ පිණිස ම පවතින්නා වූ කාමසුඛල්ලිකානුයෝගය යි. එනම් කම්සුවයේ ඇළී ගැලීමයි.

අත්තකිලමථානුයෝගය

යෝචායං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ

දෙවැන්න – දුක් උපදවන, ආර්ය උතුමන් විසින් සේවනය නොකරන, අවැඩ පිණිසම පවතින්නා වූ අත්තකිලමථානුයෝගය යි. එනම් ශරීරයට දුක් පීඩා දීමයි.

මධ්‍යම ප්‍රතිපදාව

මහණෙනි, මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදහ. මධ්‍යම ප්‍රතිපදාව ප්‍රඥා චක්ෂුස (පැණැස) ඇති කිරීම පිණිස, නුවණ ඇතිකිරීම පිණිස කෙලෙස් සංසිඳවීම පිණිස, සත්‍යය අවබෝධ කිරීම පිණිස පවතින්නේ ය.

මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද මධ්‍යම ප්‍රතිපදාව කවරේද?

ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.

මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ඒ මධ්‍යම ප්‍රතිපදාව ප්‍රඥා චක්ෂුසය (පැණැස) ඇති කරන්නේ ය. නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවත්නේ ය.

චතුරාර්ය සත්‍යය

දුක්ඛ ආර්ය සත්‍යය

මහණෙනි, මේ දුක්ඛ ආර්ය සත්‍යයයි. ඉපදීම දුකකි, මහලුවීම දුකකි, රෝග පීඩා වැළඳීම ද දුකකි. මරණය ද දුකකි. අපි‍්‍රයයන් හා එක්වීම ද දුකකි. පි‍්‍රයයන්ගෙන් වෙන්වීම ද දුකකි. කැමැති යමක් නො ලැබීම ද දුකකි. සංක්ෂේපයෙන් පංච උපාදානස්කන්ධයෝ ම දුකකි.

සමුදය ආර්ය සත්‍යය

මහණෙනි, මේ දුක්ඛ සමුදයාර්ය සත්‍යය (දුක හට ගැනීමේ හේතුව) මෙසේ ය. යම් තෘෂ්ණාවක් පුනර්භවය ඇති කෙරේද? නන්දිරාගය හෙවත් ඒ ඒ භවය කෙරෙහි ඇලීමෙන්, බැඳීමෙන් යුක්ත වේ ද, ඒ ඒ භවයන්හි විශේෂයෙන් සතුට ඇති කරන්නේ ද? එනම් කාම වස්තූන් කෙරෙහි තෘෂ්ණාව (කාම තණ්හා) භවය සදාකාලිකව පවතී යන ශාස්වත දෘෂ්ටිය හා එක්ව යෙදෙන භව තෘෂ්ණාව (භව තණ්හා) මේ භවයෙන් පසු වෙනත් භවයක් නොවේ යැයි උච්ඡේද දෘෂ්ටිය හා එක්ව යෙදෙන විභව තෘෂ්ණාව (විභව තණ්හා) යන මේ ත්‍රිවිධ තෘෂ්ණාව සමුදයාර්ය සත්‍යයයි.

නිරෝධ ආර්ය සත්‍යය

ඉහත දක්වන ලද කාම, භව, විභව යන තෘෂ්ණාවන් මුළුමනින් නැසීම දුරලීම (චාගෝ), අත්හැරීම, (පටිනිස්සග්ගෝ) තෘෂ්ණාවෙන් මිදීම (මුත්ති) නොඇලීම (අනාලසෝ) දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නම් වේ.

නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය

දුක නැති කිරීමේ මඟ පිළිබඳ පිළිවෙත වේ. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මෙසේ ය. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. සම්මා ආජීව , සම්මා වායාම , සම්මා සති, සම්මා සමාධි යන මේවායි.

දුක්ඛ සත්‍යයෙහි සත්‍ය ඥානය

මහණෙනි, මෙය දුක්ඛ ආර්ය සත්‍යයයි. පෙර නො ඇසූ විරූ ධර්මයන්හි (පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු) දහම් ඇස පහළ විය. (චක්ඛුං උදපාදි) තත්ව ඥානය පහළ විය (ඤාණං උදපාදි) ප්‍රඥාව පහළ විය. (පඤ්ඤා උදපාදි) විද්‍යාඥානය පහළ විය. (විජ්ජා උදපාදි) මෝහය දුරුකරන ඥානාලෝකය පහළ විය. (ආලෝක උදපාදි)

දුක්ඛ සත්‍යයෙහි කෘත්‍ය ඥානය

මහණෙනි, ඒ මේ දුක්ඛාර්ය පිරිසිඳ දත යුතු ය. (පරිඤ්ඤෙය්‍යං) කියා මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය . නුවණ පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

දුක්ඛ සත්‍යයෙහි කෘත ඥානය

මහණෙනි, ඒ දුක්ඛාර්ය සත්‍යය ( ම විසින්) පිරිසිඳ දැන ගන්නා ලද්දේ (පරිඤ්ඤාතං) යැයි මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව ආලෝකය පහළ විය.

සමුදය සත්‍යයෙහි සත්‍ය ඥානය

මහණෙනි, ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය (දුක ඇතිවීමේ) හේතුව) යැයි මාහට පෙර නොඇසූ ධර්මයන්හි දහම් ඇස , නුවණ ප්‍රඥාව , විද්‍යාව, ආලෝකය පහළ විය.

සමුදය සත්‍යයෙහි කෘත්‍යඥානය

මහණෙනි, ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතු (පහාතබ්බන්ති) යැයි පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව , විද්‍යාව, ආලෝකය පහළ විය.

සමුදය සත්‍යයෙහි කෘත ඥානය

මහණෙනි, ඒ දුක්ඛ සමුදාය ආර්ය සත්‍ය ප්‍රහීණ කරන ලදැයි (පහීණන්ති) මා හට නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ විය.

නිරෝධ සත්‍යයෙහි සත්‍ය ඥානය

මහණෙනි, ඒ මේ දුක්ඛ නිරෝධ ආර්ය (දුක නැති කිරීම) කියා මාහට පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව,විද්‍යාව, ආලෝකය පහළ විය

නිරෝධ සත්‍යයෙහි කෘත්‍ය ඥානය

මහණෙනි, ඒ දුක නැති කිරීම නම් වූ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතු සම්ජිකාතබ්බ යැයි මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ විය.

නිරෝධ සත්‍යයෙහි කෘත ඥානය

මහණෙනි, ඒ දුක නැති කිරීම නම් වූ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය සාක්ෂාත් කරන ලදැ (සම්ජිකතංති) යි මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ විය.

මාර්ග සත්‍යයෙහි සත්‍ය ඥානය

මහණෙනි, මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්ය සත්‍යය ( දුක නැති කිරීමේ පිළිවෙත) යි. මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ විය.

මාර්ග සත්‍යයෙහි කෘත්‍ය ඥානය

මහණෙනි, මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්ය සත්‍යය, එනම් දුක නැති කිරීම පිණිස වූ ප්‍රතිපදාව වැඩිය යුතු ය. පුරුදු පුහුණු කළ යුතු (භාවේ තබ්බං) යැයි යළි මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ විය.

මාර්ග සත්‍යයෙහි කෘත ඥානය

මහණෙනි මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්ය නම් දුක නැතිකිරීම පිණිස පවතින ප්‍රතිපදාව ම විසින් වඩන ලදී. පුරුදු පුහුණු කරන ලද (භාවිතං) යි මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ විය.

යථාභූත ඥාන දර්ශනය පහළ වීම

මහණෙනි, මෙසේ සත්‍යය දැන ගැනීම, එය කළ යුතු යැයි වටහා ගැනීම, එය කළේ යැයි දැන ගැනීම යන සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය යන වට තුනකින් (තිපරිවට්ටං) යුක්ත ඒ ඒ සත්‍යයක් පාසා තුන් ආකාර වීමෙන් දොළොස් ආකාර (ද්වාදසාකාරං) වූ තත් වූ පරිදි ඥාන දර්ශනය (යථාභූතං ඤාන දස්සනං) සුපිරිසුදු ලෙස මට යම් තාක් අවබෝධ නොවී ද ඒ තාක්

මහණෙනි, මම දෙවියන් සහිත, මරුන් සහිත ප්‍රජාව අතරෙහි “මම අනුත්තර සම්බෝධිය අවබෝධ කළෙමි”. යයි ප්‍රතිඥා නොකළෙමි.

මහණෙනි, යම් දිනෙක පටන් මේ වට තුනකින් යුත් දොළොස් ආකාරයක් ඇති චතුරාර්ය සත්‍යය තත්ත්වාකාරයෙන් පිරිසිඳ දැන ගැනීම (යථා භූතං ඤාණ දස්සනං) මනාව, පිරිසුදුව අවබෝධ කරගතිම් ද, මහණෙනි, මම එතැන් සිට දෙවියන්, මාරයන්, බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව කෙරෙහි ද, අනුත්තර වූ සම්බුදු බව අවබෝධ කළෙමි යැයි ප්‍රතිඥා කළෙමි.

මට පිළිවිද දක්නා නුවණ (ඥාන දර්ශනය) පහළ විය. අර්හත් ඵල නම් වූ චිත්ත සමාධිය නැවත නොසෙල්වෙන පරිදි ස්ථිරව පිහිටියේ ය. මේ අන්තිම උපතයි. දැන් මට මෙතැන් සිට සසර උපතක්, පුනර්භවයක් ඇත්තේ ම නැත. (නත්ථි දානි පුනබ්භවෝ) යයි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

සතුටු සිත් ඇති පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.