Print this Article


අරුණ වලා රන්සළු පැටලේ සිත කිමිදේ ලොව්තුරු සුව දේ

අරුණ වලා රන්සළු පැටලේ සිත කිමිදේ ලොව්තුරු සුව දේ

බුදුන් වහන්සේගේ සිරිපා පද්මය පිහිටා තිබෙන සමනල ශිඛරය දර්ශනය වූවන්ට ද, එය තරණය කරන ගමිකයන්ට ද නෙත සිත පහන් වී චමත්කාර සිතිවිලි පහළ වන සුන්දරතම කඳු මුදුනකි.

ජාති ආගම් කුල මල පන්ති භේද පසෙක ලා සමස්ත ලෝකවාසී මානවයන් මෙම කඳු ශිඛරය වෙත පියමං කරන විට ගතට දැනෙන වෙහෙස මඟ හැරී යන්නේ බුදු සිරිපතුල දැකීමේ අසීමිත ඇල්ම නිසා ය. සිරිපා කරුණා කරන විට සියල්ලන්ගේ ම සිත් තුළ ජනිත වන්නේ සමානාත්මතාව සහ සහජීවනය, සුහදශීලී කරුණා මෛත්‍රී සිතිවිලි ධාරාවන් ය. කිසිවිටෙකත් කිසිවකුටවත්, මොනම හේතුවක් නිසාවත් අකුසල පාපී චේතනා පහළ නොවීම සිරිපා අඩවියේ ඇති අපූර්වත්වයකි.

මෙකී අසිරිය හෙළ සාහිත්‍යකරුවෝ සිය නිර්මාණයන් ඔපවත් කර ගැනීම සඳහා උපයෝගී කර ගත්තහ. මහගමසේකරයන් විසින් රචිත, සංගීත මහා මුනිවර අමරදේවයන්ගේ මුවින් ගැයෙන “සිරිපා පියුමේ රොන් සුනු තැවරී” නම් ගීතය එයට කදිම නිදසුනකි.

සිරිපා පියුමේ රොන් සුනු තැවරී
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ළය සැනැහේ
නිවන් දොරට මඟ පානා
සමනොළ රන්කොත මුදුනේ
බැන්ද වියන්සේ
අරුණවලා රන්සළු පැටලේ
සිත කිමිදේ ලොව්තුරු සුවදේ

සිරිපා පාද පද්මය සිපගෙන හමා එන්නා වූ මද සුළඟ සැදැහැවතුන්ගේ ග්‍රීස්මය නිවාලමින් සිත් සතන් නිවී සැනහී යන බව කවියා අසීමිත ශ්‍රද්ධාවෙන් ඉදිරිපත් කොට ඇත.

සමනොළ කඳු මුදුන වසාගෙන සිටින සුදෝ සුදුවන් උදය වලාවන් සිරිපා පද්මයට බඳීන ලද උඩුවියනක් සේ ඈතට දිස්වෙන අයුරු පාඨක සිතෙහි චිත්ත රූප ජනනය කරමින් කවියා මෙම ගීතයෙහි පද පේළි ගොතා ඇත්තේ මුතු අමුණන ලද මාලා දාමයක් ලෙසයි. එම දර්ශනයත් සමඟ ලොවුතුරු බුදුගුණවල සිත කිමිදෙමින් ලොව්තුරු සුවඳ විඳගන්නට සැදැහැවතුන් සරාගී ලෝකයෙන් මිදී විරාගී ලෝකය විමසන අයුරු අතිශය සුන්දරජනක ය. කෙලෙස් මලින් මිදී නිවන් දොරටුව වෙත යන මාවත පෙන්නුම් කරන සිරිපා පද්මය රැඳී සමනල කඳු මුදුන පිළිබඳ සම්ප්‍රසාදන සම්පක්ඛන්දන ශ්‍රද්ධාවක් තම පාඨකයාගේ මනසෙහි දැඩි ඉවසීමෙන් හා විමසීමෙන් යුතුව තැම්පත් කිරීමට සේකරයන් ගත් උත්සාහය අතිශයින් ම ප්‍රශස්ත වන්නේ ය.

කෙලෙස් මලින් මිදි
සිත සුවපත් වී
පාවී යයි නිසංසලේ මහරහතුන් වැඩි මඟ ඔස්සේ
වලා අතුළ කඳුවැටි අතරේ

වර්තමාන ලෝකයෙහි පුද්ගල මනස අතිශයින් දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරී පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ. විවිධ සාමාජික ආර්ථික ගැටලුවලින් පීඩිතව සිටින වර්තමාන මානවයින්ට ආකාශය සිපගෙන සිටින සිරිපා පද්මය රැ¼දී සමනළ කඳු මුදුන දර්ශනය මාත්‍රයෙන් ම කෙලෙස් මලින් මිදී සැහැල්ලු, සන්සුන්, නිරාමිස මනසක් බවට පත් වී සිත සුවපත් වන අයුරු කවියා මෙහිදී ධ්වනිත කරවයි.

වනපියස මහ රහතුනට අතිශයින් සුන්දර නිවහනයි. කඳුවැටි සහිත සුන්දර වන පියස මහරහතුන් වැඩි මාර්ගයයි. එකී මාර්ගයන්, අති සුන්දර වනපියස පිළිබඳ නිරාමිස ආදරයක් සෙනෙහසක් පාඨක සිත්වල ජනිත වෙන අයුරින් කවියා මෙම ගීතය රචනා කොට ඇත.

මෙහිදී කවියා යොදාගන්නා වූ ධ්වනි පූර්ණ රූපකාර්ථවත් භාෂාව විමසීමේ දී කවියා සතු භාෂා පටුත්වය මැනවින් නිරූපණය වේ. සිරිපා පියුම, සමනොළ රන්කොත, අරුණ වලා, රන් සළු, වලා අතුළ කඳු වැටි යන යෙදුම්වලින් පාඨකයාට සමනොළ වනය පිළිබඳ සුන්දර හැඟීම් ජනිත කරවීමට සමත් වී ඇත. එම යෙදුම්වලින් සාමාන්‍ය වනයකට වඩා සිරිපා පද්මය පිහිටා තිබෙන මෙම වනය පිළිබඳ ගෞරවාන්විත පූජනීයත්වයක් ඇති කරවයි. එම නිසාම සිරිපා කරුණා කරන සැදැහැවත්තු වනයට හානි නොකරති.

සිතෙහි පහළ වන නරක සිතිවිල්ලකින්වත්, මුවින් පිටවෙන නරක වදනකින්වත් එම පරිසරය කිලිටි නොකරති. සැදැහැවතුන් එවන් උත්තරීතර තැනකට ඔසවා තැබීමට කවියා භාවිත යෙදුම් මෙහිදී මහත් සේ අත්වැල සපයා ඇත.

මෙවැනි ගීත ගායනයෙන් මෙන් ම ශ්‍රවණයෙන් ද නිවුණු සැනහුණු ශික්ෂණයෙන් යුත් අසිරිමත් සුන්දරත්වයක් මානව සිත්වල ජනිත කරවයි. වර්තමාන ලෝකයේ සංකීර්ණත්වයෙන් හා සංකරබවින් ගිනිගෙන දැවෙන මානව හදවත්වලට ධර්ම මාර්ගය කියාදෙමින්, ගිනි නිවාලන සීතල පොද වැස්සක් මෙන් මෙවැනි ගීත ශ්‍රාවකයන්ගේ ද, පාඨකයන්ගේ ද ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇත.

අවර ගණයේ ගීතවලින් සිත කකියන වර්තමාන සමාජ ස්ථරයට අප ආරාධනා කරන්නේ මෙවැනි ප්‍රතිභාපූර්ණ අර්ථාන්විත මානවවාදී ගීතවලට ඇලුම් කිරීමට අවශ්‍ය සදූපදේශයන් සම්ප්‍රදානය කරන ලෙසයි. එය අනුගාමිකයන්ට මෙන්ම සද්ධිවිහාරිකයන් වෙත වර්තමානිකයන් විසින් සිදු කරනු ලැබිය යුතු කාර්යභාරය ද වන්නේ ය.