Print this Article


දියුණුවට කැමැති නම් මේ ප්‍රතිපදා පුරුදු කරන්න

දියුණුවට කැමැති නම් මේ ප්‍රතිපදා පුරුදු කරන්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

දානඤ්ච පෙය්‍ය වජ්ජඤ්ච - අත්ථ චරියාච යා ඉධ
සමානත්තාච ධම්මේසු - තත්ථ තත්ථ යථාරහං

පින්වතුනි,

රජදරුවන්, නායකයන්, මව්පියන්, ආයතන ප්‍රධානීන් ආදී පිරිස වෙත බුදු පියාණන් වහන්සේ විසින් නිර්දේශ කරන ලද සංග්‍රහ කිරීම් හතරක් වෙති. දානය, ප්‍රියවචන, අර්ථචර්යා සහ සමානාත්මතාවයි. ජනතාවගේ ආදරය, ගෞරවය පක්ෂපාතිත්වය දිනා ගන්නට සතරාකාර සංග්‍රහයක් පුරුදු පුහුණු කළ යුතු ම ය.

යම් කිසි සමාජයක, ප්‍රදේශයක, රටක මෙකී කාරණා නො පවත්නේ නම්, එම රට තුළ හෝ ප්‍රදේශය තුළ ආදරය, ගෞරවය පක්ෂපාතිත්වය නොපවතී. එවිට එම රට හෝ සමාජය පරිහානියට පත් වේ.

දාන යනු නිර්ලෝභීව යම් යම් දේ ප්‍රදානය කිරීමය. ප්‍රිය වචනය, සුමුදු ප්‍රසන්න කතාබහ ය. අර්ථචර්යා යන්නෙන් අවශ්‍ය පරිදි උපකාර කිරීම ද, සමානාත්මතා යන්නෙන් තමා හා සම තත්ත්වයෙහි ලා සැලකීම ද අදහස් වෙයි.

ජනතාවට මෙම කරුණු සතරෙන් සංග්‍රහ කරන්නන් අතර හත්ථාලවක කුමරු අග්‍රගණ්‍ය බව බුදු පියාණන් වහන්සේ වදාරා තිබේ. මේවා යෙදිය යුත්තේ අවිචාරයෙන් නොව විචක්ෂණ බුද්ධියෙන් යුතුව, ස්ථානෝචිත ව බව ද පෙන්වා දී ඇත.

බෞද්ධයකු විසින් වැඩිය යුතු වූ, සාමාජික වශයෙන් වැදගත් වන සාධු ධර්ම සතර සංග්‍රහ වස්තුවලට අයත් වේ.

මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන් චර්යාමය වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තු මඟිනි. අභ්‍යන්තර හා මානසික හෙවත් සිතිවිලි චර්යාමය අතර අන්‍යෝන්‍ය වශයෙන් පවතින ප්‍රතිපෝෂණ හා අන්තර් ක්‍රියා පටිපාටියක් ඇති බව බුදුදහම පිළිගනියි.

සතර සංග්‍රහ වස්තූන්ට අයත් පළමුවැනි සංග්‍රහය ලෙස සැලකෙන්නේ දානය යි. උපභෝග පරිභෝග වස්තූන් මෙන් ම දැනුම, ශ්‍රමය වැනි පුද්ගලයකුට අයත් කවර දෙයක් හෝ වේවා අනුන්ගේ ප්‍රයෝජනය සඳහා කැප කිරීම බුදු දහමේ දානය හෙවත් පරිත්‍යාගය ලෙස සැලකේ.

ශ්‍රේෂ්ඨතම දානය වන්නේ ධර්ම දානය හෙවත් දහම් දැනුම දීම බව සබ්බ දානං ධම්ම දානං ජිනාති යන ධම්මපද ගාථාවෙන් දැක්වේ. එය සමාජයීය වශයෙන් විපුල ඵල දායක වේ.

පුද්ගලයාගේ ආධ්‍යාත්මික සාක්ෂාත්කරණය උසස් තරමට ම එබඳු පුද්ගලයාට දෙනු ලබන්නා වූ දානය ද, ලබන්නා වූ දානය ද මහත් ඵල මහානිසංස වන බව දැක්වේ. මසුරුබව, ගිජුබව, ආත්මාර්ථකාමීත්වය, වෛරය හා අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කිරීම වැනි අයහපත් ගති ලක්ෂණවලින් තොරව තමාගේ මෙන් ම අනෙකාගේ ද දියුණුවට කැමති ව දන්දීම මනුෂ්‍යත්වයේ මල්ඵල ගැන්වීමකි.

දුරු කළ යුතු අකුසල් වචනවල බොරුව කේළම, පරුෂ වචන මෙන්ම හිස් බස්වලින් තොරව ප්‍රිය තෙපුල් බිණීම හෙවත් ප්‍රිය වචනය සතර සංග්‍රහ වස්තූන්ගෙන් දෙවැන්නයි.

සම්මා වාචා හෙවත් නිරවද්‍ය ලෙස කරනු ලබන කතාව ප්‍රගුණ කිරීම සඳහා ප්‍රිය වචනය උපකාරී වේ. යහපත් සමාජ සම්බන්ධතා වර්ධනයේ දී ප්‍රිය වචනය ඉතා වැදගත් වන්නේ මනුෂ්‍යයා යහගුණයන්ට පොළඹවන බැවිනි. එවැනි සද්ගුණවලට එළැඹි පුද්ගලයා ඒ හේතුවෙන් ප්‍රියශීලී සහ සමාජීය වශයෙන් පිළිගත හැකි පුද්ගලයකු බවට පත් කෙරේ. බුදුරජාණන් වහන්සේ තම කීකරු වූ මෘදු මොළොක් ප්‍රිය වචනය තුළින් ආලවක වැනි චණ්ඩ යක්ෂයන් මෙන්ම, අංගුලිමාල වැනි තමන් වහන්සේ ඝාතනය කිරීමට පැමිණි සැඩපරුෂ පුද්ගලයන් පවා දමනය කළ අයුරු බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.

දන්දීම, සිල් රැකීම, කම්සැප හැර දැමීම, නුවණ වැඩීම, වීර්ය වැඩීම, ඉවසීම පුරුදු කිරීම, ඇත්ත කතා කිරීම, ස්වකීය ආධ්‍යාත්මය වර්ධනය කර ගැනීම, මෛත්‍රිය පැතිරවීම අටලෝ දහමින් කම්පා නොවී මධ්‍යස්ථ ජීවිතයක් ගත කිරීම සැබෑ අර්ථ චර්යාවකි.

ඒවා පාරමිතා වශයෙන් බෞද්ධ ජීවිත සංරක්ෂණය කරන බැවින් සසර දුකින් නිදහස්ව ධර්මය අවබෝධ කර ගැනීමට මිථ්‍යා ආජීවයේ ඇති භයානක බව තේරුම් ගැනීම අවශ්‍ය වේ.

සතර සංග්‍රහ වස්තු අතුරෙන් සතර වැන්න සමානාත්මතාවයි. සියල්ලන් කෙරෙහි සම සැලකීම හෝ සමාන ගති පැවතුමෙන් යුතුවීම එහි අරුතයි. සදාචාර ක්‍රියාවන් මෙහෙයවිය යුත්තේ අනුන් ද තමා හා සමාන ය යන දර්ශනය ඇතිවයි. සමාන යනු, එකඟතාවය හෙවත් සම බවයි. අත්තතා යන්නෙන් පුද්ගලතාවයක් හැඟවෙයි. සදාචාර සන්දර්භයෙහි ලා බුදුපියාණන් වහන්සේ නිතර නිතර වදාරන ලද්දේ අනුන්ට හානිදායක ක්‍රියාවන් අපෙන් සිදුවීම වැළැක්විය යුතු බවයි.

සෙසු සතුන් හා මනුෂ්‍යයන් අතරත් තමා අතරත් නිර්මාණයේ වෙනසක් නොමැති බව සියලූම ජීවීන් පඨවි, ආපෝ, තේජෝ හා වායෝ යන සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වී තිබෙන බවත්, මානසික අවශ්‍යතාවලින් බොහෝ දුරට සමාන වන බවත් අප මූලිකව ම තේරුම් ගත යුත්තකි,

සැම දෙනාම දුක් වි¼දීමට අකැමැති ය. විවිධ ආශාවන්ගෙන් පිරුණු සත්වයා හැම විටම එකී ආශාවන් ඉටුකර ගැනීමට ගොස් දුකට පත්වන බැව් අවබෝධ කර ගැනීම දුෂ්කර නොවේ. සමාන ආශාවන් වේදනාවන් හා අභිරුචි ඇති අප අන් අය දෙස ද බැලිය යුත්තේ අනුකම්පාවෙන්, දයාවෙන් හා මෛත්‍රී සහගතව ය.

සෙසු මිනිසුන් ද තමා මෙන් ම ජීවත් වීමට කැමැති අය බැවින් තමා ද අනුන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතු වේ. අපට හානියක් වනවාට අප අකැමැති වන්නා සේ ම අන්‍යයන් ද ඒ අයට හානියක් කර ගැනීමට අකැමැති බව වටහා ගැනීම සදාචාර සමාජයක අත්තිවාරමයි. එනිසා තමන්ට මෙන්ම අනුන්ට ද අහිතකර මෙන් ම හානිකර දේ සිදු කිරීමට නොපෙළඹේ. යහපත් හොඳ දෙයක් කිරීමට යොමු වන ලෙසට සියලූ බුදුවරුන් අනුශාසනා කර ඇත.

“සබ්බ පාපස්ස අකරණං- කුසලස්ස උපසම්පදා” යනුවෙන් අදහස් කර ඇත්තේ එයයි.

මේ අනුව සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට පුරෝගාමී වන සතර සංග්‍රහය යනු හුදු කතාවට පමණක් සීමා නොකොට තම ජීවිත තුළින් ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි, කළ යුතු ශ්‍රේෂ්ඨ ප්‍රතිපදා හතරක් බව අවබෝධ කරගත යුතු ව ඇත. සුදුසු ධර්ම මාර්ගයෙහි ගමන් කිරීම සඳහා සැමට ධෛර්ය ශක්තිය උදා වේවා.

තෙරුවන් සරණයි.